ශ්‍රී ලංකාව සිනමා ගමක් කරන්න සැලසුම්

97

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ජනප්‍රිය සිනමා ගමනාන්තයක් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් වැඩසටහනක් ආරම්භ කර ඇත.

රුපියල් මිලියන පහක වියදමක් දරමින් සිදුකෙරෙන මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත සිනමා නිෂ්පාදක සමාගම් හතරක් ඉකුත් සතියේදී මෙරට සංචාරයක නිරත විය.

මෙම සමාගම් අතරට පද්මාවති වැනි දැවැන්ත සිනමා නිර්මාණය සිදුකළ නිෂ්පාදක සමාගම් ද අයත්ය. එම සමාගම්හි විධායක නිලධාරීන් වන සෝබාර් ශාම්, ආශා දේව් සිං, කරන් ජෝෂී පසුගියදා මෙරට සංචාරය කර තිබේ. මෙම සංචාරය ඉන්දියානු සිනමා නිර්මාණ සඳහා ශ්‍රී ලංකාවේ දර්ශන තල යොදා ගැනීම වෙනුවෙන් එරට සිනමා කර්මාන්තයේ ඉහළ නිලධාරීන් පිරිසක් සිදුකළ දෙවන සංචාරය වන අතර මීට පෙර ඉකුත් අප්‍රේල් මාසයේදී කර්නාටක සිනමාවේ අධ්‍යක්ෂවරු සහ නළු නිළියෝ පිරිසක් ද මෙරට සංචාරයක නිරත වූහ.

ඉකුත් සතියේදී පැමිණි මෙම බොලිවුඩ් සිනමා කර්මාන්තයේ ඉහළ නිලධාරී කණ්ඩායම මෙරට ආකර්ෂණීය පසුබිම් දර්ශන තල ඇති ඇල්ල, නුවරඑළිය සීතා අම්මාන් කෝවිල අවට ප්‍රදේශය, මහනුවර, හම්බන්තොට, රන්මිහිතැන්න, කොළඹ පෝට්සිටි ආදී ප්‍රදේශයන්හි සංචාරය කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඉන්දියානු රුපියල් කෝටි දහයකට වඩා වැඩි පිරිවැයක් යොදමින් සිනමා නිර්මාණ නිෂ්පාදනය කරන මෙකී සමාගම් ස්වකීය නිර්මාණ සඳහා ශ්‍රී ලංකාවේ දර්ශන තල යොදා ගැනීමට දිරි ගැන්වීමෙන් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය පරිසරය ඉන්දියානු සහ ලොව පුරා සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමෙන් සංචාරක ආකර්ෂණ ලබා ගැනීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සැලසුම වී තිබේ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment