මං මගේ කවියෙන් පිටස්තරයෙක් – ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි

179

කලක් සිනමාකරුවෙකු වීමේ සිහිනයක සැරිසැරු කුමාර හෙට්ට්ආරච්චි එය සැබෑ නොවූ කල්හි කවිය ළඟ නතර වන්නේය. එතැන් සිට කවිය සිනමාවක් කර ගන්නා ඔහු ආකෘතික වශයෙන් වඩාත් පුළුල් වූත් නිදහස් වූත් අවකාශයක තම චින්තාව හා සමාජ සංසිද්ධීන් කවියට නඟන්නට විය. ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි මේ වනවිට කාව්‍ය සංග්‍රහයන් 23ක් රචනා කොට තිබෙන අතර ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය “කොක්ටේල් සහ ලොලිපොප්” පසුගියදා මුද්‍රණයෙන් නිකුත් විය. පහත පළවන්නේ කවිය තුළ වේගවත් ගමනක නිරත ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතාබහකට එක්වෙමින් පළ කළ අදහස්ය.

මං මගේ කවියෙන් පිටස්තරයෙක් - ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි
  • ඔබ විසින් රචිත 23 වන කාව්‍ය සංග්‍රහය “කොක්ටේල් සහ ලොලිපොප්” ඉකුත් දා මුද්‍රණයෙන් නිකුත් වෙනවා. නමුත් එම මාතෘකාව සඳහන් කවියක් කෘතිය තුළ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනස මොකක්ද ?

කොක්ටේල් සහ ලොලිපොප් නමින් කවියක් මේ කාව්‍ය සංග්‍රහය තුළ නැහැ. ඒ නම පරාවර්තනය කරන්නේ මේ විපරීත පාරිභෝජනවාදී ලෞකික සමාජ සත්තාව තුළ තමන්ට තමන් අහිමිවී, පරාරෝපණය වූ නන්නත්තාර සමාජ පංතියක ජීවිතය මනසින් සූප්පු කරමින්, නිර්වින්දනය වී සාංකාව තලුමරමින් එදාවේලට කඩේ යන පෘතග්ජනයන්ගේ කකියන හෘදය සාක්ෂිය යි. ඉතින් ඒ අරුතින් බැලුවාම ගෝත්‍රික සූරාකන්නන් ගේ බලාධිකාරයේ අධිනිශ්චයන් යට තමන් තමන්ගෙන් ම විප්‍රවාසීවූ ආත්ම භාවයන්ගේ ඇතුළාන්තය මේ නමින් ප්‍රක්ෂේපණය වනවා යයි මට හැඟෙනවා.

  • ප්‍රසිද්ධියක් දිනා ගත් වත්මන් කවියන් අතර වේගවත්ම කවියා ඔබ. ඒ මතය හා ඔබ කොතෙක් දුරට එකඟ ද ?

සත්තකින් ම පාසල් සමයේ පටන් මගේ ලොකුම සිහිනය වුණේ සිනමාකරුවෙක් වීමයි. චිත්‍රපට අධ්‍යක්ෂණය යි. ඒ සිහිනය සැබෑ නොවීමේ ඇරියස් එක කවියේ වේශයෙන් පිටාර ගලනවා ද කියලත් මට හිතෙනවා.

මට කවියක් ලියවෙන්නෙ විනාඩි හත අටක් තුළ. ඒත් ඉතා අවංකව ම හා නිර්ව්‍යාජව මා කිව යුත්තේ මගේ කවිය උපදින්නේ නිරායාසයෙන් ම බවයි. කිසිම පූර්ව සැළසුමක් නෑ. මම කවි ලියන්නේ මට නොලියා ඉන්න බැරි ඇඟේ අමාරුවට යි. එහෙම නැතුව කවියෙකුගේ සමාජ වගකීම ඉටුකිරීමේ පරම උත්තම අභිලාෂයෙන් කියා කීවොත් එය පට්ටපල් බොරුවක්. මම “භෂ්මාවශේෂ” ආඛ්‍යාන කාව්‍යය ලිව්වේ දවස් 2 න්. 1991 දී රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී විශිෂ්ට කෘතියක් ලෙස ඇගයීමට පත් “මහාද්වීපය” ආඛ්‍යාන කාව්‍යය දවස් 4 න් ලිව්වේ. 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “සදාකාලික මධ්‍යාහ්නය” ආඛ්‍යාන කාව්‍යය ලිව්වේ දවස් 3 න්. මේ සියල්ල දෙයියම්පා සහතික ඇත්ත. අනේ එහෙම නැතුව මේ හිතාමතා යන රේස් එකක් නෙවෙයි. ඇත්තම කිව්වොත් කවිය මගේ ආශ්වාස ප්‍රාශ්වාසයයි.

  • ඔබ භාෂාව පිළිබඳ එතරම් තැකීමක් නොකරන කවියෙක් බවට, වරක් පුවත්පත් සාකච්ඡාවක දී ඔබම සඳහන් කරනවා. නමුත් කුසලතාපූර්ණ කවියෙකු සතුව ප්‍රබල භාෂා ඥානයක් තිබිය යුතුයි නේද?

හපොයි. මං එතන දී අදහස් කළේ කවියා භාෂාවේ වහලෙකු නොවිය යුතු බවයි. හොඳ කවියේ දී භාෂාව කවියාගේ වහලෙක් බවට පත්වෙනවා. වෙනත් විදියකට කීවොත්, කවියක ආකෘතිය සේම ව්‍යවහාර කෙරෙන භාෂාව තීරණය කරන්නේ කවියේ අන්තර්ගතය විසිනුයි. එහෙම නැතිව අම්බරුවන් දක්කනවා වගේ කවියා විසින් භාෂාව දක්කන්න වෙන්නේ නෑ. කවියේ භාෂාව අන්තර්ගතය විසින් ම වහල්කොට ගන්නේ නිරායාසයෙන්. කවිය ඉබේට ම ලියැවුණාට පස්සේ කවියා කවියෙන් පිටස්තරයෙක්. මං මගේ කවියේ පිටස්තරයෙක්.

  • අනුභූතිය නිසි පරිකල්පනයට හසු නොවීම හේතුවෙන් ඇතැම් කවි කිවිඳියන් කවිය තුළ අසාර්ථක වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. ප්‍රවීණ කවියෙකු ලෙස ඒ පිළිබඳ ඔබේ අදහස.

ඒ ගති ලක්ෂණය නූතන කවියේදී මමත් නිතරම දකිනවා. ඊට හේතුව ලෙස මා දකින්නේ ඇතැම් තරුණ කවියන් කිවිඳියන් ආකෘතියට වහල් වීම යි. සමහර දුහුනන් අමුතු ආකෘතික ආලිංගන පානවා. එබඳු නිර්මාණවල ආකෘතිය නැවුම් වූවත් අන්තර්ගතය දුප්පත්. හරියට චැසිය නැතුව බොඩිය විතරක් පාරේ දුවන්න හදනවා වගෙයි. කවියේ දී පළමුව පාදක වන්නේ චැසිය නොහොත් අන්තර්ගතයයි. බොඩිය නොහොත් ආකෘතිය සකස් වෙන්නේ චැසිය නොහොත් අන්තර්ගතය උඩ යි. ඇතැම් කවීන් චැසිය මඟ කඩාවැටුණත් බොඩිය පාට කරනවා. කවියක ආකෘතිය තීරණය කරන්නේ කවියා නොවෙයි. අන්තර්ගතයයි.

  • ඔබට අනුව ඔබ කවිය තුළ කොතෙක් දුරට සාර්ථක ද? පාඨක ප්‍රතිචාර ඇසුරින් ඒ පිළිබඳව යම් විග්‍රහයක් කළ හැකිද?

කවියෙකු මූණ දෙන අසීරුම අභියෝගය හැටියට මා දකින්නේ අව්‍යාජ වීම යි. කවියේ දී අවංක වීම හා අව්‍යාජ වීම අන්තිම අමාරු වැඩක්. සේකර අන්තිම අව්‍යාජ යි. අපි බොරු සැරසිලි එල්ලන තරමට ම හෙළුව පේනවා.

ඉතින් මම තවමත් ඉතා ම ආධුනික අහිංසක කවියෙක්. මම මරණය දක්වා ම ආධුනිකයෙක්. මගේ හිස මත කෙස් ගස් කීපයක් මිසෙක කිරුළු නෑ. මට ගුරුකුල වගේ ම එහෙයියන් හා ඇම්බැට්ටයන් නෑ. මං කවිය විකුණාගෙන කෑමටත්, සම්මාන උදුරා ගැනීමටත් යටි උගුල් අටවමින්, නූල් සූත්තර දමමින් පොරකන්න දුවන්නෙත් නෑ. පොතේ කවරයේ වී කරල් දෙකක් ගසා ගැනීමට පාච්චල් වෙවී ඇඹරෙන්නෙත් නෑ. මං කවි ලියන්නේ වී කරල් දෙකක් තියා පිදුරු ගහක්වත්, හුණුසල් ඇටයක්වත් බලාපොරොත්තුවෙන් නෙවෙයි.

  • ඔබට පෙර පරම්පරාවේ කවියන්ගෙන් ඔබ කුමන හෝ ආභාෂයක් ලබා ගෙන තිබෙනවාද?

අනීවාර්යයෙන් ම. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ, සංදේශ කවීන්, අන්දරේ, ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, නිර්නාමික ජනකවියන් වගේ ම විශේෂයෙන් ම කොළඹ යුගයේ අල්විස් පෙරේරා, කේයස් හා විමලරත්න කුමාරගම, එසේ ම පසුකාලීනව සේකර ඇතුළු සියගණනක් කවීන්ට මා ණය ගැතියි.

එසේ ම බුදුන්වහන්සේ, මාක්ස්, එංගල්ස්, හේගල්, රෝලන්ඩ් බාත්, ග්‍රාම්ස්චි, ස්ලේවෝයි ශිෂෙක් බඳු දාර්ශනිකයන්ටත්, ෂෝන් පෝල් සාත්‍රෙ, ඇල්බෙයා කැමූ, තෝල්ස්තෝයි, දොස්තොව්ස්කි, මිලාන් කුන්දේරා, තාගෝර් බඳු චින්තකයින්ටත්, මාර්ක් රොත්කෝ, වෑන්ගෝ, පිකාසෝ, සැල්වදෝර් දාලි බඳු චිත්‍ර ශිල්පීන්ටත්, ලොව විශිෂ්ට සිනමාකරුවන්ට හා නාට්‍ය ශිල්පීන්ටත් මා ලියන අකුරක් පාසා ණය ගැතියි.

  • ජීවිතාවබෝධයට අමතරව සාර්ථක කවියෙක් වීම පිණිස ඉවහල් වන වෙනස් සාධක එසේත් නැත්නම් නිර්මාණාත්මක උපාය උපක්‍රම ලෙස ඔබ දකින්නේ මොනවා ද?

මගේ පරම විශ්වාසය නම් කවියේ උල්පත ආදරය බවයි. කවියෙක් වෙන්න පුළුවන් ආදරණීය මිනිසෙකුට පමණයි. ඔහු සමස්ත මානව සංහතියට වගේ ම, ඉරට හඳට ගහකොළට වලාකුළට වර්ෂාවට, මහ පොළොවට, සමස්ත සොබාදහමට ආදරය කරන්නෙක් විය යුතු යි. වරක් ඇල්බට් අයින්ස්ටයින් කිව්වේ ඔහුට සාපේක්ෂතාවාදය අවලෝකනය කරන්ට පුළුවන් වුණේ සොබාදහම විශ්වාස කළ නිසා ය කියලයි. කවියේ උල්පත සොබා දහම තුළ විශ්ව ව්‍යාපී ආදරය යි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment