කොටුව මහෙස්ත්‍රාත් ඝාතන තැතක් ගැන විමර්ශන

246

තිළිණ ගමගේට ගහල දැම්මොත් ඇමැති ටිරාන්ගෙයි පොලිස්පතිගෙයි රෙදි ගැලවෙනවා – සැලසුම්කරු කියලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුට පහරදී ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට පලායෑමට සැලසුම් කළේ යැයි කියන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නියෝග ලබාදුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කළ සැලසුමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් ඝාතන තැතක් ගැන විමර්ශන

මෙයට සතියකට පමණ පෙර එක්තරා ඔත්තුකරුවකු මාර්ගයෙන් ලැබුණ එකී රහසිගත තොරතුර පිළිබඳව වහාම විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ නියෝගයක් මත පොලිස්පතිවරයාගේ උපදෙසින් එම විමර්ශනය ආරම්භ කොට ඇත. එවැනි ඝාතන සැලසුමක් ඇති බවට තිළිණ ගමගේ මහතාට ද ලැබී තිබූ තොරතුරු ඔහු විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර විධිමත් විමර්ශනයක් කරන්නැයි දන්වා තිබිණි. ටී-81 වර්ගයේ දුරවිදින ගිනිඅවියක් උපයෝගි කරගෙන එකී ඝාතනය සිදු කිරීමට සැලසුම් කළ පුද්ගලයා ඒ සඳහා ගිනිඅවියක් ලබාදෙන ලෙසට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලීමක් කොට ඇති බවත් අනාවරණය කරගෙන තිබුණි. වැඩිදුර විමර්ශනවලදී එම සැලසුම්කරුගේ ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි තොරතුරු ද හෙළි කර ගැනීමට නිලධාරීන් සමත් වී තිබිණි.

“තිළිණ ගමගේට ගහලා දැම්මොත් ටිරාන් අලස්ගෙයි පොලිස්පතිගෙයි රෙදි ගැලවෙනවා. ඒ හින්දා කොහොමහරි මේක ඉවරයක් කරමු” යැයි ගිනිඅවිය ඉල්ලා සිටි පුද්ගලයා පවසා ඇතැයිද මෙහිදී හෙළි වී ඇත.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව සඳහා ලබාදී සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ද ඔහුගේ ආරක්ෂාවට අනුයුක්ත කිරීමට පොලිසිය මේ වනවිට පියවර ගෙන ඇත. නදුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) හා සළිඳු මල්ෂිත (කුඩු සළිඳු) ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයන් සම්බන්ධයෙන් මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයන් පිළිබඳ තිළිණ ගමගේ මහතා නියෝග ලබාදී තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment