මුදල් අමාත්‍යාංශය නිහඬ නම් සෞඛ්‍ය සේවක සටන යළිත්

100

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමට, හෙට (12දා) මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කියා සිටී.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර පසුගිය 6 දා පැවති සාකච්ඡාවෙන් අනතුරුව බදාදා දිනට යෝජනා කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව සතියක කාලසීමාවකට අත්හිටුවීමට එම සන්ධානය තීරණය කළේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සිදුකරගෙන ආ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හැරීමෙන් පසුව එම සන්ධානයට අයත් වෘත්තීය සංගම් 72ක සාමාජිකයන් පළාත් මට්ටමින් සහ රෝහල් මට්ටමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කිරීමට ද එම සන්ධානය මේ වන විට කටයුතු කරමින් සිටී.

වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසකින් වැඩි කළ ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති මින් පෙර වැඩ වර්ජන කළහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment