කාන්තා පිල අගෝස්තු-සැප්තැම්බර්වල එංගලන්තයේ සංචාරයක

112

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනු ඇත.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියක් මෙම තරග සංචාරයට ඇතුළත් වේ. තරගාවලිය අගෝස්තු 31 වැනිදා පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වේ. එම තරගාවලියේ පළමු තරගය හෝව්හිදී ද දෙවැනි තරගය සැප්තැම්බර් 02 වැනිදා චෙල්ම්ස්ෆෝර්ඩ් හිදීද තෙවැනි තරගය 06 වැනිදා ඩර්බිහිදීද පැවැත්වේ.

එම තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය සැප්තැම්බර් මස 09 වැනිදා ඩර්හැම් හිදී ආරම්භ වේ. දෙවෙනි තරගය සැප්තැම්බර් මස 12 වැනිදා නොදර්ම්ටන්හිදීද තෙවැන්න ලෙස්ටර් හිදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි. ඉකුත්දා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත්වීමත් සමඟ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් උදාවී තිබේ.

2025 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මෙම කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරක රට වන ඉන්දියාවට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් 5 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment