ඉඩම් දේපොළ ගනුදෙනුවලින් කළු සල්ලි සුදු කරන්න එපා – නිශ්චල දේපොළ නියෝජිතයන්ට මහ බැංකුවෙන් උපදෙස්

456

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයන් දැඩි කරන ලෙස නිශ්චල දේපළ නියෝජිතයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පසුගියදා නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර එහිදී මෙම උපදෙස් ලබාදී ඇත. මෙහිදී මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වගකීම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් අවමකරගත හැකි වන බවයි. මෙම ප්‍රශ්නය සඳහා මූල්‍ය බුද්ධි ඒකකය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන ලෙස ද මහ බැංකු අධිපතිවරයා දේපළ වෙළෙඳාම් අංශයේ නියෝජිතයන්ට දැනුම් දී ඇත.

නිශ්චල දේපළ වෙළෙඳාම් අංශයේ අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීම උදෙසා එම අංශයේ නියාමන අධිකාරීන් විසින් නිර්දේශ ගණනාවක් බැරෑරුම් ලෙස සලකා බලන ලෙස දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ නියැළී සිටින ආයතනවලින් ඉල්ලා සිටීමද මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී සිදුව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment