ශ්‍රී ලංකාව සුපිරි ජයකින් සුපිරි වටයට සුදුසුකම් ලබයි

452

අයර්ලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (25 වැනිදා) අයර්ලන්තයට එරෙහිව මූලික වටය යටතේ පැවති තරගයෙන් ලකුණු 133ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ගේ මංගල ශතකයේ දස්කම් මතින් ලකුණු 323 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 192ක් පමණි.

වනිඳු හසරංග නැවතත් පෙරලියක් කරමින් අයර්ලන්ත ඉනිමේ හරි අඩක්ම දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කළේය.

ඒ අනුව “බී” කාණ්ඩය යටතේ තමන් සහභාගි වූ තරග තුනම ජයගත් ශ්‍රී ලංකාව සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනිද්දී තමන් සහභාගි වූ තරග තුනම පරාජයට පත්වූ අයර්ලන්ත කණ්ඩායමට සුපිරි හය වටය පමණක් නොව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වයද අහිමිව ගියේය.

මෙම තරගයට පෙර පැවති තරග හතරක් තුළ අඛණ්ඩව අර්ධ ශතක වාර්තා කර සිටි දිමුත් කරුණාරත්න පන්දු 103 කදී ඊයේ ලබාගත් ලකුණු 103 ඔහුගේ හොඳම ජාත්‍යන්තර එක්දින ඉනිම වූ අතර දිමුත් විසින් අඛණ්ඩව ලකුණු 50 ඉක්මවා යමින් ප්‍රදර්ශනය කරන ලද මෙම දක්ෂතාවය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පස්වැනි අවස්ථාව වෙයි.

මීට පෙර සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් එම දස්කම් ප්‍රදර්ශනය කර තිබුණි.

අයර්ලන්ත ඉනිම ලකුණු 193 කට සීමා කිරීම සඳහා විශිෂ්ට දස්කම් දැක්වූ වනිඳු හසරංග ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගත් අතර ඒ අනුව වනිඳු මේ දක්වා තරගාවලිය තුළ තරග තුනකදී කඩුලු 16 ක් දවාගෙන තිබේ. පළමු තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුළු 6 ක් ද ඕමාන කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් ද වනිඳු දවාගෙන තිබුණේය.

වනිඳු ට අමතරව මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් ද කසුන් රාජිත, ලහිරු කුමාර සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 39 ක් ලබාගත් කර්ට්ස් කැම්පර් ය.

දිමුත්ට අනගි සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 86 කදී ලකුණු 83 ක් ලැබීය. ඔවුන් දෙදෙනාගේ දැවීයෑම්වලින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් පහළ අගයක් ගනු ලැබූ අතර චරිත් අසලංක ලකුණු 38 කටත්, දසුන් ශානක ලකුණු 5කටත් දැවී ගිය අතර ධනංජය ද සිල්වා පන්දු 35 කින් නොදැවී ලකුණු 42 ක් රැස් කළේය.

දිමුත් සහ සධීර අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158ක සම්බන්ධතාවයක් වාර්තා විණි.

පන්දු යැවීමේ දී මාර්ක් අඩෙයාර් කඩුලු 4 ක් දවා ගත් අතර, බැරි මැකාති කඩුලු 3 ක් ද, ගාරෙත් බෙලානි කඩුලු 2ක් ද දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment