අඳුරු කුටියක සිරකර කොතලාවල මැරෙන්න ඇරලා!

4720

මේ මරණය සැලසුම් සහගත කුමන්ත්‍රණයක්

හොරෙන් දේපළත් ලියාගෙන

නිවිති සුප් – තැඹිලි වතුර මහ රෑත් පොවලා

ස්වභාවික මරණයක් වන තැනට කටයුතු කරලා

සෙලින්කෝ තැම්පත්කරුවන්ගේ සංගමයේ සභාපති උසාවියේදී සාක්‍ෂි දෙයි

පරිවර්තකයකු නැති නිසා සෙරින් වික්‍රමසිංහගේ සාක්‍ෂි ගැනීම නවතියි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛi නිලධාරීන් තීරණය කර ඇතත් එය ඒ මහතාගේ නීතිඥවරුන් ඇතුළු කිහිපදෙනකු ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නේ යැයි සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා මහතා ඊයේ (03දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

ලලිත් කොතලාවල මහතා ඔහුගේ බිරිඳ සමග කොළඹ සහ එළිබෑන්ඩ් පාරේ පිහිටි ඔහුගේ නිවසේ පදිංචිව සිටියදී ඔහු බලහත්කාරයෙන් එම නිවසින් පිටකරවා ගෙන කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස් ඇති එකී පිරිස වාතාශ්‍රය පවා හැරිහැටි නොලැබෙන ජනෙල් කවුළුවක් හෝ නොමැති අඩි 10×12 කාමරයක රඳවා තබාගෙන සිට ඇති බවත් ඔහුගේ වයෝවෘද්ධභාවය හෝ නොතකා නිවිති මිශ්‍ර සුප් වර්ග හා තැඹිලි වතුර පවා මහ රාත්‍රියේ විටෙන් විට පානය කිරීමට සලස්වා ඇති බවත් හෙතෙම අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

ලලිත් කොතලාවල මහතාට අයත් හෝ ඔහු තනතුරු දැරූ සමාගම්වල කිසිදු දේපළක් කුමන හේතුවක් මත හෝ අන්සතු කිරීම, පවරා දීම හෝ එකී මුදල් යොදවා වෙනත් ව්‍යාපාර ආරම්භ කිරීම වළක්වන ඇප කොන්දේසියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබියදීත් එකී පිරිස එම ඇප කොන්දේසිය කඩකරමින් රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ඔවුන් වෙත හා ඔවුන්ට සම්බන්ධ සමාගම් නමින් පවරාගෙන ඇතැයි ද එම සාක්‍ෂිකරු අධිකරණය හමුවේ පැවසීය. එකී නීති විරෝධී ක්‍රියාදාමයට සිසිලියා කොතලාවල මහත්මිය හා ලලිත් කොතලාවල මහතාට ලැදියාවක් දැක්වූ ඔහුගේ සුපවේදියා, ගණකාධිකාරිවරිය, පිරිසිදු කරන්නිය, රියැදුරු ඇතුළු කිහිප දෙනකු සේවයෙන් ඉවත් කොට ඇති බවත් අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසූ එම සාක්‍ෂිකරු ඔවුන්ගේ භාරයේ රඳවාගෙන සිටි ලලිත් කොතලාවල මහතා සමග කිසිවකුට දුරකථනයෙන් හෝ ඇමතීමට ද ඉඩදී නැතැයි ද පැවසීය. ඔහු එලෙස බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට පියවර ගත් නීතිඥවරයා ඔහුගේ සහෝදරියව ලලිත් කොතලාවල අසල රඳවා ඇත්තේ සිය සහෝදරියක බව කරුණු සඟවා අසරණ කාන්තාවක ලෙස පෙන්වා දෙමින් වන්නේ යැයි ද සිය සාක්‍ෂිය මගින් අධිකරණයට පැවසූ එම සාක්‍ෂිකරු ලලිත් කොතලාවල මහතාගේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සහ ඊට යාබදව පිහිටි ඔහුට අයත් දේපළෙහි පිහිටි ගොඩනැගිලිවල ලලිත් කොතලාවල මහතාගේ මුදලින්ම ව්‍යාපාර කටයුතු සිදුකර ඇතැයි ද පැවසීය.

එකී අනීතික ක්‍රියාවලට මුල් වූ නීතිඥවරයා ඔහුට අයත් නීතිඥ සමාගමේ කාර්යාලය ද එම පරිශ්‍රයේම පවත්වාගෙන ඇති බවත් එම නීතිඥවරයාගේ සහෝදරියට ලලිත් කොතලාවල මහතා මුලාකොට විශේෂ සැලකීම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අධිකරණයට පැවසූ එම සාක්‍ෂිකරු මෙම සියලු අනීතික කටයුතු සිදුකර ඇත්තේ ලලිත් කොතලාවල මහතාව අනාථ නිවසකට දමන බවට තර්ජනය කර බලහත්කාරයෙන් වන්නේ යැයි ද පැවසීය. එකී තර්ජන පිළිබඳව ලලිත් කොතලාවල මහතා විසින්ම අවස්ථා කිහිපයකදීම බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් එකී අනීතික ක්‍රියාවලියට එරෙහිව ලලිත් කොතලාවල මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පවා නඩුවක් ගොනුකර තිබූ බවත් එම සාක්‍ෂිකරු අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

ලලිත් කොතලාවල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවේ ඇප කොන්දේසි 13ක් යටතේ බවත් ඉන් ප්‍රධාන ඇප කොන්දේසියක් වූයේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට හා සෙලින්කෝ සමාගම්වලට අගතියක් වන පරිදි වෙනත් ව්‍යාපාරවල යෙදීම වැළැක්වීම මෙන්ම සෙලින්කෝ සමාගම්වලට අයත් කිසිදු දේපළක් අන්සතු කිරීම වැළැක්වීම වන්නේ යැයි ද අධිකරණය හමුවේදී පැවසූ එම සාක්‍ෂිකරු එකී ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමට එරෙහිව තමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මෝසම ලබන 9 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිටත් දින නියම කර ඇතැයි ද පැවසීය. තමන් අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පවසන මෙම කරුණු ඇතුළත් සියලු කරුණු තහවුරු කරමින් ලලිත් කොතලාවල මහතාගේ අරක්කැමියා ලෙස කටයුතු කළ පුද්ගලයා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කොට ඇති බවත් ගරු අධිකරණයට ඒවා පරිශීලනය කිරීමට අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් කඳාන පේරලන්ද අංක 96/1 දරන ලිපිනයේ පදිංචි එම සාක්‍ෂිකරු වැඩිදුරටත් පැවසීය.

ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය ඊයේ (03දා) ආරම්භ කිරීමට නියමිතව තිබිණි. එහිදී එම සාක්‍ෂිකරු කළ ඉල්ලීම අනුව ඔහුගේ සාක්‍ෂිය ප්‍රථමයෙන් ලබා ගැනීමට අධිකරණය තීරණය කළ අතර ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ප්‍රකාශ කොට තිබූ සිසිලියා කොතලාවල මහත්මියගේ සහෝදරියක වන සෙරින් වික්‍රමසිංහ මහත්මිය ද අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදීම සඳහා පෙනී සිටි නමුත් සිංහල ඉංග්‍රීසි භාෂා පරිවර්තකවරයකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එම සාක්‍ෂි විභාගය ලබන 6 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය. එකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බම්බලපිටිය පොලිසියේ පොලිස් සැරයන් (8764) විමලරත්න මහතා ද සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණ සිටියේය. පොලිස් සැරයන් (58420) අජිත් කාරියවසම් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ සැනල් ඉහලරත්න සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ හපීල් පාරිස් මහතා ලලිත් කොතලාවල මහතාගේ බිරිඳගේ සහෝදරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ සමන් ලියනගේ, රිෂ්වි ගොඩැල්ලවත්ත, නීතිඥ දිනේෂ් ජයවීර, නීතිඥ එස්. පී. සී. රසිකා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වනවිට සේවයෙන් ඉවත් වී ඇති ලලිත් අමරසිංහ, පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ වියංජන වන්නිආරච්චි හා පොලිස්පතිවරයාගේ මස්සිනා කෙනකු යැයි කියාගන්නා මහින්ද උපසේන, නීතිඥ සමන් ලියනගේ යන අයගේ සහෝදරියක වන නිරෝෂා ප්‍රියදර්ශනි සහ තවත් කිහිපදෙනකු එකී කුමන්ත්‍රණයට සම්බන්ධ බවට ද එම සාක්‍ෂිකරු දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් අධිකරණයට පැවසීය.

එම සාක්‍ෂිකරු විසින් ලබාදුන් සාක්‍ෂිය තහවුරු කිරීමට අවශ්‍ය නම් තවත් සාක්‍ෂිකරුවන් කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සාක්‍ෂිකරුට අවසර ලබා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment