හැත්තෑවෙ ලව් ස්ටෝරියේ සින්දු ආපහු අහමු

115

චිත්‍රපටයක් ඇතුළෙ තවත් චිත්‍රපටයක්

හැත්තෑව දශකය කියන්නෙ මොන තරම් නම් සුන්දරද? අපි හැමෝම කියන්නෙ කොහොමද ඒ කාලෙ, එහෙමත් නැතිනම් හැත්තෑව දශකයෙනේ චිත්‍රපට සින්දු තිබුණේ. ඒ කතාවේ ඇත්තකුත් නැතිවාම නෙමෙයිනේ. ඉතිං හැත්තෑවෙ දශකයේ වැඩක් කිව්වහම කවුද නොයන්නේ. මොකද ඒ කාලයට ඒ තරම් ආදරෙයිනේ. ඉතිං පසුගිය දවසක අපිටත් ඒ වගේ ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනා පත්‍රයේ තිබුණේ හැත්තෑව දශකයේ ආදර කතාවක සින්දු ටිකක් එළියට දානවා කියලයි. ඉතිං අපිත් ගියේ මේ ලව් ස්ටෝරිය මොකක්ද කියලා බලන්න. වැඩේ හැත්තෑවෙ ආදර කතාවක් වුණාට ඉන්නෙ අපේ කාලයේ සිනමා තරු ටිකක්.

හැත්තෑවෙ ලව් ස්ටෝරියේ සින්දු ආපහු අහමු

හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා තමයි 1970 ලව් ස්ටෝරියේ කතානායකයෝ. මේ කට්ටිය මෙහෙයවලා තියෙන්නේ අපේ කාලයේ දක්‍ෂ සිනමාවේදියෙක් වුණු අරුණ ජයවර්ධන. ඔයාලට මතක ඇතිනේ නිකිනි වැස්ස එහෙමත්. ඉතිං අරුණගෙම තිර රචනයක් තමයි මේ ලව් ස්ටෝරියත්. මේ වැඩේට සම්පූර්ණ බරපැන දරල තියෙන්නේ ආචාර්ය සමන් එදිරිසිංහ.

හැත්තෑවෙ ලව් ස්ටෝරියේ සින්දු ආපහු අහමු


තෙමෙන කහවනු මහ වරුසාවේ
ජීවිතය හැර හැම දේම හමුවේ
වහින මහවැසි කඳුළු ගංගාවේ
ජීවිතය ළඟ ජීවිතය හමුවේ

පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හාමාදුරුවන්ගේ පද රචනයක් වුණු තෙමෙන කහවනු සංගීතවත් කළේ චින්තක ජයකොඩි. 1970 ලව් ස්ටෝරියේ මේ පදවැල්වලට හඬින් ආලෝකයත් ලබාදෙන්නේ සූර්යා දයාරුවන්.

හැත්තෑවෙ ලව් ස්ටෝරියේ සින්දු ආපහු අහමු

තෙමෙන කහවනු ගීතයේ පද රචනාව නොදැකම තමයි චින්තක සංගීතවත් කරලා තියෙන්නේ. පදවැල් දැක්ක ගමන් සූර්යාව ගන්නේ කියලයි තීරණය කරලා තියෙන්නේ. සූර්යා දයාරුවන් පැවසුවේ චිත්‍රපටයක රඟපානවා වගේම ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා කියලයි.

මේ කාලෙ කොල්ලො කෙල්ලන්ගේ ක්‍රෂ් එකක් වුණු හේමාල් වගේම රූප රැජනක් වුණු ගම්‍යා විජේදාසගෙන් තමයි මේ ආදර කතාවේ ඊළඟ ආමන්ත්‍රණය සිද්ධ වුණේ.

ගී සර විඳින්න හදවත පිරෙන්න මල්සර
පෙම් රස දැනෙන්න
සවනට කියන්න කොඳුරලා
ආදර උල්පතින් පෙම් රසඅම දහරා
ගලාවි රස දහරා
මේ පෙම් ජීවිතේ මනහර මනහාරා……
ඉතිං මේ ගී රස විඳින්න පදවැල් හිතට

නැගෙන්නේ ශෙහාන් ගලහිටියාවගේ. තිළිණ රුහුණුගේ තමයි සංගීතවත් කරන්නේ. සමිතා මුදුන්කොටුව සහ ඉන්දික රුවන් තමයි ගායනා කරන්නේ.හේමල් ඒ වෙලාවෙ කිව්වෙ මෙහෙම කතාවක්. දැන් මේ ගීතය බලනකොට තේරෙයි ඔයගොල්ලන්ටත් අපිත් වාසනාවන්ත වුණා කියලා. මොකද හැත්තෑව (70) තමයි මමත් විශ්වාස කරන්නේ, විලාසිතා සංගීතය අතින් ගත්තහම හරි ලස්සන මිරර් එකක්. චිත්‍රපටයක් තුළින් ඒ දශකයේ ජීවත් වෙන්න ලැබුණා.

ආදරණීය, යුගයේ ජනප්‍රියතම, ආදරණීය තරු අතරට එක මොහොතකට හරි අපිට එකතුවෙන්න පුළුවන් වුණා කියලයි ගම්‍යා පැවසුවේ. මේ ගීතය ගම්‍යාගේ හදවතට සමීපම ගීතයක්ලු.

විශේෂයෙන් අපි හැත්තෑව දශකයේ චිත්‍රපට සහ සංගීතය වගේම ගීතය ගැන කතා කරනවා. මේ මම කියන්න යන ගීතයත් අපි හැමෝටම මතක හිටීවි. මේ ගීතයත් චිත්‍රපටය වගේම අතිශය ජනප්‍රිය වෙනවා නොඅනුමානයි. ඒක ෂුවර් ෂොට් එකක්. බිමල් ජයකොඩි මෙහෙම කියන ගීතය මොකක්ද? ඉතිං අපි හැමෝම සඳ පායනකොට ආසයි. සඳ පායනකොට තනි වෙන්නත් ආසයි. එහෙනම් සඳ පායන්න පායන්න සැරසී……

සඳ පායන්න පායන්න සැරසී
අඳුරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන් වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණලු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා

ආයෙමත් රූ අරන් – ආයෙමත් රූ අරන්
හැම රාත්‍රි තරුවක්ම පායනු ආකාසේ
මට අහිමි සඳ දිලුණා දෝ
ඒ සඳට ඉහළින්ම ආකාසෙ ගෑවෙන්න
මැව් සිහින තව නින්දේ දෝ
සඳ පායන්න පායන්න සැරසී…..

දුමින්ද අලහේන්ද්‍රගේ පද රචනාවෙන්. මංගල ගලප්පත්තිගේ සංගීතයෙන් සුරේන්ද්‍ර පෙරේරාගේ හඬින් මේ සඳ පායන්නේ 1970 ලව් ස්ටෝරියේය.

ඔව්. ඇත්තටම මේක වෙනස් චිත්‍රපටයක්. මොකද චිත්‍රපටයක් ඇතුළෙ තවත් චිත්‍රපටයක් රූපගත කෙරෙනවා. 70 දශකයේ සිදුවෙච්ච අහඹු සිදුවීමක්, කතාමාලාවක් හැටියට තමයි මේ චිත්‍රපටය රූපගත කෙරෙන්නේ. මේ වැඩේ කතානායකයා වුණු අරුණ ජයවර්ධන තමයි එහෙම කිව්වේ.

මේක ඇත්තටම චිත්‍රපටයක්. මේ ලව් ස්ටෝරියේ සින්දු ටික විතරයි දැනට එළියට ආවේ. ඉතිං 1970 ලව් ස්ටෝරියත් ළඟදීම එළියට ඒවි. චුට්ටක් කල්පනාවෙන් ඉන්න.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment