ගුප්ත සිනමාවක දර්ශනවාදියා මායම්කාරි අධ්‍යක්‍ෂ වර්නර් හර්සොග් (WERNER HERZOG)

106

ලෝක ප්‍රකට ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂ වර්නර් හර්සොග් මේ වනවිට චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කොට ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින, එසේම කිසියම් පූජනීයත්වයකින් සැලකුම් ලබන අසාමාන්‍ය සිනමා චින්තකයකු ලෙස සැලකේ. වඩාත් විස්මයට පත්විය හැකි කරුණක් වන්නේ ඔහු කිසි දිනෙක විධිමත් අධ්‍යාපනයක් ලැබූ හෝ සිනමා පාසලක පවා ඉගෙනුමක් ලැබූ අයකු නො වීමයි. වයස අවුරුදු 20 එළැඹීමට ද මත්තෙන් සිය ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කළේ වෑල්ඩින්කරුවකු ලෙස කර්මාන්ත ශාලාවක සේවය කිරීමෙන් උපයාගත් මුදලින් බැව් ඔහු පවසයි. සාර්ථක සිනමාකරුවකු වීමට නම් කෙනකු කළ යුත්තේ වැඩි වැඩියෙන් චිත්‍රපට නැරඹීම නොව, වැඩියෙන් කියවීම යැයි ඔහු කිසියම් සිනමා වැඩමුළුවක දී තරුණ සිනමාකරුවන් පිරිසක් අමතා කියා සිටියේ ය. ඔහු එහි දී ‘කියවීම’ යන්න අවධාරණය කළේ එකී වචනය දස වරක් පමණ (Reading, Reading, Reading) එක දිගට ම උච්චාරණය කරමිනි. එකී කියවීම සිනමාව හා අදාළ පොතපතට පමණක් සීමා නොවිය යුතුය යන්න ඔහු අවධාරණය කරයි.

වර්නර් හර්සොග් යනු වඩාත් ගුප්ත හා අද්භූත චරිත ලක්‍ෂණ පිළිබිඹු කළ අපගේ යුගයේ සිනමාකරුවාය යන්න බොහෝ දෙනාගේ පිළිගැනීම යි. තමා නියැළි කලා මාධ්‍යය පිළිබඳව ඔහුගේ කැපවීම හා වශී කෘතවීම (Possession) පිළිබඳ කදිම නිදසුනක් වන්නේ 1982 ද නිරාකරණය කළ Fitzcarraldo චිත්‍රපටයේ එන ජවනිකාවක් සඳහා ටොන් 360 ක් බරැති දුම්තාවක් ඇමෙසන් වනාන්තරයේ රූස්ස කඳු වැටියක් ඔස්සේ රැගෙන යෑමට ඔහු කළ උත්සාහය යි. එම යුගයේ භාවිත වූ සිනමා තාක්‍ෂණයට අනුව පරිගණක දෘශ්‍ය ප්‍රයෝග භාවිත නොවී ය. එබැවින් සිය රංගන ශිල්පීන් හා සිනමා කණ්ඩායමේ සෙසු ශිල්පීන් සියල්ල දැඩි අපහසුතාවකටත් පීඩනයකටත් පත් කරමින් එකී කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔහු ක්‍රියා කළේ. හෙතෙම සිය සිනමා නිර්මාණය කෙරෙහි පමණක් ආසක්ත වන, වටහා ගැනීමට අපහසු චරිතයක් බැව් බොහෝ දෙනාගේ පිළිගැනීම යි. තරුණ වියේ සිට ම ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේ එවැනිම වූ මායම්කාරී ස්වරූපයකින් යැයි ප්‍රචලිත කරුණකි.

1972 දී නිර්මාණය කළ Aguirre the Wrath of God චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ක්ලවුස් කින්ස්කි (Klaus Kinski) නම් නළුවා වරක් චිත්‍රපට පසුතලයෙන් පිටවීමට තීරණය කළ බැවින් හර්සොග් ඔහුට වෙඩි තැබීමට උත්සාහ කළ බැව් කියැවේ.

හෙතෙම හදවතින්ම දර්ශනවාදියෙකි. ඔහු අතිශයින් දුෂ්කර පරිසරයන් වෙත සිය චරිත රැගෙන යමින් ඔවුන් මරණයේ අද්දරට ම තල්ලුකර දමයි. ඇලස්කාවේ හිම කඳු, නිරිතදිග ආසියාවේ මෙන්ම ඇමෙසන් නදිය අසබඩ ඝන වනාන්තර ඔහුගේ බොහෝ චිත්‍රපට පසුතල බවට පත්වූයේ එයාකාරයට යි. ඔහු සිය චිත්‍රපට පුරා කිසියම් වූ අපූර්වත්වයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ ගුප්ත, බියකරු, නීරස එමෙන්ම වික්ෂිප්ත මනෝභාවයක් ජනිත කිරීමට යි.

1982 දී පීරුහි වැසි වනාන්තර පසුතලයක Fitzcarraldo චිත්‍රපටය රූගත කරද්දී ඔහු මෙසේ පැවසී ය. ‘අප අවට ඇති මේ පරිසරය දෙස බලද්දී එහි කිසියම් වූ අපූර්ව, ස්වභාවික සුසංගත බවක් පෙනෙනවා විය හැකියි. එහෙත් එහි ඇත්තේ ‘මරණය’ පිළිබඳ උතුරා යන මනෝභාවයක්.

වසර 20 කට පසු එනම් 2002 දී Grizzly Man නම් වූ වාර්තා චිත්‍රපටය සඳහා වලසකු රූගත කරද්දී, උගේ දෑස් දෙස ඍජුව ම බලා සිටිමින් ඔහු කීවේ මෙවැන්නකි.

‘මට මේ සතා කෙරෙහි කිසිම සමීප බවක් දැනෙන්නේ නැහැ. අවබෝධයක් හෝ දයාවක් දැනෙන්නෙත් නැහැ. ඇත්තේ එකම දෙයයි. එනම් සොබාදහමේ බියකරු බවයි.’

ඇන්ටාර්ටිකාවේ දී Encounters at the End of The World උදරකා නම් වූ වාර්තා චිත්‍රපටය රූගත කරද්දී ඔහු කීවේ මෙවැන්නකි.

ගුප්ත සිනමාවක දර්ශනවාදියා මායම්කාරි අධ්‍යක්‍ෂ වර්නර් හර්සොග් (WERNER HERZOG)

‘මිනිස් ජීවිතය යනු මහා විනාශකාරී සිද්ධිදාමයක එක් අවස්ථාවක් පමණයි. ඩයිනසෝරයන් මේ පෘථිවියෙන් චුතවීම ඉන් එක් අවස්ථාවක්. මීළඟට එළැඹෙන්නේ අපේ අවස්ථාව බවයි මට හිතෙන්නේ.

හර්සොග්ගේ චිත්‍රපට තුළ නිරතුරුව ම අඩංගු වන චරිතයක් ඇත. එය නම් පරිසරයත් ඒ කෙරෙහි තදබල ආසක්ත බවක් හා මායම්වීමක් ද පිළිබිඹු කරන චරිතයකි. එකී චරිතය අවසානයේ එම දැවැන්ත පරිසරය තුළ ක්‍ෂුද්‍ර ජීවියකු බවට පත්වේ. Aguirre the Wrath of God චිත්‍රපටය අවසානයේ දී උඩඟු ගවේෂකයා (Klaus Kinski රඟන) වනාන්තරයෙන් වටවුණු ඇමෙසන් නදියේ එක තැන කරකැවෙන පහුරක් මත උමුතුවෙන් හැසිරෙන සිරකරුවකු බවට පත්වේ. ඔහු වටා ඇත්තේ මියගිය සිය සගයන්ගේ මළකඳන් ය. පහුරට ගොඩවුණු 400ක් පමණ වූ රිළා කණ්ඩායමක් ද එහි සිටිති. එම මොහොතේ ගවේෂකයා තමා ගොඩනැඟීමට උත්සාහ කළ අධිරාජ්‍යය තුළ ම කොටුවී සිටී.

Grizzly Man නම් වූ වාර්තා චිත්‍රපටයේ එන තිමති ට්‍රෙඩ්වෙල් (Thimothy Treadwell) නම් පුද්ගලයා හැඩි දැඩි වලසුන් අතර ජීවත් වෙමින් උපරිම වින්දනයක් ලැබීමට උත්සාහ කරයි. එහෙත් ඔහුගේ මෙම වැරදි වටහා ගැනීම නිසා ඔහු හා ඔහුගේ බිරිඳට උරුම වන්නේ මරණය යි. ඒ ඔවුන් වලසකුගේ පහර කෑමට ලක්වීම නිස යි. එහෙත් හර්සොග් නිතර ඔහුගේ නළු නිළියනට කියා සිටියේ රූගත කිරීමක දී වලසකුට වුවද හොඳට ම ළංවී උගේ නාසය ස්පර්ශ කළ හැකි ආකාරය සිතා බැලිය යුතු බවයි. ඔහු නිතර උත්සාහ කළේ ස්වභා ධර්මය නම් වූ අතිමහත් බලවේගය කුමක්දැයි යන්න පිළිබඳව ප්‍රේක්‍ෂකයා තුළ පුළුල් හැඟීමක් ඇති කිරීමට යි. එහි දී පරිසරයේ සුන්දරත්වයෙන් ආසක්ත වීමට වඩා එයට ගරුත්වයක් හා බියක් දැක්වීමට ඔහු අපට ආරාධනා කරයි.

වර්නර් හර්සොග්ගේ නිර්මාණයක් වූ Lo and Behold, Reveries of the Connected World නම්වූ වාර්තා චිත්‍රපටය සඳහා විෂය වන්නේ අන්තර්ජාලය, පරිගණක තාක්‍ෂණය හා මිනිස් වර්ගයා කෙරෙහි එහි ඇති බලපෑම පිළිබඳව යි. නුදුරු අනාගතයේ දී මිනිසා, යන්ත්‍ර සූත්‍ර භාවිත කරනු ඇත්තේ සිය අත්පා හසුරුවන ආකාරයට බැව් සනාථ කිරීමට හෙතෙම උත්සාහ කරයි.

හර්සොග් කලකට ඉහත දී කියා සිටියේ සමාජ මාධ්‍ය ජාල යනු මිනිස් වර්ගයා වෙත එල්ල කරනු ලැබූ මෝඩයාගේ නිරුවත් රුදුරු ප්‍රහාරයක් බවයි. හෙතෙම ජංගම දුරකථනය පවා භාවිත කළේ හදිසි අවස්ථාවක දී පමණි. ඇත්ත වශයෙන්ම සිලිකොන් මිටියාවතේ ජයග්‍රහණයන් එතෙක් ඔහුගේ ලෝක දැක්ම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති කළ බවක් නොපෙනිණ. එහෙත් මෙම චිත්‍රපටය හරහා ඔහු උත්සාහ කරන්නේ අන්තර්ජාලය නම්වූ බිහිසුණු, රුදුරු වනපෙත හා මුහුණට මුහුණ ගැටීමට යි. මෙවර මෙකී උද්යෝගිමත් බාවේරියානුවාගේ මතවාදී ආස්ථානය වෙනසකට ලක්වී ඇත අන්තර් ජාලය යනු විනාශකාරී සොයා ගැනීමක් සේ හුවා දැක්වීම වෙනුවට එය සහඝ්‍ර වර්ෂයකට පසු මිනිස් වර්ගයාගේ පැවැත්ම හා අදාළ දැවැන්ත සොයා ගැනීමක් සේ විදහා පෑමට මෙවර ඔහු උත්සාහ ගනී.

චිත්‍රපටය ආරම්භ වන්නේ ඇමරිකාවේ UCLA විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිල්ලක ඇති 3420 නම් කාමරයේදී යි. එකී කාමරය තුළ සුවිශේෂ යන්ත්‍රයක් තැන්පත් කර ඇත. එය නම් අද අප ‘අන්තර් ජාලය’ ලෙස හඳුන්වනු ලබන මාධ්‍යය හරහා ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික පණිවිඩයක් යැවූ යන්ත්‍රය යි. එකී සංඥාව වූයේ LO යන්නයි. ඇත්ත වශයෙන්ම එහි දී උත්සාහ ගෙන ඇත්තේ Login නම් වචනය යැවීමට වුවද මුල් අකුරු දෙක ලියද්දී පරිගණකය ක්‍රියා විරහිත වූ නිසා පණිවිඩය යැවුණේ LO ලෙසට යි. චිත්‍රපටයේ සිරස්තලයට නිමිත්ත වූයේ එයයි. චිත්‍රපටයේ ආරම්භක ජවනිකාවේ දී කොරිඩෝවක් හරහා ගමන් කරන කැමරාව එකී කාමරයට ඇතුළු වෙද්දී හර්සොග් ගේ හඬ පසුබිම් කථනයක් සේ ඇසෙන්නට පටන් ගනී. මෙම ගොඩනැඟිල්ලේ කොරිඩෝව අවට ප්‍රදේශයේ නීරස පෙනුමකින් යුතු වුවද අප ගමන් කරන්නේ විහාරස්ථානයක් (Shrine Room) වන් තැනකට යි. ඔහු මෙම කාමරය හඳුන්වන්නේ මිනිස් වර්ගයා අත්දකිමින් සිටින දැවැන්ත විපර්යාසයට මුල්වූ ගුප්ත අවකාශයක් ලෙසයි. ඔහු එය නම් කරන්නේ Ground Zero යන නාමකරණයෙනි.

ගුප්ත සිනමාවක දර්ශනවාදියා මායම්කාරි අධ්‍යක්‍ෂ වර්නර් හර්සොග් (WERNER HERZOG)

තමා කිසිවිටෙකත් බාහිර සත්‍යය පසුපස හඹා නොයන බවත් වැදගත් වන්නේ ප්‍රහර්ෂාත්මක සත්‍යය (ecstatic truth) ගවේෂණය කිරීම බවත් ඔහු කියයි. ඒ අනුව නූතන ඉතිහාසය තුළ වූ මෙකී සංසිද්ධිය විචක්ෂණශීලී බරසාර බවකින් යුතුව තිරය මත දිගහැරීමට වඩාත් සුදුසු සිනමාකරුවා ඔහු බැව් පිළිගැනීමට අපට සිදුවේ. මෙකී තාක්‍ෂණික විප්ලවය අපගේ ජීවිත හා අනන්‍ය වන මොහොතක මේ යැයි ඔහු පවසයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන බුද්ධි ගලනය මිනිසුන් ලෙස අපගේ විඥානයට කවර අන්දමේ බලපෑමක් කරන්නේ ද? අපට දැරීමට නොහැකි ආකාරයකින් වන එකී විපර්යාසයේ ප්‍රතිඵල සමාජය තුළ සංසරණය වනවිට කවරක් නම් වියහැකි ද?

අද දින ඩිජිටල් තාක්‍ෂණය කොතෙක් දුරට සමාජය තුළ කිඳා බැස ඇත්ද යත් එය අපට දරා ගැනීමට පවා නොහැකි මට්ටමකට පැමිණ ඇත. ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපටය සාකච්ඡා කරන්නේ අනාගතයේ දී මිනිසා කවර නම් සත්වයකු විය හැකි ද යන්නයි. ගින්දර හා විදුලිබලය භාවිතයට ගැනීම මිනිස් ශිෂ්ටාචාරයේ දැවැන්ත ඉදිරි පියවරක් සේ සැලකිය හැකි බවත් මෙයද එවැනිම වූ තවත් පියවරකැයි ද ඔහු කියා සිටී.

Lo and Behold එක්තරා ආකාරයකින් විස්මය දනවන අපූරු චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා වූ මූලික අදහස පහළ වූයේ වර්ෂ 2015 දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදුවූ අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් නිසා බැව් හර්සොග් කිය යි. එහ ිදී ඉන්ධන පොම්පවල සිට ඒටීඑම් යන්ත්‍ර දක්වා වූ සියලු සේවාවන් ක්‍ෂණිකව ඇන හිටියේ ය. ප්‍රාන්තයේ සියලු කටයුතු අඩාල විය.

‘නිව්යෝර්ක් නුවර ඇතිවූ වැලි කුණාටු තත්ත්වයක් නිසා එවැන්නක් සිදුවුණා. මගේ බිරිඳත් එයට මුහුණ දුන්නා. ඇය කියා සිටියේ දින දෙකක් තුළ ප්‍රාන්තයේ ජනයා මළමිනී බවට පත්වූ බවයි. ඔවුනට වැසිකිළියක් පවා පාවිච්චි කිරීමට බැරිවුණා. දහස් ගණන් පිරිස් පාරවල්වල පිස්සුවෙන් මෙන් ඔබ මොබ ඇවිදිමින් සිටියා.

මුලින්ම හර්සොග් අපේක්‍ෂා කළේ මෙම අදහස පෙරදැරිකරගෙන වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට යි. එහෙත් ඒ සඳහා බරපැන ඉසිලූ Net Scout සමාගමේ අපේක්‍ෂාව වූයේ අන්තර්ජාලය යන්න උත්කර්ෂයට නංවා කෙටි වීඩියෝ පට මාලාවක් නිපදවීම යි. කෙසේ වෙතත් අවසානයේ එක්තරා ආකාරයක වෘත්තාන්ත වාර්තා චිත්‍රපටයක (Docu-drama) ස්වරූපයේ චිත්‍රපටයක් කිරීමට එකී සමාගම කැමැත්ත පළ කළේ ය. එම සමාගමේ විධායක නිලධාරියකු පැවසුයේ එය ප්‍රචාරකවාදී චිත්‍රපටයක් නොවූ ස්වාධීන නිර්මාණයක් බවයි. එය ප්‍රේක්‍ෂකයාට සිතීමට යමක් ඉතිරි කරයි. අපගේ සමාගම පිළිබඳ කිසියම් ම හෝ අදහසක් ප්‍රේක්‍ෂකයා තුළ ඇති කරයි නම් එය ප්‍රමාණවත් බව ඔහුගේ අදහස යි. චිත්‍රපටය තුළ විශේෂඥයෝ රැසක් හා අන්තර්ජාලයේ බලපෑමට නතුවූ සාමාන්‍ය ජනතාව ද අදහස් දක්වති. එසේ ම තාක්‍ෂණික ජයග්‍රහණ, එනම් ස්වයංක්‍රීය මෝටර් රථ, පාපන්දු ක්‍රීඩාකරන රොබෝවරුන් ගැන ද සඳහන් වේ. එහෙත් චිත්‍රපටයේ අන්තර්ගතය බොහෝවිට අප සිත් තුළ දනවන්නේ භීතිය හා අස්ථිරත්වය කි. ඔහු වරක් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා එක්තරා නිවසකට යයි. එකී නිවසේ ජීවත් වන දෙමාපිය යුවළකගේ දියණියක මෝටර් රථ අනතුරකට මුහුණ දී හිස සුන් මළ කඳක් බවට පත්විය. එහෙත් ඇතැම් උදවිය අන්තර්ජාලය භාවිත කරමින් එකී ව්‍යසනය විහිළුවකට පත්කරගත් බව ඇගේ දෙමාපියෝ පවසති.

‘අන්තර්ජාලය යනු සාතන්ගේ පිළිබිඹුවක් කියලයි අපිට හිතෙන්නේ’ යනුවෙන් එකී මව ඍජුව ම ප්‍රකාශ කරයි. මින් අනතුරුව හර්සොග් බටහිර වර්ජනියාවේ Green Bank නම් වූ නගරයේ වැසියන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වයි. එකී නගරවැසියෝ ජංගම දුරකථන භාවිත නො කරති. එයට හේතුව ඔවුනට ගුවන්විදුලි තරංග දරා ගැනීමට නොහැකි වීම යි. එය කිසියම් රෝගී තත්ත්වය කි. ඒ අනුව එම ප්‍රදේශය ‘ගුවන් විදුලි තරංග මුක්ත කලාපයක්’ බවට පත්කොට ඇත. එසේම අන්තර් ජාලයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයක් පිළිබඳ කොටසක් ද චිත්‍රපටයේ ඇතුළත් වේ. එහිදී දැන ගැනීමට ලැබෙන්නේ එක්තරා යුවළක් වීඩියෝ ක්‍රීඩා කරමින් සිටිය දී ඔවුනගේ කුඩා බිලිඳා අනතුරකින් මියගිය ආකාරය පිළිබඳව යි. හර්සොග් මෙහි දී පවසන්නේ තමා මාධ්‍යවේදියකු නොවන බැවින් මෙම සිදුවීම්වල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳ ප්‍රශ්න කිරීමට උත්සාහ නො කරන බවයි.

දකුණු කොරියාවේ වීඩියෝ ක්‍රීඩා සමාජ ශාලා (Video game parlaours) වෙත යන ඇතැම් බාලවයස්කාරයන් වැසිකිළි යෑමට පවා පරිගණක තිරය ඉදිරියෙන් නො නැඟිටිති. ඔවුන් එසේ කරන්නේ තරගයෙන් ලකුණු අඩුකර ගැනීමට අකමැති නිස යි. ඇතැම් අය සුදුසු යට වැසුම් (Diapars) පවා ඇඳගෙන ඒ සඳහා සූදානම්ව පැමිණෙන බව චිත්‍රපටය හරහා අපට දැන ගැනීමට ලැබේ.

හර්සොග් යනු උණුසුම් හදවතක් සහිත මානවවාදියෙකි. අන්තර් ජාලයට අප අවශ්‍ය ද? යනුවෙන් අසනු ලැබූ පැනයකට ඔහු මෙසේ පිළිතුරු සැපයී ය.

‘එයට එවැන්නක් අවශ්‍ය බව මා හිතන්නේ නැහැ’ හර්සොග්ගේ චිත්‍රපට හරහා අපට යමක් කියා දෙන්නේ නම් එය කවරක් විය හැකිද? එය නම් අප උත්කර්ෂයට නංවන අප ප්‍රීතියෙන් කුල්මත් කරවන සංකල්ප කෙරෙහි අප කෙතරම් ආසක්ත බවක් පෙන්නුම් කළ ද ඒ සියල්ල නිෂ්ඵලය යන්නයි.

(අන්ද්‍රියා ෂියා විසින් රචිත Cinema remains my connection to life it self නම් ලිපිය Lo and Behold චිත්‍රපටය හා වර්නර් හර්සොග් සමග බීබීසී ආයතනය කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙනි)

එම්.ඩී. මහින්දපාල

ගුප්ත සිනමාවක දර්ශනවාදියා මායම්කාරි අධ්‍යක්‍ෂ වර්නර් හර්සොග් (WERNER HERZOG)

advertistmentadvertistment
advertistmentadvertistment