සුරක්‍ෂිත ජල අනාගතයක් වෙනුවෙන් ලොව පුරා විසිරී ඇති විශේෂඥ ඥානය ඉතා වැදගත් – ඇමැති ජීවන් තොණ්ඩමන්

33

ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සුවිසල් වගකීමක්
– අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර
ජාත්‍යන්තර ජල සමුළුව ලබන 14 සහ 15 දෙදින රත්මලානේ දී

අප රට තිරසාර සහ සුරක්ෂිත ජල අනාගතයක් වෙනුවෙන් තීරණාත්මක පියවර ගණනාවක් ගෙන ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

එම කටයුත්තේදී ජලය සම්බන්ධව ලොව පුරා විසිරී ඇති විශේෂඥ ඥානය ඉතා වැදගත් බවත් කී හෙතෙම ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජල සමුළුව ඒ සඳහා හොඳ පිටිවහලක් බවත් කීවේය.

ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා එම අදහස් පළ කළේ ඊයේ (06 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජාත්‍යන්තර ජල සමුළුව 2023 සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

මෙම ජාත්‍යන්තර ජල සමුළුව ලබන 14 සහ 15 යන දෙදින රත්මලානේ පිහිටි ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේදී පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් ගණනාවක් නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්වීමට නියමිතය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සෑම වසරකම මෙම සමුළුව සංවිධානය කරන අතර එය මෙවර පැවැත්වෙන්නේ අටවැනි වරට වේ. මෙවර සමුළුවේ තේමාව ජලය සහ සනීපාරක්ෂාව සනීපාරක්ෂක අර්බුද විසඳීම සඳහා කඩිනම් පියවර යන්න වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇති තිරසාර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කිරීම සඳහා අප රට කැපවී කටයුතු කරනවා. එහි සැලකිය යුතු ප්‍රගතියක් අප මෙරට ලබාගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි.

එම ඉලක්ක සපුරා ගැනීමේදී පවතින අභියෝගයන්ට ඵලදායි ලෙස විසදුම් සෙවිය යුතුයි. ඒ සඳහා සැමගේ සාමූහික ප්‍රයත්නයක්, දැඩි කැප කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක්. මෙම සමුළුවේදී ඉදිරිපත් කරනු ලබන පර්යේෂණ පර්යේෂණයන්හි ප්‍රතිඵල සහ නවෝත්පාදන සොයාගැනීම් තිරසර සංවර්ධන ඉලක සපුරා ගැනීම සඳහා හොඳ පිටිවහලක් වේවි.

ලොව පුරා සිටින ජලය කේන්ද්‍ර කරගත් හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන් සහ සංවිධාන එකම වේදිකාවට කැඳවීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කිරීම අගය කළ යුතු කළයුතු කටයුත්තක්. මෙම සහයෝගීතාවය ජලය සහ සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කර ගැනීමේ වේදිකාවක්. මේ තුළින් පරිවර්තනීය වෙනස්කම් ඇති කිරීමට හොඳ අවස්ථාවක්.

ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා

මෙම ජාත්‍යන්තර ජල සමුළුව තුළින් විවිධ දැනුම් පද්ධතීන් ලබා ගැනීම, සියලු පාර්ශ්වකරුවන් අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම මෙරට ජලය සහ සනීපාරක්ෂක ක්ෂේත්‍රය සමග සමග ඒකාබද්ධ වීමට හැකියාව ලැබෙන වේදිකාවක් වේවී.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා :

රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශයක් ලබාදීම සඳහා අපට සුවිසල් වගකීමක් තිබෙනවා. එම කාර්යයේදී මෙවැනි ජාත්‍යන්තර සමුළු ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මේ තුළින් අප ලබා ගන්නා දැනුම අපගේ ගැටලු ගැටළු විසඳාගැනීම සඳහා භාවිතා කරන්න හැකියාව ලැබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා

ඉදිරි 2030 වර්ෂය වන විට සපුරා ගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය අප වෙත ලබා දී තිබෙනවා. එම ඉලක්ක සපුරා ගැනීම , ජයග්‍රහණය කර ගැනීම තනිව කළ හැකි කටයුත්තක් නෙවෙයි. එම කටයුතු සාක්ෂාත් කර ගැනීමේ කාර්යයේ දී මෙවැනි ජාත්‍යන්තර සමුළු තුළින් උකහා ගන්නා දැනුම ඉතාමත් වැදගත්.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රුවන් ලියනගේ මහතා

මෙම ජාත්‍යන්තර සමුළුවේදී මෙරට ජලය ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් අප අවධානයක් යොමු කරනවා. පිරිසිදු ජලය නිෂ්පාදන ක්‍රියාවලියේදී විදුලි භාවිතයේදී වැයවන පිරිවැය ඉහළ හෙයින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් අප මෙහිදී දැඩි අවධානය යොමු කර තිබෙනවා. සමුළු නියෝජිතයන් හා අපගේ නිලධාරීන් අතර දැනුම හුවමාරු කර ගැනීම සඳහා මෙම සමුළුව හොඳ තෝතැන්නක් වේවි.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමෙන් මහතා අදහස් දක්වමින්. ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත රණතුංග, අමාත්‍යංශ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර, ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රුවන් ලියනගේ මහත්වරු ඡායාරූපයේ වෙති.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment