අයි.එම්.එෆ් දෙවැනි වාරිකය 12 වැනිදායින් පසු හරි – ඇමැති අලි සබ්‍රි

66

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු මෙරටට ලැබෙනු ඇතැයි විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

එම ණය මුදල ලැබීමත් සමග රට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළට විවිධ අදහස් දරන ලෝකයේ බලවත් රටවල් එකම මතයකට ගෙනැවිත් ණය වාරික ලබා ගැනීමට හැකිවීම මෙරට ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද හෙතෙම පැවසීය. විදේශ කටයුතු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

ජාත්‍යන්තර අරමුදලේ මූලික ණය වාරිකය අපට දුන්නා. ජනාධිපතිවරයාගේ පෞද්ගලික සම්බන්ධතා පළමු ණය වාරිකය ගන්න උදව් වුණා. ඒක අපිට නෑ කියන්න බැහැ. ලබන 12 වැනිදා වන විට ජාත්‍යන්තර අරමුදලේ දෙවැනි වාරිකය ගැනීමට හැකි වෙයි. එය තමයි රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමට තිබෙන එකම අවස්ථාව. තෙල් පෝලිම්, ගෑස් හිඟය, ඖෂධ හිඟය නැති කිරීම සහ පැය 24 ම විදුලිය තිබෙන බවට තහවුරු කිරීමත් සමග සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අපිට දැන් හැකි වී තිබෙනවා. ලංකාව සමග ගනුදෙනු නොකළ එයාර් ලයින් සවුදි එයාර් ලයින් එක ලංකාවට ගේන බවට එරට නිලධාරීන් ප්‍රකාශ කළා. පසුගිය වසරේ විදේශ රැකියා සඳහා 314,000 ක් ගිහිං තිබෙනවා. මේ වර්ෂයේ මේ වන විටදී

රැකියා සඳහා 275,000 ක් ගිහිං තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ ජයග්‍රහණ ඉතාම කෙටි කාලයකින් අපට ලබා ගැනීමට හැකිව තිබෙනවා. ප්‍රංශයේ ජනාධිපතිවරයා පළමු වතාවට ලංකාවට ආවා. බංකොළොත් වෙලා තිබියදී පවා ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් ඩී.එෆ්.සී.සී. කර තිබෙනවා. ඒ රට ගැන තිබෙන විශ්වාසය නිසයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment