කාන්තාවක් සැමියාට කියලා පැරණි පෙම්වතා නිරුවත් කර කකුල් කඩලා

1119

කාන්තාවක තම සැමියා ලවා පැරණි පෙම්වතා නිරුවත් කොට කකුල් දෙකම කඩා දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

දොඩංදූව ප්‍රදේශයේ තරුණියක් හික්කඩුව කලුපෙ පදිංචි තරුණයකු සමග මෙයට වසර දහයකට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන ඇති අතර කාර්මික විදුහල් අධ්‍යාපනයෙන් පසුව එම සම්බන්ධතාවය නතර කොට තරුණිය වෙනත් විවාහයක් කරගෙන ඇත.

එහෙත් පැරණි පෙම්වතා ද ඇය සමග දුරකථනයෙන් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති අතර නිතරම ඔහු දුරකථන ඇමතුම් දීම සමහර අවස්ථාවල ඇයට කරදරයක් වී ඇත. මෙසේ නිතරම ලැබෙන ඇමැතුම් නතර කරන්නේ කෙසේ දැයි කල්පනා කළ සැමියා ඇයට පවසා ඇත්තේ දඩල්ල මුහුදු වෙරළට එන ලෙස ඔහුට කියන ලෙසයි.

ඒ අනුව මේ වනවිට 39 වැනි වියේ අවිවාහකව පසුවන ඔහු තම පැරණි පෙම්වතිය හමුවීමට දඩල්ල මුහුදු වෙරළට පැමිණ ඇත. පළමු පෙම්වතිය ද ආවත් ඇය සමග කතා කරන්නටත් පෙර සැඟව සිටි ඇයගේ සැමියා එක් වරම යකඩ පොල්ලකින් පහර දී ඔහුගේ පාද දෙකම කඩා දමා සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇත.

ඒ සමගම ඇය බස් රථයක නැගී ගොස් ඇති අතර සැමියා ද තවත් අයකු සමග යතුරුපැදියේ නැගී පලා ගොස් ඇත. මේ අතර මුහුදු වෙරළට පැමිණි පුද්ගලයකුට නාර ගස් අකුලේ පුද්ගලයකු කෙඳිරිගාන ශබ්දයක් ඇසී බලන විට දැක ඇත්තේ කකුල් කැඩුණු නිරුවත් පුද්ගලයකු සිටින බවය. එම පුද්ගලයා වහාම ගිලන් රියක් ගෙන්වා ඔහු කරාපිටිය රෝහලට යවා පොලිසිය දැනුවත් කර ඇත.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. ආනන්ද, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, සැරයන්වරුන් වන හසන්ත (58987), චන්ද්‍රසේන (7964), අනුර (27683) යන මහත්වරුන් විසින් හික්කඩුව කලුපෙ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ (14) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment