කොළඹ වරායට එමින් සිටි නැව ගැටී පාලම ගඟට

424

20කට වැඩිය අතුරුදන්

පාලමේ ගමන් කළ වාහන රැසකුත් ගඟේ ගිලිලා

අධික සීතල නිසා ජීවිතාරක්‍ෂක කණ්ඩායම්වලට බාධා

කොළඹ වරාය වෙත ගමන් කරමින් තිබූ සිංගප්පූරුවේ ලියාපදිංචි කන්ටේනර් නෞකාවක් ඊයේ (26දා) ඇමරිකා එක්සත් ජනපදයේ බෝල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කි පාලමේ ගැටීම හේතුවෙන් එම පාලම කඩා වැටී පුද්ගලයන් 20 දෙනකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම කන්ටේනර් නෞකාව පාලමේ ගැටීමත් සමගම පාලම කඩා වැටී ඇති අතර එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් මෙන්ම වාහන විශාල සංඛ්‍යාවක් ද පාලම යටින් දිවෙන ‘පටප්ස්කො’ ගංගාවට ඇද වැටී ඇත. මෙම අනතුර ඇමරිකාවේ වේලාවෙන් ඊයේ අලුයම සිදු වී තිබීමත් ප්‍රදේශයේ පවතින අධික ශීතල කාලගුණික තත්ත්වයත් නිසා ගඟට වැටී අතුරුදන් වූ පුද්ගලයන් හා පුද්ගලයන් සහිත වාහන සොයා සිදු කෙරෙන මෙහෙයුම් දැඩි බාධක මධ්‍යයේ සිදු කිරීමට වී ඇති බව ජීවිතාරක්ෂක කණ්ඩායම් පවසා තිබේ. පවතින අධික ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට දර්ශනය කරගත හැකි ප්‍රදේශය ද සීමිත බව බලධාරීහු පවසති.

කෙසේ වුවද කන්ටේනර් නෞකාවේ ගැටීම හේතුවෙන් ගඟට කඩා වැටී ඇති බෝල්ටිමෝර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පාලමක් වන ෆ්‍රැන්සිස් ස්කොට් කි පාලමේ සුන්බුන් අතරින් අනතුරට පත්වූවන් සෙවීම සඳහා බෝට්ටු මෙන්ම හෙලිකොප්ටර් යානයක් ද යොදා ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබූ බව ඊයේ සවස වාර්තා වී තිබිණි.

කොළඹ වරායට එමින් සිටි නැව ගැටී පාලම ගඟට
අනතුරට පෙර පාලම

සැතපුම් 1.6ක් දිගැති මංතීරු හතරකින් යුතු කඩා වැටුණු පාලම මගීන් හා වාහන ගමන් ගත් නගරයේ ප්‍රධාන පෙළේ පාලමක් වන අතර අනතුර සිදු වන විට එහි කොපමණ මගීන් හා වාහන සංඛ්‍යාවක් ගමන් කරමින් සිටියේදැයි වාර්තා වී නොතිබිණි. කෙසේ වුවද බොල්ටිමෝර් නගරයේ බලධාරීන් සී.එන්.එන්. පුවත් සේවයට පවසා තිබුණේ මෙය දැවැන්ත ව්‍යසනයක් වීමේ අවස්ථාව වැඩි බවකි.

පාලමේ ගැටුණු සිංගප්පූරුවේ ලියාපදිංචි ‘ඩායි’ නමැති කන්ටේනර් නෞකාව මීටර් 300ක් පමණ දිගැති මීටර් 48ක් පළලැති නෞකාවක් බව අනාවරණය වී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment