කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා – ජගත් චමිල

167

වේදිකාව කියන්නේ මට පූජාසනයක්
අපේ ප්‍රින්සිපල් කාලෝචිතයි
වීර්යා පවුලේ වැඩක්

ලාංකේය සිනමාවේ, වේදිකාවේ වගේම ටෙලි නාට්‍ය කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාර චරිතයක් තමයි අද අපේ මීවිත මැද පිටුවේ කතාබහට එකතු කර ගන්නේ. ඔහු සිනමාවෙන් නැවතුනේ මෙරට පමණක් නොව නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ගොසිනි. සැබැවින්ම ඔහු වේදිකාවේ ද පෙරළිකාරයෙකි. එතැනින් ඔබ්බට ගොස් ටෙලි නාට්‍ය කලාවෙන් ද මෙරට සම්මාන උළෙලවල් අතික්‍රමණය කළ නළුවෙකි. නමින් ජගත් චමිල වූ ඒ පෙරළිකාර රංගධරයාට වැඩි ඉඩක් වෙන් කරන්න ඕනෑ හින්ද අපේ හැඳින්වීම මෙතැනින් නතර කරමු.

කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා - ජගත් චමිල

● ජගත් චමිල කියන රංගන ශිල්පියා මේ දිනවල අතිශය කාර්යබහුල චරිතයක් කියලයි ආරංචිය?

ඇත්තටම මේ දිනවල චිත්‍රපට දෙකක රූගත කිරීම් සිද්ධ කරනවා. පසුගිය දිනවල සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරපු ‘සඳලි’ කියන චිත්‍රපටයෙ වැඩ අවසන් කළා. මෙහි රූගත කිරීම් සිදු කළේ ගල්ගමුව ප්‍රදේශයේ. ඒ අතරවාරයේ අකිල සපුමල්ගේ ‘රතු මඟුල් කපුවා’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. මේ මාසයේ අග කුමාරි දසනායකගේ ‘සුද්දි’ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. තවද අසංක සායක්කාරගේ ‘උඩතට්ටුව’ ටෙලි නාට්‍යයේ මැක්ස්ගේ චරිතයට රංගනයෙන් දායක වුණා.

● ඔය අතරෙ ඔබ රංගනයෙන් දායක වුණ සුනිල් අරුණ වීරසිරිගේ “වීර්යා” වගේම ක්‍රිස් ඇන්තනීගේ “අපේ ප්‍රින්සිපල්” චිත්‍රපට දෙක තිරගත වෙනවා නේද?

ආර්ථික වශයෙන් හැමෝම හිරිවැටිලා ඉන්න වෙලාවක වුණත් මේ චිත්‍රපට දෙක වෙනුවෙන් සිනමාහල් පිරී යනවා. ඇත්තටම ඒකට මම ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඒක මම සහභාගි වුණ චිත්‍රපටයක් හින්දම නෙමෙයි, මොන චිත්‍රපටයක් වෙනුවෙන් වුණත් රසිකත්වය අගයන තැනට ආපු එක ගැන ඇත්තටම සතුටුයි.

කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා - ජගත් චමිල

● අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය ගැන කතා කළොත්?

අපේ ප්‍රින්සිපල් කියන්නේ බොහොම කාලෝචිත මාතෘකාවක් යටතේ නිෂ්පාදනය වුණු චිත්‍රපටයක්. මේ දිනවල අපට ජනමාධ්‍ය මගින් ද දකින්න ලැබෙන මත්ද්‍රව්‍ය ජාවාරම රටේ බොහොම ව්‍යසනකාරී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒක අපේ රටට බොහොම කඨෝර විදිහට බලපාල තිබෙනවා. ඒ මාතෘකාව ඔස්සේ තමයි අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දිගහැරෙන්නේ.

● සුනිල් අරුණ වීරසිරිගේ “වීර්යා” ගැනත් කතා කරමු

සතුට, විනෝදය උදෙසාම තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ. සිනමාව පරණ ද අලුත් ද කියලා දෙයක් නැහැ. සිනමාවේ තිබෙන විශේෂත්වයත් ඒකම තමයි. තේමාවත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සිනමාව යාවත්කාලීනයි. වීර්යා පවුලේ චිත්‍රපටයක්. ඒකටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා - ජගත් චමිල

● උඩතට්ටුවේ “මැක්ස්” ගැන රසිකාවියො මොනවද කියන්නේ?

රසිකාවියො නම් හැමෝම අප්සෙට් වෙලා. ඉන්නේ මොකද හැමෝම පොරකනවා මැක්ස්ගේ කෑම එක කන්න. මගෙන් කෝල් කරල අහනවා මැක්ස් එන බස් හෝල්ට් එක මොකක්ද කියලත්. මැක්ස්ගේ බත් එක අරගෙන යන්න බැරිද කියලත් සමහරු අහනවා. විවිධ අදහස් තිබෙනවා ඒක හාස්‍යයත් එක්ක මුහු වුණ කතාවක්.

● උඩතට්ටුව ඔබ කොහොමද දකින්නේ?

මේ මොහොතේ පවතින කාලීන මාතෘකාවක් එක්ක තමයි මේකත් ගොඩනැඟෙන්නේ. මධ්‍යම පාන්තික පැලැන්තිය ජීවත්වීම උදෙසා කරන අරගලයේ හරස්කඩක් හැටියටයි මම උඩතට්ටුව දකින්නේ. අද ජීවිත තියෙන්නේ ඇන්රොයිඩ් ෆෝන් එක්ක. ඒක ඇතුළෙ හැමදෙයක්ම ක්ෂණික වෙලා තියෙනවා. අද තියෙන ස්මාර්ට් ෆෝන් භාවිතාව එක්ක සියල්ල විවෘත වෙලා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි තම තමන් තුළ ඉඳගෙන මේ සමාජ කතිකාවත ගොඩනඟා ගන්න එක.

● වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ වීර්යාට ද? අපේ ප්‍රින්සිපල්ට ද?

මෙහෙමයි. මෑත කාලයේ දෙමාපියන්ට තියෙන ලොකුම අර්බුදය තමයි තමන්ගෙ දරුවා ආරක්ෂා කර ගැනීම. දැන් එහෙම ගත්තහම අපේ ප්‍රින්සිපල්ට ප්‍රතිචාර තිබෙනවා. වීර්යාටත් එලෙසමයි. මොකද දැන් ප්‍රශ්න ගොඩගැහිලා. ඔළු හිරිවැටිලා අම්මලා තාත්තලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා. ඉස්සර පවුලකට තිබුණ සෞන්දර්යාත්මක පරිසරය දැන් ගිලිහිලා තියෙනවා. මේ හැම එකකටම ඉතින් මැක්කට වගේ රාජ්‍යය තමයි වගකියන්න ඕනෑ. මේ තියෙන දුර්වලතාවන් ඇතුළෙ අද වෙනකොට ජන ජීවිත හිරිවැටිලා තියෙනවා. එහෙම හිරිවැටිලා තියෙන ජන ජීවිතයකට හොඳ තෙතමනයක් සහිත උත්තරයක් විදිහට වීර්යා ඇවිල්ලා තියෙනවා. මම ජීවත් වෙන්නේ මොරටුව ප්‍රදේශයේ. මොරටුවෙ අය ගොඩක් මගෙන් කෝල් කරල අහනවා අපිට වීර්යා චිත්‍රපටය බලන්න පුළුවන් කොහෙන්ද කියලා. ඉතින් ඒවායින් තේරෙනවා චිත්‍රපටයට යම්කිසි ඉල්ලුමක් තිබෙනවා කියලා. ඒ සම්බන්ධව ලොකු සතුටක් තිබෙනවා.

කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා - ජගත් චමිල

● ඔබ මෙතෙක් ආපු ගමනේ එදා සහ අද අතර වෙනස දැනෙන්නේ කොහොමද?

සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් ගත්තහම ඇත්තටම ලොකු කලකිරීමක් තිබෙනවා. නමුත් මම ආපු ගමන්මග දිහා බලද්දී අද තත්ත්වය එක්ක ලොකු දුකක් වගේම කලකිරීමක් තිබෙනවා. අපේ කලාවට මොකක්ද මේ වුණේ කියල හිතෙනවා. මා සම්බන්ධව නෙමෙයි, සෞන්දර්යාත්මකව ගත්තහම මේක බොහොම වටිනා කියන මාධ්‍යයක්නේ. මේකෙන් විස්තර කළ නොහැකි සමාජ මෙහෙවරක් සමාජයට සිද්ධ වෙලා තිබුණා. අද ඒ කාර්යභාර්ය ඉෂ්ට සිද්ධ වෙන්නේ වෙනස් මුහුණුවරයන්ගෙන්. සමාජයක් වෙනස් කරන්න පුළුවන්, හිතන්න පුළුවන් තැනකට ගොඩනැඟෙන කලාකෘතීන් නිර්මාණය කරන්න පුළුවන් ආර්ථිකමය පරිසරයක් නිර්මාණකරුවන්ට නැහැ. ඒකයි මම කිව්වේ සමාජයීය, ආර්ථික, දේශපාලනික වශයෙන් ලොකු පිරිහීමකට ලක්වෙලා තියෙනවා කියලා. සමස්ත පද්ධතිය ඇතුළේ නිර්මාණ කාර්යයන් ඉතාමත් දුර්වල තැනකට පත්වෙලා තිබෙනවා.

● ජගත් චමිල කියන රංගන ශිල්පියාට ලැබෙන නිර්මාණාත්මක සහ මූල්‍යමය වටිනාකම ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

මටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මාව විශ්වාස කරන ප්‍රේක්ෂකයන් මේක වෙන් කරගෙන, අවබෝධ කරගෙන තියෙනවා. ඒකයි මම හැමදාම එළියේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටියේ. ප්‍රේක්ෂකයා හරිම සමෘද්ධිමත්. හරිම බුද්ධිමත්. වැඩේ තියෙන්නේ ඔවුන්ගේ සමෘද්ධිමත්භාවය වෙනුවෙන්, ඔවුන්ගේ රසඥතාවය වෙනුවෙන් අපිට හරිහමන් දේවල් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ජගත් චමිලටත් තියෙනවා. මොකද ජගත් චමිලත් මේ සමාජ ක්‍රමවේදය ඇතුළෙ කුටුම්භයන් විදිහට ගත්තහම එක කුටුම්භයක්. ඒ කුටුම්භය ඇතුළෙ තවත් එක් පියෙක්. පවුලක් නඩත්තු කරන තාත්තා කෙනෙක්. එතකොට මේ සමාජය ඇතුළෙ තියෙන හැම පියෙකුටම දැනෙන බර ජගත් චමිලටත් දැනෙනවා. එතකොට මේ තෝරාගත්තු විෂයය ඇතුළෙ අපිට, පිරිහීමක් තිබුණත් මේකෙන් ව්‍යුක්තව ගනුදෙනුවක් කරන්න අපිට පුළුවන්කමක් නැහැ.

කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා - ජගත් චමිල

● ඇත්තටම රඟපෑම අතහරින්න හිතුන අවස්ථා නැතිද?

අතහරින්න හිතුණ අවස්ථා තිබෙනවා. නමුත් කොහොමද අතහරින්නේ. මම මොකක්ද කරන ඊළඟ වෘත්තිය. මම මොකක්ද යන ක්‍ෂේත්‍රය.

● ජගත් චමිල දන්නේ රඟපාන්න විතරද?

ඔව්. මම දන්නේ රඟපාන්න විතරයි. ඒකනේ මම විෂයයක් හැටියට දියුණු කළේ. මම කුඩා කාලයේදීමයි රංගන ක්‍ෂේත්‍රයට ප්‍රවිශ්ට වෙන්නේ. එතකොට රංගන ක්‍ෂේත්‍රය අද තිබුණ තැනක තිබුණා නම් සමහර වෙලාවට මම වෘත්තීය රංගන ශිල්පියෙක් නොවෙන්නෙ තිබුණා. එහෙම නම් මම වෙනස් විදිහක රස්සාවක් කරන ගමන් මගේ සතුට වෙනුවෙන් පමණක් රංගන කාර්යය සිදු කරයි. එහෙනම් මේක විෂයයක් හැටියට ලොකුවට හදාරන එකකුත් නැහැ. තමන් කැමැති දේ කරන්න මේ රට ඇතුළෙ ඉඩ තියෙන්න ඕනෑ. අපි තරාතිරම් ඇතුළෙ සමාජය වෙන් කරන්න නරකයි. එදා මට දැනිල තිබුණා නම් අද වෙනකොට මේ වෘත්තියට මෙහෙම දෙයක් වෙනව කියලා මට වෙන වෘත්තියක් තෝරා ගන්න තිබුණා. නමුත් අදටත් මම අයින් වෙන්නේ නැහැ. මොකද මට හංගලා හරි ගහන්න වෙන්නේ, මම දන්න ශිල්පය විතරයි. මොකද මම දන්නේ චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකාව කියන තුන් ඈදුතු කතාව විතරයි.

● මේ ත්‍රිත්වය ඇතුළෙ ඔබට ලැබෙන අවස්ථාවන් ගැන මොකද හිතන්නේ?

මෙච්චර අපහසු කාල වකවානුවකත් චිත්‍රපට කරන්න නිෂ්පාදක මහත්වරු ඉදිරිපත් වෙනවා. ඒ ගැන සතුටුයි. මම වෙනදාට වඩා අද දවස වෙද්දී ඒ නිර්මාණ වෙනුවෙන් මැදිහත් වෙනවා. මට පුළුවන් විදිහට මම සහයෝගය දෙනවා. මොකද අපිට කරන්න පුළුවන් එච්චරයි.

තමන්ගේ කාර්යයන්ට එහා ගිය නිෂ්පාදන කාර්යය වෙනුවෙන් පෙනී ඉන්න පිරිසකුත් ඉන්නවා.

කලාවේ එක ලෙස වැඩ පෙන්වන පෙරළිකාරයා - ජගත් චමිල

● ජගත් චමිල කියන රංගන ශිල්පියා මොන ආර්ථික ප්‍රශ්න ආවත් රඟපෑම දාල යන්නේ නැහැ?

දාලා යන්න බැහැනේ. කොහොමද දාල යන්නේ.

● දැන් අධ්‍යක්ෂණ කාර්යයට අතගසන්න සුදුසු කාලය මේක කියල හිතෙන්නේ නැතිද?

ගොඩක් අය මගෙන් ඔය කතාව අහනවා. මට තිබෙන අත්දැකීම් සහ ශිල්පය ඇතුළෙ තිබෙන දැනුම එක්ක බැලුවහම සමහරු කියනවා අපි කැමැතියි චමිලගේම නිර්මාණයක් දකින්න කියලා. මටත් එහෙම හීනයක් තිබෙනවා. මගේ රඟපෑම ගොඩක් අය දැකල තියෙන්නේ. සමහරුන්ට ඒවායේ දොස් තියෙනවා. තවත් සමහරුන්ට ඒවායේ ගුණ තියෙනවා. ඉතින් ගුණ දොස් දෙකම බොහොම සමානව දරාගෙන ඉන්න ප්‍රෙක්ෂකයො අතරේ ඔවුන් මගේ හොඳ නරක දෙකම දැකල තිබෙනවා. තවම ඒගොල්ලො මගේ විෂන් එක, මගේ නිර්මාණයක් ඇතුළෙ දැකල නැහැනේ. දැන් මම වෙන දෘෂ්ටීන්වලට නිර්මාණාත්මකව ජීවමය ගුණය හදන්න තමයි දායකත්වය දීල තියෙන්නේ. මගේ දෘශ්‍ය මොකක්ද? මගේ විෂන් එක මොකක්ද? මගේ පරමාදර්ශය මොකක්ද? මගේ දැක්ම මොකක්ද? මගේ ප්‍රකාශනය මොකක්ද? කියන එක චිත්‍රපට සම්බන්ධයෙන් මටත් හීනයක් තිබෙනවා. මම කරපු කෙටි චිත්‍රපට තුන එකතු කරලා තනි චිත්‍රපටයක් විදිහට ප්‍රදර්ශනය කරන්න වුවමනාවක් තිබෙනවා. ඒකෙ පළමු කෙටි චිත්‍රපටය මම හදල ඉවරයි. තව කෙටි චිත්‍රපට දෙකක් වෙනුවෙන් මම පෙර සූදානම් වැඩ කටයුතු කරගෙන යනවා. ජගත් චමිලගේ ප්‍රකාශනය මොකක්ද මේ සමාජ කදම්බය ඇතුළේ, මේ ස්වභාවදහම ඇතුළේ. ජගත් චමිලගේ ප්‍රකාශනය මොකක්ද කියන එකට මගේ ප්‍රේක්ෂකයන්ට මගේ නිර්මාණයක් අරගෙන එනවා.

● ජගත් චමිල වේදිකාව උඩ දැවැන්ත කාර්යභාරයක් කරන චරිතයක්?

ඇත්තටම මට වේදිකාව කියන්නේ පූජාසනයක්. මම කවදාකවත් ඒ පූජාසනය කිළිටි කරන්න කැමැති නැහැ. කිළිටි කරන අය ඉන්න තැනක ගැවසෙන්නවත් කැමැති නැහැ. මට කේන්ති යනවා නම් කේන්ති යන්නේ, මට කෑගැසෙනවා නම් කෑගැසෙන්නේ වේදිකාව අවභාවිතා වන තැනක තමයි. මට අනෙක් හැමදෙයක්ම ඉවසාගෙන ඉන්න පුළුවන්. හැබැයි වේදිකාව යම්කිසි පුද්ගලයෙක් විසින් අවභාවිතා කරනවා නම් ඒකට මම ඉඩ දෙන්නේ නැහැ. මගේ ප්‍රකාශනය ටිකක් සැරයි. මොකද මම එච්චරටම වේදිකාවට ආදරෙයි. මොකද වේදිකාව තරම් සජීවී ආත්මීය ප්‍රකාශනයක් කරන්න පුළුවන් තැනක් තවත් නැහැ. මගේ තෝරාගැනීම ප්‍රධාන වශයෙන් තියෙන්නේ වේදිකාවේ. වේදිකාවේ මට තෝරාගැනීමක් තිබෙනවා. අද දවස වෙද්දී මම අතදිගහැරලා වැඩ කරනවා. මම සමහර වේලාවට තෝරා බේරා ගැනීමකින් තොරව වැඩ කරනවා. වේදිකාව මට ඇත්තටම භාවනාවක්.

දිනේෂ් විතාන
ඡායාරූප – ශමේන්ද්‍ර ප්‍රනාන්දු
ඇඳුම් – සූධීර චන්ද්‍රසේන

advertistmentadvertistment
advertistmentadvertistment