නතාෂා බුදුන්ට චේතනාත්මකව අපහාස කරලා

500

භාෂණයේ නිදහස අන් අයට අපහාස කරන්න දුන් ලයිසන් එකක් නොවෙයි
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත් කියයි
සැකකාරිය 5 දා තෙක් රිමාන්ඩ්
බෲනෝට ඇප ලැබෙයි

බෞද්ධ ධර්මයට හා බුදුරජාණන් වහන්සේට අපහාස වන පරිදි ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී ඇති ප්‍රහසන ශිල්පිනී ජයනි නාතාෂා එදිරිසූරිය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සැකකාරිය ලබන 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඇය සිදුකොට ඇත්තේ කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බරපතළ වරදක් බවත් එලෙස බුද්ධ චරිතය උපහාසයට ලක්කිරීම ඇය සිදු කර ඇත්තේ ද චේතනාන්විතවම බව සැකකාරියගේ හැසිරීම අනුව පෙනී යන බවත් පෙන්වා දෙමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන අනු ව්‍යවස්ථාව මගින් භාෂණයේ නිදහස තහවුරු කර ඇතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (2) අනු ව්‍යවස්ථාව මගින් එයට යම් යම් සීමා පනවා ඇති බවත් එම නියෝගය නිකුත් කරමින් පැවසූ මහෙස්ත්‍රාත්වරයා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස යනු අනෙක් අයට අපහාස කිරීමට ලබාදී ඇති බලපත්‍රයක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දු මගින් ද සනාථ කර ඇතැයි ද පැවසීය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන අනු ව්‍යවස්ථාව මගින්ම බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවද විවෘත අධිකරණය හමුවේදී සිහිපත් කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය සිදු කර ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි වන බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද පැවසීය.

පසුගිය අප්‍රේල් 1 වැනිදා පවත්වා ඇති එම වැඩසටහනේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සිය නිර්මාණයේ පිටපත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතුව තිබියදීත් හිතාමතාම එය ඉදිරිපත් නොකිරීමෙන් සැකකාරිය තමන් සිදුකරනා බරපතළ වැරැද්ද පිළිබඳ හොඳ දැනීමකින් යුතුව සිටි බවක් පෙනී යන්නේ යැයි ද එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම පිටපත තමන් විසින්ම රචනා කර පෙරහුරු පවා පවත්වා ඉදිරිපත් කළ බව සැකකාරිය විසින්ම පිළිගෙන ඇතැයි ද පෙන්වා දුන්නේය. සැකකාරිය සිදු කර ඇත්තේ ප්‍රහසනයක් මිස හිතාමතාම බුදුරජාණන් වහන්සේට හෝ බොදු දහමට අපහාස කිරීමක් නොවන බවට සැකකාරි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ලිඛිතව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් අනුව පෙන්වාදී ඇතැයි මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

බුදුරජාණන් වහන්සේගේ ළමා කාලය සම්බන්ධයෙන් ඇය සිදු කර ඇති ප්‍රකාශ මගින් අපහාසහයක් සිදුවී නොමැති බව විත්තියේ මතය වුවත් සැකකාරියගේ එම ප්‍රකාශ සුළු කොට තැකීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ද විවෘත අධිකරණය හමුවේදී පැවසූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බුදුන් වහන්සේගේ චරිතාපදානය ළමා වියේ සිට පිරිනිවන්පෑම දක්වා වූ වසර 45 ක කාලයකට සීමා නොවන බවත් බෞද්ධ ඉගැන්වීම අනුව එය අසමසම බවත් පැවසීය.

ඒ පිළිබඳව විවිධ අංශවලින් පැමිණිලි ලැබෙමින් පවතින විට රටින් පලා යෑමට සැකකාරිය උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බවත් සිහිපත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇගේ එම ප්‍රකාශ නිසා බෞද්ධ ධර්මයට මෙන්ම බුදුරජාණන් වහන්සේට බලවත් නිගරුවක් සිදුවී ඇති බවට විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර ඇති කරුණු තම අධිකරණයට කිසිසේත්ම බැහැර කළ නොහැක්කේ යැයි ද පෙන්වා දුන්නේය.

ඇයට එම ක්‍රියාව සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති වෙබ් අඩවි හිමිකරුවකු යැයි කියන බෲනෝ දිවාකර නමැත්තා රුපියල් 50,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම සැකකරුට විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් ද නිකුත් කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට යවනා ලෙසට ද නියෝග කළේය. විමර්ශනවල ප්‍රගතිය ලබන 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. නීතිඥ නලීන් සමරකෝන්, ජගත් බණ්ඩාර, සාගර බණ්ඩාර, හර්ෂාන් පෙරේරා හා කැළුම් හේවගේ යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් ගමගේ මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment