තරුණ පිරිසකට ජනපතිගෙන් ඩොලර් ගැන කතාවක්…

441

බලය බෙදීම යන කාරණාව පසුගිය සතිය මුළුල්ලේත් අපේ දේශපාලන කරළියේ දැඩි ලෙස කතාබහට ලක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් සති කීපයක සිටම මේ කාරණාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක පසුවන බව පැහැදිලිය. ඔහු මේ ගැන යම් යම් පිරිස් සමග සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා ඇති බව හෙළි විය. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග ඔහු මේ ගැන දැඩි උනන්දුවකින් සාකච්ඡා අරඹා තිබිණි. ඒ බව මේ වන විට පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වූ කාරණාවක් ද විය.

එහෙත් පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂවලට ද මේ පිළිබඳ විවේචන රැසක් තිබිණි. සමහරු ප්‍රශ්න කළේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු බැවින් බලය බෙදීම වැනි සංවේදී ජාතික කාරණාවකට අත ගැසීම සඳහා ඔහුට ජනවරමක් තිබේද කියාය. තවත් පිරිසක් විරෝධය පෑවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ පමණක් කතා කර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ගැනය. උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමග සාකච්ඡා කළා කියා පෙන්වා දෙමළ ජාතික සන්ධානය සමඟ පමණක් සාකච්ඡා කිරීම වැරදි බව ඔවුන්ගේ අදහස වූහ.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ ඊට වඩා වෙනස් ආස්ථානයකය. ඔහුගේ අදහසට අනුව දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මේ වන විටත් අවුරුදු තිහක් පමණ තිස්සේ රටේ තිබෙන පොදු නීතියකි. එසේ නම් එය ක්‍රියාත්මක කිරීමේ වරද කුමක්දැයි ඔහු විමසයි. ඒ සඳහා ඔබට ජනවරමක් තිබේදැයි තවත් පිරිසක් අසයි.

එහෙත් පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයේ බහුතරයක් පෙන්වා දෙන කරුණක් ද තිබේ. සැබැවින්ම බලය බෙදීම ඔබගේ අරමුණ නම් ඒ සඳහා එක එක පනත් ගෙන ඒම පසෙක තබා පළාත් සභා මැතිවරණයක් නොතබන්නේ ඇයිදැයි ඒ බහුතර කණ්ඩායම විමසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ දේශපාලන කරළියේ මෙබඳු තර්ක විතර්ක රාශියක් මැද දැඩි ලෙස තම මතයේ සිටියේය. එනම් දහතුන්වන සංශෝධනය බලාත්මක කළ යුතු බවය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවෙන් පැමිණි විරෝධතා සැලකිල්ලට ගෙන මේ මස 15 වැනිදාට පෙර ඒ සඳහා විපක්ෂයේ යෝජනා ලබා දෙන්න ද ඔහු අවස්ථාවක් ලබාදුන්නේය.

● ඉතිහාසයේ දැවැන්තම
මාධ්‍ය හමුව කෙහෙළියගෙන්

එබැවින් දේශපාලන පක්ෂ බහුතරයක් පසුගිය සති අන්තයේ මේ බලය බෙදීමේ කාරණාව ගැන අවධානය යොමු කරමින් සිටියහ. ඒ ගැන සාකච්ඡා කරමින් අදහස් විමසමින් යෝජනා ලියමින් යෝජනා සකසමින් සිටියහ. ඒ ගැන සමාජයේ ලොකු ලොකු දේශපාලන සංවාද පවා පැවතිණි. මත විමසුම් තිබිණි. ඒ වගේ වගක් නැතිව නිහඬව සිටියේ එකම එක පක්ෂයක් පමණි. ඒ ජනතා විමුක්ති පෙරමුණයි. කවර හෝ හේතුවක් නිසා ඔවුන් මේ මාතෘකාව ගැන කිසිවක් කතා නොකරන්නට දැඩි පිළිවෙතක සිටින බව පැහැදිලි විය.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය ගැන වෙහෙසමින් සිටියේය. විපක්ෂය එසේ සූදානම් වන අතරතුර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය ඔහුට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නැගෙන බරපතළ ප්‍රශ්න රැසකට උත්තර දෙන්නට මාධ්‍ය හමුවක් ද සංවිධානය කළේය. මාධ්‍ය හමුව සෙනසුරාදා රාත්‍රියේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශය හා මේ රටට ඖෂධ ගෙන්වන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සියලුම දෙනා ගෙන්වා මාධ්‍යවේදීන්ට ඇති තරම් ප්‍රශ්න කරන්නට සූදානම් කර තිබූ විශේෂ මාධ්‍ය හමුවක් බැවින් මාධ්‍යවේදීන් මෑතක දුටු දැවැන්තම මාධ්‍ය හමුව ලෙස මේ මාධ්‍ය හමුව කැපී පෙනුනා යැයි කීවොත් වරදක් නැත.

ඖෂධ ඇණවුම් කිරීමේ වැරදි, බාල ඖෂධ වර්ග, ඖෂධ හිඟය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙනවා යයි කියන අක්‍රමිකතා ආදී කරුණු රැසක් ගැන මාධ්‍යවේදීන් ඇති තරම් ප්‍රශ්න කළහ. ඇමැති කෙහෙළිය හා සෞඛ්‍ය බලධාරීන් ඒවාට උත්තර දුන්නා පමණක් නොව, එම දැවැන්ත මාධ්‍ය හමුව අවසානයේ පැවති කෑමෙන් බීමෙන් අනූන සුහද සාදයට ද ඔවුහු සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීන් සමග රැඳී සිටිමින් මේසයෙන් මේසයට ගිය කෙහෙළිය පුද්ගලිකව තම මාධ්‍ය මිතුරන්ට මෙසේ කියමින් ස්තූති කළේය.

“ඔයගොල්ලෝ මාධ්‍යවේදීන්. මගේ අඩුපාඩු වැරදි තිබුණත් ඔයාලා මට සමාවක් නොදී පහර ගහනවා. ඒක ඔයාලගේ අයිතිය. හැබැයි මම ඔයගොල්ලෝ ගැන ආඩම්බර වෙනවා. ඒ මොකද මම දන්නවා අද එක්තරා පක්ෂයක් මාධ්‍ය හමුවක් තියලා ඕගොල්ලන්ගෙන් එක්තරා ඉල්ලීමක් කළා. අද හවස ග්‍රෑන්ඩ් ඔරියන්ටල් එකේ තියන කෙහෙළියගේ මාධ්‍ය හමුවට යන්න එපා කියලා. මට ආඩම්බරයි මගේ මාධ්‍ය මිත්‍රයෝ මේ රටේ මාධ්‍යකරුවෝ ඒ මාධ්‍ය සාකච්ඡාවට ගිහිල්ලා තම රාජකාරිය කළා වගේම ඒගොල්ලන්ගෙ බලපෑමට යට නොවී මෙතෙන්ටත් පැමිණීම ගැන. ඒක තමයි මාධ්‍යයකින් රටකට විය යුතු වගකීම හා යුතුකම…”

● ටාජ් හෝටල කාමරයක
රහසිගත උපන්දින සාද

පසුගිය සතිය එවන් මාධ්‍ය හමු පමණක් නොව, දේශපාලනඥයන් සම්බන්ධ උපන්දින සාද ගණනාවක් ද කොළඹ තරු හෝටල්වල පැවැත්විණි. ඒ අතර වූ එක්තරා රහසිගත විශේෂ සාදයකට සහභාගිවන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ආර්යාව මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය සමග ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණියේය.

උපන්දින සාදයක් වුවත් සැබැවින්ම මෙය පැවතියේ එක්තරා සූක්ෂම අන්දමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙසය. මේ රටේ ප්‍රකටම මාධ්‍ය ආයතනයක හිමිකරු, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා එක් පැත්තකින් පැමිණ සිටියේය. දැනට සමගි ජන බලවේගයේ දේශපාලනඥයකු ලෙස සිටිමින් ස්වාධීනව ජන බලවේගයක් පිහිටුවාගෙන සිටින උගත් දේශපාලනඥයකු තවත් පාර්ශ්වයකින් පැමිණ සිටියේය. උපන්දින සාදය ඔහු වෙනුවෙන් පැවැත්විණි. ජනාධිපතිවරයා සහ ආර්යාව තවත් පාර්ශ්වයකය. ඊට අමතරව මලික් සමරවික්‍රම පැමිණ සිටියේය. මේ හත් අට දෙනා පමණක් සහභාගි වූ උපන්දින සාදයක් බඳු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය හෝටලයේ ශාලාවක හෝ භෝජනාගාරයක නොව, විශේෂ කාමරයක පැවැත්වීමම විශේෂත්වයකි. සැබැවින්ම එය භෝජන සංග්‍රහයකටත් වඩා පැය තුනක් තිස්සේ ඇදී ගිය විශේෂ වූ සිව් පාර්ශ්වීය සාකච්ඡාවක් බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල්ගේ අනාගත දේශපාලන කටයුතුවලට කැපවීමෙන් උදව් උපකාර කරන මාධ්‍ය ප්‍රධානියා ඉහතකී දේශපාලනඥයා හා ජනාධිපති අතර මිත්‍රත්වය හා අවබෝධය තහවුරු කිරීමේ ව්‍යාපෘතියේ ද නියමුවා වනු ඇති බව මේ සුහද හමුව සමග තහවුරු විය.

● උඩවලවෙ ප්‍රශ්නයට
කථානායකත් ගස් යට

උඩවලවෙ ගොවි ප්‍රශ්නය පසුගිය සතියෙත් අපේ රටේ කැපී පෙනෙන සමාජ ප්‍රශ්නයක් විය. සමනලවැව ජලාශය තිබෙන්නේ උඩවලව ජලාශයට ඉහළිනි. එකම වලවේ ගඟ ජලාධාර කලාපයේය. සමනලවැව ජලාශයේ වතුර වැඩිපුර යොදා ගන්නේ විදුලිබලය නිපදවීමට ය. වලවේ ජලාශයේ ජලය වැඩිපුර යොදා ගන්නේ වගාව සඳහාය. සමනලවැව ජලාශයේ ජලය විදුලිය සඳහා සංරක්ෂණය කරන බැවින් ඒ මඟින් උඩවලවේ ජලාශයට වතුර නිකුත් වන්නේ සීමිතව ය.

මේ තත්ත්වය කාලාන්තරයක් තිස්සේ නියං සමයේ බලපවත්වන බැවින් යල් කන්නයේ ගොවිතැන් කිරීමේදී හැකි තරම් වලවේ කලාපවල ගොඩ බෝග වවන්නත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. ඒත් තතුදත් ආරංචි මාර්ගවලට අනුව ගොවියෝ කාගෙදෝ උපදෙස් පිළිගෙන මේ කන්නයේ වී වගා කරන්නට වැඩිපුර අවධානයක් යොදා තිබිණි. එහෙයින් ඔවුන්ට වෙනදාට වඩා වැඩිපුර ජලය අවශ්‍ය වූහ.

ප්‍රශ්නය ආරම්භය එතන වුවත් අවසානයේ ප්‍රශ්නයේ අන්තිම කොටස දේශපාලනයට සම්බන්ධ විය. ප්‍රශ්නය විදුලිබල අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අතර කඹ ඇදිල්ලක ප්‍රතිඵලයක් බවට පත්වූයේ ඉන් අනතුරුවය. ගොවියෝ ගොවිතැන්වලට වතුර ඉල්ලා සිටිද්දී විදුලිබල ඇමැති එසේ වුවහොත් විදුලිය කපන්නට සිදුවන බව පෙන්වමින් අනතුරු අඟවන්නට විය. අන්තිමේ වැඩිපුර අවශ්‍ය වන්නේ විදුලිය ද එසේත් නැත්නම් ආහාර ද කියා තර්කයක් නිර්මාණය විය.

මේ තත්ත්වයට කඩිනම් උත්තරයක් නොදුනහොත් යම් යම් අවස්ථාවාදී දේශපාලන පක්ෂ මේ තත්ත්වය දඩමීමා කොට ගනිමින් බොරදියේ මාළු බාන්නට සූදානම් වන බව දැනගත් රජයේ දේශපාලනඥයෝ කඩිනමින් ක්‍රියාත්මක වූහ. වහා මැදිහත් වී විසඳුමක් සොයන්නැයි ඔවුහු ජනාධිපතිවරයාට දන්වා සිටියහ.

මේ අතර උඩවලවෙ ගොවියන්ගේ ප්‍රශ්නය ගැන සංවේදී වුණ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ ඒ ගැන කතා කරන්නට පසුගිය සති අන්තයේ පුවත්පත් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කැඳවන්නට සූදානම් කළේය. එහෙත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රධානී කාර්යාලයෙන් අවසර ලැබුණේ නැත. වේත්‍රධාරී කාර්යාලය කියා සිටියේ නියෝජ්‍ය කථානායකට නොව කථානායකටවත් දැන් එවන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අවසර නොමැති බවයි. මාධ්‍යවලට අදහස් දැක්වීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය මගින් පටිගත කොට මාධ්‍යවලට නිකුත් කිරීමට හැකි බව ඔවුහු දන්වා සිටියහ. කෙසේ වෙතත් ඒ වන විට නියෝජ්‍ය කථානායක කාර්යාලය මගින් සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා යවා අවසන් කර තිබිණි.

ඒ අනුව පසුගිය සතිඅන්තයේ මාධ්‍ය ආයතන සිය මාධ්‍යකරුවන් පාර්ලිමේන්තුව කරා ඒවා තිබුණත් ඔවුන්ට ඇතුළට යන්නට අවසරයක් නොවීය. ඒ බැව් දැනගත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ තමන් ඔවුන්ව පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ රථ ගාලේ ගහක් යටදී හමුවන බවට දන්වා සිටියේය. ඒ අනුව මොහොතකින් ප්‍රධාන රථගාලට පැමිණි නියෝජ්‍ය කථානායකවරයා අදාළ මාධ්‍ය හමුව රථගාලේ ගහක් යට පවත්වනු ලැබීය.

● අකුරු තුනේ කෙනා ගැන
ධනසිරි මෙසේ කියලා

ඉරිදා රාත්‍රියේ තවත් සුවිශේෂී මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා කොළඹ හිල්ටන් හෝටලයට ගියේය. මංගල උත්සවය ඔහුගේ පැරණි මිතුරකු වූ ධනසිරි අමරතුංගගේ වැඩිමහල් දියණිය විවාහ වීම නිමිත්තෙනි. මනාලයා ඇය සමග මැලේසියාවේ අධ්‍යාපනය ලැබූ, කොළඹ ධනවත් ව්‍යාපාරික පවුලක පුතනුවෙකි.

ධනසිරි මේ මංගල උත්සවය සඳහා ආරාධනා කර තිබුණේ දේශපාලනඥයින් ඉතා ස්වල්ප දෙනකුට ය. වැඩිදෙනා පවුල් දෙකේ ඥාතීන් හා හිතවතුන් වූහ. දිලිත් ජයවීර වැනි ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ද සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාත්‍රී 8.00 ට පමණ මංගල උත්සවය සඳහා එනවිට මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්‍ෂ, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කංචන ජයරත්න,ප්‍රසන්න රණතුංග, ප්‍රමිත තෙන්නකෝන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ ඉතාම ස්වල්ප දෙනෙක් පැමිණ විශේෂ මේසවල අසුන්ගෙන සිටියහ. ධනසිරි ජනාධිපතිතුමන්ව ද රැගෙන ආවේ ඒ වන විට මහින්ද රාජපක්ෂ, රෝසි සේනානායක ඇතුළු කිහිපදෙනෙක් අසුන්ගෙන සිටි ප්‍රධාන මේසය වෙතයි.

“මේ දවස්වල වැඩ වැඩියි… ඉක්මනට යන්නත් ඕන… කියමින් එතන ඉඳගත්ත ජනාධිපතිවරයා වටපිට සිටියවුන් හා කතාබහ කරමින් රටේ තොටේ දේශපාලනික තත්ත්වය ගැන කතාබහ කරන්නට පටන් ගත්තේය.

“අපේ පවුල්වල තරුණ ළමයි ටිකක් ඉන්නවා සර් එක්ක කතා කරන්න ඕන කියලා.” ඒ අතර ධනසිරි කීවේය.

“එන්න කියන්න… තරුණයොත් එක්ක තමයි අපි කතා කරන්න ඕන. එයාලගේ අදහස් පාලන තන්ත්‍රය ඇතුළට ගන්න තියෙන හොඳම ක්‍රමය එයාලට ඇහුම්කන් දෙන එක…” ජනාධිපති කීවේය.

තරුණ තරුණියන් පිරිසක් පැමිණ ජනාධිපතිවරයා වට කරගනිමින් කතාබහ පටන් ගත්තේ ඉන් අනතුරුවයි. ඔවුන් ඉංග්‍රීසියෙන් විමසා සිටියේ වැටුණු රට ගොඩ ගැනීමට ජනාධිපති සතු අලුත් උපාය මාර්ග මොනවද කියාය.

“රට ගොඩගන්න නම් අපිට ආර්ථිකය ගොඩ ගන්න වෙනවා. එක පැත්තකින් අපි ගත්ත ණය ගෙවන්න ඕන. අනෙක් පැත්තෙන් අපි වියදම සීමා කරගන්න ඕන. අපි ඩොලර් හොයන්නත් ඕන. ඒ වගේම අපේ රටෙන් ඩොලර් පිටරට යන එක නවත්ත ගන්නත් ඕන. ඒක නිසා පිටරටින් ගෙන්වන දැනට අපිට යවන්න හදන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම අපි මෙහි හදාගන්න ප්‍රමුඛත්වය දෙන්න ඕන. අපට ඉන්ධන, බෙහෙත්, පොහොර ගෙන්නන්නම වෙනවා. හැබැයි අපිට වෙනත් උපාංග මෙහි හදාගන්න පුළුවන්. අපි උපායමාර්ගිකව ඒ සැලසුම් හදා ගන්නවා. අපට අවශ්‍ය ඒ සඳහා තරුණයින්ගේ දායකත්වය. ඔබලාගෙ පරපුර මහන්සි වෙනවා නම් ඔබලාගේ තාක්ෂණික දැනුම හා කැපවීම මේ රටට ඩොලර් හොයන්න හොඳ ආයෝජනයක්…”

ඔවුන් ඉන්පසුව දේශපාලනය ගැන ද කතා කළහ. එක් තරුණයෙක් කියා සිටියේ පසුගිය වසරේ මේ රට මුහුණ දුන් අර්බුදයෙන් රට ගලවා ගත් බැවින් තම පරපුරේ විශ්වාසය දිනාගත් එකම නායකයා අද ඔබතුමා පමණක් බවය… මේ කතාබහ දෙස මහින්ද රාජපක්ෂ ද සෙසු දේශපාලනඥයෝ ද ඉතා උනන්දුවෙන් බලා සිටිනු දක්නට ලැබිණි.

එම කතා බහ අවසන් වූ පසු යළිත් දේශපාලනය ගැන මේසේ වටා සිටි දේශපාලනඥයෝ කතාබහ කරන්නට වූයේ තරම් දේශීය කජු වර්ගයක ද රස බලමිනි.

“සාමාන්‍යයෙන් මම රෑට කනව අඩුයි. දැන් අපි පරිස්සම් වෙන්න එපාය. මේ බඩත් ඇවිල්ලා… ඒත් මේවා කන එකත් කජු කනවා වගේ ලේසි නිසා ටිකක් කාල බලනවා…” කියමින් ජනාධිපතිතුමා ද කජු කෑවේය. එහිදී රෝසි සේනානායක කතාව වෙනස් කළේ මෙසේය…

“දැන් ඉතින් ඉස්සරහට ධනසිරි නගරාධිපතිතුමා අපට උදව් කරයිද දන්නේ නැහැ නේද සර්…”

රෝසි එසේ කියද්දී ජනාධිපති රනිල් සිනාසී කෙලින්ම බැලුවේ ධනසිරි ගේ මුහුණ දෙස ය… මහින්ද රාජපක්ෂ ද උපේක්ෂාවෙන් යුතුව බලා සිටියේ ධනසිරි කුමක් කියනු ඇද්දැයි කියාය…

“මේ රට රැවුල් කාරයන්ගෙනුයි කොණ්ඩ

කාරයන්ගෙනුයි බේරගෙන රටම අමු සොහොනක් වෙන එක නැවැත්තුවේ ඔබතුමා. ඒක නිසා මං විතරක් නෙවෙයි… අපි හැමෝම ඔබතුමාට කලගුණ සලකන්න ඕන. ඔබතුමාට විතරයි මේක කරන්න පුළුවන් කියලා ඔබතුමා ඔප්පු කරල මට පෙන්නුවා. දැන් ගියපාර පළාත් පාලන මැතිවරණයේදී දෙහිවලින් අපි ඉල්ලුවේ අලියයි පොහොට්ටුවයි එකට. එන පාර ජනාධිපතිවරණයේදී වුණත් මහින්ද මහත්තයා ඉල්ලන්නේ නැහැනේ. ඒක නිසා අපේ සපෝට් එක සර්ට තමයි. ගියපාර මහින්ද සර් හින්දා තමයි අපි ගෝඨාභයට වැඩ කළේ. අපි එකතු වෙලා එයාව දිනෙව්වාට එයා අපිව බලා ගත්තෙ නෑ. අපි කරපු ලොකුම වැරැද්ද දේශපාලනය දන්නැති මිනිහෙක්ව රජ පුටුවේ වාඩි කරපු එක. මේ පාර නම් එහෙම දෙයක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. පොහොට්ටුවේ සහයෝගයත් සර්ට නිසා අපිට සර් වෙනුවෙන් කැපවෙන්න ප්‍රශ්නයක් නෑ…”

“ඒ කොහොමද… පොහොට්ටුවෙනුත් කෙනෙක් දානවා කියලා කියනවා නේ. අකුරු තුනක නමක් තියන කෙනෙක් ඉල්ලනවා කියලා ආචාර්ය කෙනෙක් කිව්වේ..” තවත් අයෙක් එසේ කියද්දී

“අකුරු තුනේ කෙනා ඉතින් රනිල් මිස වෙන කවුද…” කවුරුත් ඊට කොක් හඬලා සිනාසුණා මිස කිසිවක් කියන්නට ගියේ නැත. මහින්ද ද හිස සලමින් ඒ දෙස බලා සිටියේය. කෙසේ වෙතත් ඉක්මනින් ආපසු යන්නට පැමිණි ජනාධිපති රනිල් පැය දෙකකට වැඩි කලක් එතන රැඳී සිටියේය. මහින්දට රාත්‍රී ආහාරය ගන්නට ශිරන්ති කතා කළත් මහින්ද සතුටින් කතාබස් කරමින් සිටියා මිස කෑම ගන්නට ගියේ නැති බැවින් ඇයට තනියම කන්නට සිදුවිය. මේ අයුරින් මහින්ද පැය හතරකට වැඩි වේලාවක් තම හිතවතා ධනසිරි වෙනුවෙන් එතැන රැඳී සිටියේ සාද තෙපුල් කතාබස් මැද ය.

● ජල ප්‍රශ්නයට දුන්
ජනපතිගේ විසඳුම

සඳුදා සවස ඇමැති මණ්ඩල හමුව පැවැති අතර සමනල වැව ජලය ගොවීන් වෙනුවෙන් නිකුත් කිරීම ගැන මෙහිදි සාකච්ඡා කෙරිණි. ජලය නිකුත් කිරීමේ තීන්දුව හා අඛණ්ඩව විදුලිය ලබාදීමේ තීන්දුව ගැනුණේ මෙහිදීය.

ඉන් පසුව පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් වෙත ද ජනපති රනිල් මේ තීන්දුව දැනුම් දුන්නේය.

විදුලිබල ඇමැති කංචන විදුලිය ගැටලුව ගැන පැහැදිලි කිරීමක් කළේය. එහිදි රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා විසින් ඉදිරියේදි ගෙන ඒමට නියමිත කැසිනෝ බදු වැඩි කිරීමේ පනත් කෙටුම්පත් ගැන පැහැදිලි කිරීමක් කළ අතර ඒ ගැන වැඩි වශයෙන් කරුණු විමසන්නට වූවේ ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර හා නලීන් ප්‍රනාන්දු යන ඇමැතිවරුය.

ඔවුන් විසින් ලෝකයේ රටවල් උදාහරණ ලෙස ගනිමින් මුදල් අමාත්‍යාංශ හා ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරද්දී ඒ දෙස බලා සිටි ජනපති හා අගමැති දෙපළ මුහුණට මුහුණ බලා ගනිමින් කීවේ
“අපිට නම් මේවා තේරෙන්නේ නෑ” කියාය.

කෙටුම්පත අවසන් කර නොමැති බවත් මැති ඇමැතිවරු ඉදිරිපත් කළ කරුණු තවදුරටත් අධ්‍යයනය කරන බවත් රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කියද්දී ජනපති රනිල් කීවේ ඔව් මේ මැති ඇමැතිවරුන්ගෙනුත් උපදෙස් ගන්න කියාය.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරමැදදී මන්ත්‍රී සංජිව එදිරිමාන්නගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් ගෙන ආවේ ජනපති රනිල් ය. රැස්වීම මැද්දේම උපන්දින කේක් කපා සුබ පැතුම් එක් කරද්දී ජනපති රනිල් හා හිටපු ජනපති මහින්ද ද ඊට එක්වූවේය.

ජනපති රනිල් ඉන්පසුව ජල ප්‍රශ්නයත් විදුලිය ප්‍රශ්නය වගේම නියඟය ගැනත් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. නියඟය දඩමීමා කරගනිමින් විපක්ෂ දේශපාලන පක්ෂයක් හා මාධ්‍ය ආයතනයක් එක්ව කරන්නට උත්සාහ කරන ආණ්ඩු පෙරළිය ගැනද කරුණු හෙළිදරව් කළේය.

“ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් ජනතාව පාරට බස්සන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේකට දේශපාලන පක්ෂයක් පෙරමුණ අරගෙන සිටින බවට මට වාර්තා ලැබිලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතනයක් ඒකට සහාය දක්වනවා” එසේ කියූ ජනපති ඊට අදාළ වාර්තා හා වීඩියෝ පට මන්ත්‍රීවරුන්ට පෙන්වා සිටියේය.

● 69 සංවත්සරයේ දී
ශ්‍රීලනිපයේ වෙනසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල බොහෝ සේ නිහඬ ය. මේ පිළිබඳ සොයා බැලූ මාධ්‍යවේදීන්ට දැකගන්නට හැකි වූයේ ඔවුන් පක්ෂ අභ්‍යන්තරයේ අලුත් වෙනස්කම් රාශියකට මුල පුරන්නට සූදානමින් පසුවන බවකි. පක්ෂයේ තනතුරු රැසක වෙනසක් කරන්නට අභ්‍යන්තරයේ සාකච්ඡා රැසක් පහුගිය දිනවල දිගින් දිගටම පැවැත්වෙමින් තිබිණි. පක්ෂ නායකයාගේ ඉල්ලීම හා දැඩි උනන්දුවක් පරිදි පක්ෂයේ ඉහළ පෙළේ සෙසු සාමාජිකයෝ ද මේ සඳහා අවනත වී ඇති බවද වාර්තා විය.

එම තොරතුරු නිවැරදි නම් ලබන මස දෙවැනිදාට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරයේදී පක්ෂයේ නිලතලවල පුළුල් පරිවර්තනයක් සිද්ධ වීමට ඉඩ ඇත. පක්ෂයේ නායකයා හැරුණ විට බොහෝ නිලතලවල දැනට සිටින නායකයෝ ඉවත් කර අලුත් මුහුණු රැසකට එම තනතුරු ලබාදීමට නියමිත බව අභ්‍යන්තර තොරතුරු මාර්ග හෙළිදරව් කර තිබිණි.

● 13 බලාත්මක කරන
ජනපති ගෙනා යෝජනාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බදාදා පාර්ලිමේන්තුවට ආවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳව සිය යෝජනා හා ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.

එහිදි මැති ඇමැතිවරුන් සමග සුහද කතාබහක නිරතවීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

එහෙත් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමග සිද්ධාර්ථන්, අඩෙක්කලනාදන් වැනි දමිළ පක්ෂ නායකයින් සිටියද ඔවුන් කිසිවක් ජනපතිගෙන් විමසා සිටියේ නැත. විග්නේෂ්වරන්, සුමන්තිරන්, රාසමානික්කම් වැනි මන්ත්‍රීවරු ඒ මොහොතේ සභාවේ නොසිටීම ද කැපී පෙනිනි.

පැයකට ආසන්න කාලයක් සභාවේ රැඳී සිටි ජනපති රනිල් ඉන් පිටවී එද්දී ලොබියේ රැඳී සිටි ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු ජනපති වට කරගත්තේය.

“මොනවද අර විපක්ෂ නායකතුමා කියන්නේ. එතුමා කොළයක් බලාගෙන ඒබ්‍රහම් ලින්කන් කියපු කතාවක් කියද්දී සර් දුන්නානේ ලින්කන් නිෂේධනය කරපු නඩු තීන්දුවක් ගැන කතාවක්.” ඇමැති චාමර සම්පත් කී ආකාරයට පිරිසට සිනහව නතර කර ගත නොහැකි වූහ.

“ජනාධිපතිතුමාගේ 13 හින්දා එයාලා හිර වෙලා ඉන්නේ. සුමන්තිරන් උත්සාහ කළේ විපක්ෂය එකතු කරන්න. හැබැයි දැන් දිගටම බෙදෙන එක තමයි වෙන්නේ.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ එවැන්නකි.

“විපක්ෂයේ කවුරු ගාවවත් හරි පිළිතුරක් තිබුණේ නෑ. විපක්ෂ නායකතුමාට තිබුණේ නිශ්ශබ්ද වෙලා යෝජනාවලිය අධ්‍යයනය කරලා කතා කරන්නයි” එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරයෙකු කීවේ බැරෑරුම්වය.

“ජනාධිපතිතුමා මෙතනදී කරුණු තුනකින් විපක්ෂ හිර කළා. එකක් 13 වැනි සංශෝධනයට යෝජනා ඉදිරිපත් කරපු එක. අනෙක කථානායකතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන කියපු එක. තුන්වෙනි එක විශ්වාසභංගයට ජනාධිපතිතුමා දින දුන්නත් විපක්ෂ නායක ලෙස සජිත්ට එකඟ වෙන්න බැරි වුණ එක. විපක්ෂයට නිවැරදි උපක්‍රමයක් තිබුණේ නෑ මේවට මුහුණ දෙන්න.” මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලූහ.

“විපක්ෂයේ ප්‍රධානීන් කවුරුවත් හිටියේ නෑ. චම්පිකලා වගේ අය නැගිටලා ගියා. ජනාධිපතිතුමා බලයට ඇවිත් අවුරුද්දක් යනකොට ඇතිවෙච්ච වෙනස කොහොමද?” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ කට කොනකට සිනාවක් ද එක් කර ගනිමිනි.

“එදා ආණ්ඩුව ගන්නත් බයවුණා. අද විශ්වාසභංගයටත් බය වුණා. හැම එකටම ඡන්දයක් ඉල්ලන එක තමයි මෙයාලා කරන්නේ. මිනිස්සුන්ට ඡන්දයක් වැඩක් නෑ.” ඇමැති ෂෙහාන් ද කතාවට එක්වූවේ එලෙසිනි.

“දෙමළ සන්ධානයේ බෙදීමත් පැහැදිලිව පෙනුනා. අනෙක විග්නේෂ්වරන් කියන දේ ජනාධිපතිතුමාගේ යෝජනාවල තියෙනවා. ඒ නිසා එයාලගේ අනෙක් අය ආවේ නැද්ද දන්නේත් නෑ.” ආශු කීවේ සිනාසෙමිනි.

“හර්ෂණ මැදින් පනිද්දි එයා ගැන සර් කියපු දේ ගොඩක් අයට තේරුණේ නෑ.” ඇමැති සියඹලාපිටිය විමසුවේ අනෙක් පිරිස ද හිස සලද්දීය.

“ඇයි ඔයාලා දන්නේ නැද්ද එයා මහින්ද ජනාධිපතිතුමාගේ ඥාතිනේ.” කියමින් ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව යන්න සැරසෙද්දී වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා එහි පැමිණියේ 13 ගැන කොමියුනිස්ට් පක්ෂයේ යෝජනාවලිය භාරදීමටය.

“ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන දෙන්නෙක් එක ළඟ වාඩිවෙල ඉන්නවා නේදැයි” වීරසුමන මන්ත්‍රීවරයාගෙන් විමසමින් ජනපතිවරයා පිටත්ව ගියද මන්ත්‍රීවරුන්ට මතු වූ ඒ ගැටලුව විසඳුවේ ආශු මාරසිංහ ය. “ඇයි ගෙවිඳු මන්ත්‍රීතුමයි මෙතුමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ එක තැනනේ.” ආශු කියද්දි සැවොම කොක් හැඬලූහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment