මහදවල් තැන තැන මිනී මරති – අවි ගත්තෝ යකා නටති

513

කොස්ගොඩ සුජීගේ මාමා රන් මහත්තයාටත් වෙඩි
කොට්ටාවේ රසායනාගාරයකට පැනලා මිනී මරලා
හෝමාගම ඝාතනය හඳයාගේ වැඩක්

හෝමාගම, කොස්ගොඩ සහ කොට්ටාව ප්‍රදේශවලදී පාතාල කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පෙරේදා (20වැනිදා) රාත්‍රි පාතාල සාමාජිකයන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයෙන් හිටපු යුද හමුදා සෙබළකුවූ චමිල සංජීව පෙරේරා නමැති පුද්ගලයා ඝාතනයට ලක්විය.

හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හඳයා නමැති පුද්ගලයා මෙහෙයවන පාතාල කල්ලිය මෙම ඝාතනය පිටුපස සිටින බවට පොලිසිය සැකපහළ කරයි. හඳයා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම පාතාල කල්ලිය මෙහෙයවන බවද වාර්තා වෙයි.

පෙරේදා රාත්‍රි චමිල සංජීව නමැත්තා සිය මිතුරන් කීපදෙනෙකු සමග නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇත.

පසුව ඔහු නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව විවෘත කර කිසියම් පුද්ගලයකු පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටියදී යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී56 අවියකින් ඔහුට ප්‍රහාර එල්ල කර පලා ගොස් ඇත.

වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ චමිල සංජීව හෝමාගම රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර හෝමාගම පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී ඊයේ අළුයම පාතාල සාමාජිකයන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ මාමා ඝාතනයට ලක් විය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි රංග හෙවත් කොස්ගොඩ රන් මහත්තයා නමැති අයෙකි.

රන් මහත්තයා නමැති පුද්ගලයා ඊයේ අලුයම සිය නිවස ඉදිරිපිට ගේට්ටුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ යතුරුපැදියක පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇත.

ප්‍රහාරයෙන් රන් මහත්තයා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ.

කොස්ගොඩ සුජීගේ සහ රත්ගම විදුරගේ පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් ගැටුම් පවතින අතර මෙම ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් විය හැකි බව පොලිසිය පවසයි.

රත්ගම විදුරගේ බිරිඳගේ සොහොයුරා වන ගුරුවරයෙක් මීට සති කීපයකට උඩදී අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබුවේය. එම ප්‍රහාරය කොස්ගොඩ සුජීගේ කල්ලිය විසින් සිදු කරන්නට ඇති බවට සැකකර තිබිණි.

එම ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස රන් මහත්තයාට මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

ඝාතනයට ලක්වු රන් මහත්තයා සංචාරක මගපෙන්වන්නෙකු මෙන්ම ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාව කළ අයෙකි.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ කොට්ටාව පොලිස් වසමේ කොට්ටාව, පිලියන්දල 255 ප්‍රධාන බස් මාර්ගයේ කොට්ටාව ධර්මපාල විiාලය ඉදිරිපිට පිහිටි පෞද්ගලික රෝහලක රසායනාගාරයක් තුළට 21දා උදෑසන 07.30 ට පමණ කඩා වැදුණු වෙඩික්කරුවන් දෙදෙනකු එම ආයතනයේ සේවය කරමින් සිටි 33 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලා ගොස් තිබූ බව කොට්ටාව පොලිසිය පැවසීය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත්තේ මත්තේගොඩ, නාමල් උයන පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වෛi රසායනාගාර ශිල්පියෙකු වු මිහිරාන් ගිම්හාන පද්මසිරි නමැති පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

උදෑසන සේවයට පැමිණි මෙම රසායනාගාර ශිල්පියා තම සේවා කටයුතු ආරම්භ කොට ටික වේලාවකින් ඔහුටද සිතා ගත නොහැකි නිමේෂයකදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනා ආයතනය තුළට පැමිණ උදර ප්‍රදේශයට සහ හිස ප්‍රදේශයට රැගෙන ආ ගිනි අවියෙන් වෙඩි තබා පලා ගොස් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වු බවත් වෙඩි ප්‍රහාර 09 ක් පමණ එල්ල කර තිබූ බවත් පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි රසායනාගාර සේවකයා විවිධ පරීක්‍ෂණ කටයුතු සඳහා රසායනාගාරය වෙත පැමිණ සිටි පුද්ගලයින් කිහිපදෙනකු විසින් හදිසි ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

රෝහලට ඇතුළත් කරන විටත් වෙඩි වැදී බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වෙඩි තබා පලාගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙම සිද්ධීන්ට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. බී. එස්. ජයමහ මහතා පැවසීය.
හේමන්ත රන්දුණු එස්. ඩී. අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment