ව්‍යවස්ථා සංශෝධනයකට මැතිසබය සැරසෙයි

342

ගෝඨා ගෝ හෝම් සටන් පාඨය යටතේ කොළඹ ගෝල්ෆෙස් පිටියේ ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරය අතිශයින්ම නැවුම් මුහුණුවරක් ගත්තේය. අතිශයින් කලහකාරී පරිසරයක් තුළ එම උද්ඝෝෂණය සංවිධානය කරන්නට එක්තරා තරුණ කණ්ඩායමක් උත්සාහ ගත්තත් ගෝල්ෆේස් පිටියට ඒකරාශී වූ බහුතර සිවිල් සමාජ බලවේග වල බලපෑම හේතුවෙන් එය කාටත් සම අයිතියක් ඇති විරෝධතා බිමක් බවට පරිවර්තනය විය. දේශපාලනමය වශයෙන් එකිනෙකට විරුද්ධ පිරිස් පවා මෙතනට පැමිණ දේශපාලනය අමතක කොට ක්‍රියා කරන්නට වූහ. හොඳම උදාහරණය පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ පවතින අන්තරයත් ජනතා විමුක්ති පෙරමුණ යටතේ ක්‍රියාත්මක වන සමාජවාදී කලා සංගමයත් මේ බිමේ සමගියෙන් වැඩකටයුතු කිරීමය. පටු වාදබේද පරමාර්ථ අමතක කොට පොදු අරමුණක් ඔස්සේ සටන් වදින්නට කවුරුන් හෝ නොපෙනෙන බලවේගයක් විසින් ගෝල්ෆේස් පිටියේ අරගලය සංවිධිත කර තිබීම මවිතය දනවන සුළු කාරණාවක් විය.

මේ නිසා කොළඹ නාගරික තරුණ තරුණියෝ පැමිණ විලාසිතාවකට මෙන් ගෝඨාභයට ගෙදර යන්නට කියන අතරතුරම ගී කියන්නට, නාට්‍ය රඟපාන්නට, වීදි නාට්‍ය දර්ශන රඟපාන්නට, වැඩමුළු පවත්වන්නට පටන් ගත්හ. සමහර පිරිස් මෙය ගාලුමෝදර ෆැන්ටසිය ලෙස හඳුන්වන්නට වූයේ ද ඒ නිසාය.

● ලාභ නොමැතිව පාඩු වළකන්න

ජනාධිපති ගෝඨාභය ඉකුත් සෙනසුරාදා (16) මුදල් ඇමැති, මහ බැංකුවේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ලේකම්, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු අත්‍යවශ්‍යම නිලධාරීන් කීප දෙනකු කැඳවා විශේෂ සාකච්ඡාවක් කරනු ලැබීය. මේ සාකච්ඡාවේ කතාබහ කළේ ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ඉන්ධන වර්ග, ගෑස්, ඖෂධ වර්ග, අත්‍යවශ්‍ය ආහාර මෙන්ම විදුලිය අඩුවක් නොමැතිව රටේ ජනතාවට සැපයීම පිළිබඳවයි.

“අපි තේරුම් ගන්න ඕන… පැය දහයක් ඉක්මවලා විදුලිය කපපු එක ජනතාවට දරාගන්න බැරි වුණා. දවස් ගණන් ඉන්ධන පෝළිම්වල ඉන්න වෙච්ච එක ජනතාව ඉවසුවේ නෑ. අපට ජනතාවට වැරදි කියන්න බෑ. ඒගොල්ලො පාරට බැස්සේ ඊට පස්සේ. අපට ඒ විරෝධතාවයට ඔළුව නමන්න වෙනවා. මේක විසඳන්න නම් අපට ඒ අඩුපාඩු සපුරා දෙන්නම වෙනවා. වහාම ඩීසල් පෙට්‍රල්, ලාම්පුතෙල් අවශ්‍ය පරිදි සපයන්න. ඒ වගේම විදුලිය කැපීම අවම කරන්න…”

“මේ තියෙන මිලට නම් ගෑස් ඉන්ධන අපට දෙන්න බෑ සර්… දැනටත් දෙන්නෙ පාඩුවට. ලාභ ලබන තත්ත්වයට ගන්න තව ගොඩක් මිල වැඩි කරන්න ඕන” මුදල් අමාත්‍යාංශ ලේකම් කීවේය.

“ලාභ ලබන්න ඕන නෑ… පාඩුවක් නැති තත්ත්වයට මිල සංශෝධනය කළාට කමක් නෑ… හැබැයි පරිස්සමින්. ජනතාවට පීඩාවක් වුණොත් තියෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ වේවි.”

“ප්‍රශ්නය ඉතින් ඩොලර්ම තමයි…”

“චීනෙන් සල්ලි ටිකක් දෙන්න සූදානමක් තියෙනවා… ඉන්දියාවත් මේ වෙලාවේ උදව්වක් කරනවා…”

ඉන් පසුව මේ සාකච්ඡාවේ කතාබහ වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග වලදී රජය හැටියට ඒවාට මුහුණ දෙන්නට සූදානම් වන ආකාරය ගැනය.

සෙනසුරාදා දිනයේ එබඳු තීරණාත්මක සාකච්ඡා දෙකක්ම පැවැත්විණි. ඉන්ධන මිල වැඩි කිරීම හා ගෑස්මිල වැඩ කිරීම් ගැන ඉතා වැදගත් කරුණු රාශියක් මෙහිදී සාකච්ඡාවට ලක් වූහ.

ඒ අතරින් සෞඛ්‍ය ලේකම්වරයා මතක් කළේ අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟය පියවා ගැනීමට කුමක් කළ යුතුද කියාය.

“ජනාධිපතිතුමනි… අපි බටර් චීස් ටොෆි චොක්ලට් වගේ අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී ආහාර වර්ගවලට බදු ගහලා ඒවා පාලනය කරන්න උත්සාහ ගත්තත් වෙළෙඳපොළේ අද ඒවා ඕන තරම් සුලබව තියනවා. ඒව ගේන්න වාණිජ බැංකු එල්. සී. නිකුත් කරනවා. නමුත් ඖෂධ වර්ග වලට එතරම් තැනක් දෙන්නෙ නෑ. ඖෂධ වර්ග වලට එල් සී නිකුත් කරන එකට ප්‍රමුඛතාවය දෙන්න කියලා රජයෙන් උපදෙස් දුන්නොත් තමයි හොඳ…” රමේෂ් පතිරණ කීවේය. ජනාධිපතිවරයා නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවලට අමතරව ඉහළ පෙළේ දේශපාලනඥයන් කීප දෙනකු සමග ද විශේෂ සාකච්ඡාවන් ගණනාවක් කරනු ලැබීය.

ජනාධිපතිවරයා පසුගිය සතියට පෙර සතියේ අවශ්‍ය නම් අන්තර්වාර පාලන මණ්ඩලයක් පිහිටුවා ගෙන රජය වෙනස් කරන්නට විපක්ෂයට අවස්ථාවක් දෙනු ලැබීය. පාර්ලිමේන්තුවේ 113 කට බහුතරයක් පෙන්වන ඕනෑම විටක තමන් ආණ්ඩුව ලබා දෙන්නට සූදානම් බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ කීපයකුත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ 40 දෙනකුගේ කණ්ඩායමකුත් එවන් ආණ්ඩුවක් පිහිටුවන්නට සූදානම් වූවත් 113 පෙන්වීමේ ප්‍රශ්නය ඉදිරියේ ඔවුන් ද නිරුත්තර වූහ. සමගි ජන බලවේගයේ යම් සහයෝගයක් ලැබෙන්නේ නම් එය වඩා පහසු කටයුත්තක් විය. ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජන බලවේගයත් ඒ වනවිට සිටියේ වෙනමම ආස්ථානයක ය.

සමගි ජන බලවේගය ජනාධිපති ගෝඨාභය විධායකයේ සිටින ආණ්ඩුවකට කැමති නොවීය. ඔවුන්ට වුවමනා වූයේ ව්‍යවස්ථාමය වෙනසකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටය.

ජනතා විමුක්ති පෙරමුණ ඊටත් වඩා එහා ගිය ආස්ථානයක සිටියේය. ඔවුන් පෙන්වා දුන්නේ මුළු රටේම ජනතාව ජන අරගලයක් ලෙසින් වීදි බැස ඇති බැවින් ජනාධිපතිවරයා හා රජය ඉල්ලා අස්විය යුතු බවය. ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ඉඩක් ලබා ලබාදී නැතැයි කියා ඇතැමකු තර්ක කලත් ජවිපයේ මතය වූයේ දැන් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ජනසම්මතවාදය ඉස්මතු වී ඇති බැවින් අවස්ථාව ආරක්ෂා කරනවා වෙනුවට ජනතාවගේ හඬට කන් දීම හැර වෙන විකල්පයක් නැති බවය.

එහි සරල අදහස පැහැදිලි නැත. ජනාධිපතිවරයා හා රජය ඉල්ලා අස් වූ විට ජනතාවගේ කැමැත්ත මත පාලකයෙක් බිහි වෙනු ඇතැයි කියා ඔවුන් තර්ක කළහ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ බැව් එක් රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට පැමිණ කියන විටදී තවත් එබඳුම රූපවාහිනී සාකච්ඡාවක සිටිමින් සුනිල් හඳුන්නෙත්ති ද එම අදහසම ප්‍රකාශ කරනු ලැබීය.

● රාජපක්ෂලා අස්වුනාම ආණ්ඩුව හදනවා

පසුගිය 18 වෙනිදා “ජනතා බලය” සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සජිත්ව හමුවිය.

“මේ වෙලාවේ රට අර්බුදයකට පත් වෙලා තියෙන්නෙ. ඇයි ඔබතුමා පුළුවන්කම තියෙද්දිත් මේ වෙලාවේ අන්තර්කාලීන ආණ්ඩුවක් භාර ගන්නෙ නැත්තෙ?” නියෝජිතයෙක් සජිත්ගෙන් ඇසුවේය.

“අපි 113 හදන්න ඕනේ පොහොට්ටුවේ අයත් අරගෙන. ඔතන ඉන්න විශාල පිරිසක් අන්ත ජාතිවාදී අය. බරපතළ චෝදනා තියන අය. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මීට අවුරුදු දෙකකට කලින් මේ රටේ ජනතාව 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. අපි කියන්නේ මෙච්චරයි. සියලු රාජපක්ෂවරු ඉල්ලා අස් වෙන්න ඕන. ඊට පස්සේ කෙටිකාලීන ආණ්ඩුවක් හැදුවාම තනතුරු භාර නොගෙන ඒ ආණ්ඩුවට අපි වැඩපිළිවෙළක් දෙනවා.” සජිත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරද්දී බොහෝ නියෝජිතයන් සජිත්ගේ ස්ථාවරය පිළිබඳව ඉතා පැහැදීමෙන් කතා කළේය.

“අපි මේ අර්බුදය ගන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත් කරලා දෙන්න.” රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.

“ඇත්තටම මේ වෙලාවේ අර්බුදය හරි අතට අරගෙන නිල අල්ලලා ආණ්ඩුවට ගහන්නේ අපි, විපක්ෂ නායකතුමා හරියටම වැඩේ කරනවා” ගයන්ත කරුණාතිලක කීවේය.

“ඒක හැමෝටම පේනවා. කොන්දේසි විරහිතව රාජපක්ෂලාට අයින් වෙලා යන්න කියල කියන්නෙ විපක්ෂ නායකතුමා. එළියෙ අරගල කරන තරුණයන්ට මුලින්ම ධෛර්යය දුන්නේ අපි. සමහර පක්ෂ ඒ අරගලයට එයාල සම්බන්ධ නෑ කියල ිඒඑැපැබඑ පවා දුන්නා. එහෙම අරගලය පාවා දුන්න අය දැන් අරගලයේ පිතෘවරු වෙන්න හදනවා.” රාජිත කීවේය.

● ඇමැතිකම් ගන්නැයි දුරකථන ආරාධනා

පසුගිය සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන කරලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලන භූමිකාව වඩාත් කැපී පෙනෙන සුළු එකක් විය. ඊට හේතුව වත්මන් අර්බුදය විසඳන්නට අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින් ශ්‍රීලනිපය පෙන්නුම් කළ නායකත්වයයි.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව සමග කළ සාකච්ඡා අසාර්ථක විය.

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා කැඳවමින් රජය ඇමැතිකම් හා තාන්න මාන්න ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකත්වය දැඩි කලකිරීමක සිටියේය.

ඒ අතරවාරයේ පසුගිය සති අන්තයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට වෙන වෙනම රාජ්‍ය ඇමැතිකම් සඳහා විවිධ මට්ටමේ ආරාධනා ලැබෙන්නට විය.

සඳුදා සවස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගේ දුරකථනයට දිගින් දිගටම වට්ස්ඇප් ඇමතුමක් පැමිණෙන්නට විය. දිගින් දිගටම පැමිණෙන මේ ඇමතුම කුමක්දැයි සැක සිතූ සියඹලාපිටිය ඊට ප්‍රතිචාර දැක්වීය.

එහා කෙළවරින් පැමිණියේ ඉතාමත්ම හුරු පුරුදු කටහඬකි. තත්ත්පර කීපයකින්ම ඒ කටහඬ හිමිකරුවා පසුගිය කැබිනට් මණ්ඩලයේ ප්‍රබලම හා තීරණාත්මක ඇමැතිවරයකු බව සියඹලාපිටියට හඳුනාගත හැකි විය.

“ඔන්න මචං උඹටත් මේ වෙලාවේ රට බේරගන්න අවස්ථාවක් තියනවා. අපි මේ ලොක්කත් එක්ක ඉන්නේ. අපි කතාවුණා ආර්ථිකය සම්බන්ධයෙන් උඹගේ තියෙන පරිනතකම ගැන. දැයට කිරුළ වෙලාවෙත් උඹ ලොකු වැඩ කොටසක් කළානේ. ඉතින් මේ වෙලාවේ ලොක්කා කැමතියි ආර්ථිකය සම්බන්ධයෙන් හිතන ලොකුම වගකීම, ලොකුම ඇමැති ධුරය උඹට දෙන්න.”

“අනේ මචං… මේ වෙලාවේ රටට හොඳටම කෙලවිලා තියෙන්නේ. ඔය ගොන් කතා නම් කියන්න එන්න එපා. ඒ මොකද ශ්‍රී ලංකා එක හැටියට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙනයි ඉන්නේ. අපි රෙදි ඇඳන් ඉන්න එපායැ. ඒක නිසා මචං දැන් කරුණාකරලා ඔය කතාව අපි නවත්තමු…”

“පොඩ්ඩක් ඉන්න මචං… මේ ලොක්ක ඉන්නවා… එයාට දෙන්නම්…”

“ලොක්කා නොවෙයි. දෙයියන්නාන්සෙට දුන්නත් මගේ තීන්දුවේ වෙනසක් නෑ…”

“හරි මචං… මම හෙට උදේ උඹට ආයෙත් කතා කරනවා. උඹ හොඳට හිතල බලල තීන්දුවක් ගනින්. මේක තමයි වෙලාව. මම අවශ්‍ය පහසුකම් ඔක්කොම ලෑස්ති කරනවා. වචනයක් දියන්…”

“ඔයා දන්නවනේ මම අනවශ්‍ය කතාවලට කාලය නාස්ති කරන්නේ නැහැ කියලා. කොච්චර කතා කළත් ඔච්චර තමයි.” සියඹලාපිටිය කතාබහ හමාර කළේ එසේය.

ඉන් අනතුරුව සුපුරුදු අංක ගණනාවකින්ම ඇමතුම් ගලා ආවත් ඔහු ඒ කිසිම ඇමතුමක් ගත්තේ නැත.

එම කතාබහ එතෙකින් අවසන් විය. එදා හවස ද තවත් බොහෝ දේ සිදුවෙමින් පැවතිනි.

අඟහරුවාදා උදේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් ගැන ද මෛත්‍රිපාල සිරිසේන මහතාට විශේෂ තොරතුරක් වාර්තා විය. ලැබුණ තොරතුර අනුව මෛත්‍රී දුරකථනයෙන් සුරේන් රාඝවන්ට කතා කළේය.

“මොකක්ද මේ පැතිරිලා යන කටකතාව…?”

පිස්සුද සර්… මම මේ වෙලාවේ පක්‍ෂය ගත්තු තීන්දුවක් කඩ කරනවද මම ජීවිතේටවත් කරන වැඩක් නොවෙයි. මම මොකටද සර්ලට පිටුපාන්නේ. ඇරත් මාව දේශපාලනයට ගෙනාවෙත් සර්…

සුරේන් රාඝවන්ට මෛත්‍රී කතාකර මේ සංවාදය ඇතිවන විට අඟහරුවාදා සවස 2.00 පසුවී තිබුණා පමණි. එහෙත් සවස 3.30 පමණ වනවිට සුරේන්ගේ දුරකථනය විසන්ධිව තිබිණි.

“අපි වාහනයක් යවල මිනිහව මෙහාට ගෙන්ව ගමු…” මන්ත්‍රීවරයෙක් යෝජනා කළේය.

“දැන් කතා කරල වැඩක් නෑ. වෙන්න ඕන දේවල් දැන් සිදුවෙලා ඉවර ඇති…” දයාසිරි කීවේය.

සවස 4.00 ට පසුව රාජ්‍ය ඇමැතිවරුන්ගේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඊට පෙර අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පටන්ගෙන තිබුණේ අඟහරුවාදා උදේ 10.07 ටය.

● ගීතා කුමාරසිංහ සීතා කුමාරසිංහ වෙලා

ව්‍යවස්ථා සංශෝධනයකට මැතිසබය සැරසෙයි

ප්‍රසන්න රණතුංග, ඩග්ලස් දේවානන්දා, රමේෂ් පතිරණ හිටපු කැබිනට් ඇමැතිවරු තුන්දෙනා ඇතුළු 17 දෙනකුගෙන් යුතු නව කැබිනට් මණ්ඩලයක් එදා උදේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබිණි. මෙහි සිටින බොහෝ දෙනා අලුත්ම තරුණ මන්ත්‍රීවරු වීම විශේෂත්වයක් විය.

ජනාධිපතිවරයා ඉදිරියේ මේ අමාත්‍යවරු දිවුරුම් දීම සිදුකෙරුණත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ එම අවස්ථාවට සහභාගි වන්නට පැමිණ නොසිටීම කාගේත් විමතියට කරුණක් වූහ.

දිවුරුම් දීම සිදුවූවාට පසු එදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අමාත්‍යවරු අමතා විශේෂ කතාවක් කළේය. එහිදී ඔහු අවධාරණය කළ විශේෂ කරුණු කිහිපයක් කාගෙත් දැඩි අවධානයට බඳුන් වූ බව පෙනෙන්නට විය.

නිසි කලට වේලාවට, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගැනීමට ක්‍රියා නොකිරීම වරදක් බව ඔහු පිළිගත්තේය. එසේම තවත් කරුණක් කීවේය. එය නම් රසායනික පොහොර තහනම් කිරීමට තමා ගත් තීන්දුව ද වරදක් බව පිළිගැනීමයි.

අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව එදා හවස රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනකු ද දිවුරුම් දුන්හ. ඒ 24 දෙනා අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූවා යැයි කී කණ්ඩායම්වල සිටින කිහිපදෙනෙක්ද සිටීම කාගේත් විමතිය දනවන කරුණක් විය.

දිවුරුම් දීම අතරේ විශේෂ කරුණක් වූයේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගේ නම සීතා කුමාරසිංහ ලෙස නිවේදනය වනු ඇසීමය. ඇය තරමක් ප්‍රමාද වෙමින් මුහුණින් අසතුට පෙන්වමින් අමුතු සිනහවකින් යුතුව ඇමැතිකම බාර ගත්තේ තම නමවත් හරියාකාරව නිවේදනය නොකිරීම ගැන කණස්සල්ල ප්‍රකාශ කරමින්ය.

අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් බොහෝ අමාත්‍යවරු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ විශේෂ කතාව ශ්‍රවණය කිරීමෙන් පසුව වහාම ජනාධිපති කාර්යාලයෙන් පිටත්ව ගියහ. පෙර කතාබහ කරගෙන සැලසුම් කරගෙන නොතිබුණත් ඒ ගිය වාහන බොහෝමයක ගමනාන්තය වී තිබුණේ කොළඹ විජේරාම මාවතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ නිල නිවසයි.

දිවුරුම් දීමේ අවස්ථාවට අගමැතිවරයා නොපැමිණීම ගැන විමතිය පළ කළ නව අමාත්‍යවරු තම අගමැතිවරයා බැහැදැක විමසා සිටියේ එකම එක කාරණාවකි.

“දැන් ඉදිරියට අපි මොකක්ද කරන්නේ සර්…?”

පරිනත දේශපාලනඥයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සියලු ප්‍රශ්න එක හිත හදන වචනයකින් දෙකකින් විසඳන්නට සමත් වූවාට සැකයක් නැත.

● පක්‍ෂ නායකයාගෙන් රාඝවන්ට දඬුවමක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහෝදර මන්ත්‍රීවරු පිරිස සුරේන් රාඝවන්ට කුමක් විනිදැයි කියා සොයද්දී රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් රාඝවන් තම නායකයාට දෙන්නට කියා ලොකු ලිපියක් ලියුවේය.

ඒ ලිපිය සුරේන් රාඝවන් වට්ස්ඇප් පණිවිඩයක් ලෙස දයාසිරි ජයසේකරට එවා තිබිණි. එය ලැබෙන විට සුරේන් කර ඇති කටයුත්ත ගැන සියලු කරුණු පක්‍ෂයට හෙළිදරව් වී තිබුණ බැවින් දයාසිරි ලිපිය කියවන්නට ගියේ නැත.

මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානයේදී පක්‍ෂ සංවිධායකයන්ගේ විශේෂ රැස්වීමක් කැඳවන්නට ද පක්‍ෂ නායක මෛත්‍රිපාල සිරිසේන අමතක නොකළේය. මෙය රැස්වීමකට වඩා පක්‍ෂයේ ඉදිරි අනාගතය හා ජාතික වගකීම ගැන කතාබහ වූ එක්තරා සම්මන්ත්‍රණයක් යැයි කීවාට වරදක් නැත. ආචාර්ය ධම්ම දිසානායක, ආචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස ආදීහු මෙහිදී දේශපාලන විග්‍රහයක් ඉදිරිපත් කරමින් දේශන පවත්වනු ලැබුවේ රටේ අනාගතය හා ශ්‍රීලනිපයේ ගමන් මග ඉලක්ක කරගෙනයි.

මෛත්‍රිපාල සිරිසේන මෙහිදී ආවේගාත්මක කතාවක් කළේය. ඔහු ශ්‍රීලනිප විනය කඩකළ කිහිප දෙනෙක් ගැන ඉතා ආවේගයෙන් කතා කළේ මෙසේය.

“ඔය ශාන්ත බණ්ඩාර කිය කිය යනව නේද මිනිහ මගේ නෑදෑයෙක් කියලා. හැබැයි ඕකට මගේ ඇති නෑකමක් නෑ. මිනිහ හදාගත්ත නෑකමක් පෙන්වනවා. අනිත් එක මිනිහ මට කතා කරලයි ගියේ කියල කියන කතාව සම්පූර්ණ බොරුවක්. ඕක මට කතා කළේ නෑ…”

ඒ අතර මෙහිදී මෛත්‍රී තීන්දුවක් සම්මත කර ගත්තේය. ලංකාව පුරා පවතින සියලුම නගර සභා ප්‍රාදේශීය සභාවල ශ්‍රීලනිප මන්ත්‍රීවරු රජයෙන් ඉවත් වී ස්වාධීන වීම එම තීන්දුවයි. කිසිම අයුරකින් පොහොට්ටුවට සහාය නොදෙන්නේ යැයි මෙහිදී අත් ඔසවා කැමැත්ත පළ කරන මෙන් නායකයා ඉල්ලා සිටියේය. යෝජනාව සම්මත විය.

මේ අතරතුර ගාමිණී තිලකසිරි යෝජනාවක් කළේය.

සුරේන් රාඝවන් අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හොරා කෑවා. අපි එයාට පාඩමක් උගන්වමු. අපි මේ මොහොතෙම රාඝවන් ඉවත් කරනවා කියන ලියවිල්ලක් සූදානම් කරල රාඝවන්ට යවමු.

මේ යෝජනාවට සියල්ලෝම කැමැත්ත පළ කළහ.

ලියුම තැපෑලේ යවල බැහැ. අපි ලියුම හදල ඒක අරන් පෙළපාලියකින් සුරේන්ගේ ගෙදරටම ගිහින් බාරදෙමු. බෙන්තර ඇල්පිටිය සංවිධායක අමිල කාරියවසම් කීවේය. එසේ කීවේ රාඝවන්ගේ නිවස ද ඩාර්ලි පාර ආසන්නයේ තිබූ නිසාය.

● රට හදන යෝජනා කථානායක ඉල්ලලා

පසුගිය සතියේ මුල පැවති පක්ෂ නායක රැස්වීමේදී වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඒ ඒ පක්ෂ යෝජනා කරන විසඳුම් ලිඛිතව ලබා දෙන්න කියා කථානායකවරයා යෝජනාවක් කළේය. පක්ෂ නායක රැස්වීම් වලදී එජාප නායක රනිල් වික්‍රමසිංහ පෙන්වූ පරිණතභාවය සහ සංයමය කාගේ කාගේත් පැසසුමට ලක් විය. බොහෝ දෙනා කිව්වේ ඊළඟ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා වීමට සුදුසුම පුද්ගලයා රනිල්ය කියාය. එහෙත් විපක්ෂයේ ඇතැම් පක්ෂ ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැති තරම් ය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තු සතියේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර පළමුව අදහස් දැක්වූ අරුන්දික ප්‍රනාන්දු ඇමැතිවරයා “මේ රැස්වීම කැඳවීම පිළිබඳව ස්තුති කරනවා. අපේ මන්ත්‍රීවරුන්ට විවිධ බලපෑම් එල්ල වුණත් අපි හැමෝම එකාවන්ව ඉන්නවා. නමුත් විවෘතව සාකච්ඡා කරලා අප අතර තියෙන සැක සංකා ඉවත් කරගෙන ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න ඕනේ.” කීවේය.

මෙහිදී ජගත් කුමාර මන්ත්‍රීවරයාද අදහස් දැක්විය “රටේ පවතින තත්ත්වයත් එක්ක අපේ මන්ත්‍රීවරුන්ට විවිධ තර්ජනවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. රටේ මහජන කැලඹිමට දේශපාලන පක්ෂ සෘජුව සම්බන්ධ වෙලා සිටින බව මේ වන විට පෙනී යමින් තිබෙනවා. තෙල් ඉල්ලලා පටන් අරන් වෙනත් දේශපාලන සටන් පාඨවලට ගිහින්. අපේ පාර්ශ්වයෙන් මේවාට නිවැරදි පිළිතුරු දීමක් සිදු කරන්න වෙනවා. සමහරු කියන්නේ අගමැතිවරයා ඉවත් කරන්න ඕනේ කියලා. අගමැතිවරයා අයින් කළාට පස්සේ එන්නේ ජනාධිපතිවරයා ඉවත් කරන්න” සියලු මන්ත්‍රීවරු ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම අනුමත කරන විට නැවතත් ජගත් කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ “ලබ්බට තියපු අත පුහුලට නොතියා ඉඳියි කියලා අපිට කියන්න බැහැ. අගමැතිවරයා ඉවත් කිරීමකට අපි කිසිසේත් එකඟ නැහැ” යි ද කියාය.

සියලුම මන්ත්‍රීවරු ජගත් කුමාර මන්ත්‍රීවරයා දැක්වූ අදහසම නිවැරදි බව කීහ. එදින ස්වාධීන වෙනවා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ කියැවුණු මන්ත්‍රීවරුද ඒ අතර විය.

මේ අතර නව ඛණිජ තෙල් ඇමැතිවරයා වූ කාංචන විජේසේකර මහතා සඳහන් කළේ රඹුක්කන සිද්ධිය සමග ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය නිසා ඉන්ධන ප්‍රවාහනය කරන්නන් ඉන් ඉවත් වූ බවයි. “අපි ආරක්ෂාව ලබා දෙන බව බවුසර් රථ රියැදුරන්ව දැනුවත් කළාට පස්සේ ඔවුන් එකඟ වුණා සේවයට වාර්තා කරන්න. තව දින තුනක් යනවිට අපි ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ගල් අඟුරුවලටත් මුදල් ගෙවා අවසන්. ඒ අනුව සැප්තැම්බර් මාසය වෙනතෙක් ගල් අඟුරු අවශ්‍යතාව සම්පූර්ණයි” යැයිද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට විදුලි කැපීම පිළිබඳවද නිවැරදි තොරතුරු දැන ගැනීමට අවශ්‍යව තිබිණි.

“රට පුරා ජනතාවට පීඩාව අඩුම වෙලාවක නියමිත වේලාවක් විදුලි කැපීමක් සිදුකරන්න මේ වෙද්දි සාකච්ඡා කරමින් තිබෙනවා. පුළුවන් ඉක්මනට මේ විදුලි කප්පාදුව අවසන් කරන්නත් අපි කටයුතු කරනවා.” ඇමැතිවරයා නැවතත් පිළිතුරු දෙමින් පැවසීය.

මෙහිදී රමේෂ් පතිරණ මහතා “ ගෑස් නැව මේ මාසේ 24 ලංකාවට එනවා. 24 වැනිදායින් පසුව ගෑස් ප්‍රශ්නය විසඳෙනවා. මෙතැනින් පසුව දිගින් දිගටම ගෑස් නැව් ලංකාවට එන්න නියමිතයි. ” යි කීවේය.

අනතුරුව කතා කළ පියල් නිශාන්ත මන්ත්‍රීවරයා “මොන ප්‍රශ්න ආවත් අපේ නායකයන් ආරක්ෂා කරන්න අපි සූදානම්. එකතු වෙලා මේවාට මුහුණ දෙමු. දැන් අපි වැඩ කරමු. නැත්නම් නිහඬකම නිවට කම කියලා හිතයි. තෙල්, ගෑස් අර්බුදය මේ විදියට විසඳෙනවා නම් අපිට සෑහෙන්න පහසුවක් වෙනවා” කීවේය.

එය අනුමත කරමින් සහන් ප්‍රදීප් මන්තීවරයා සඳහන් කළේ “ ආණ්ඩුව කරන්න කවුරු හරි සූදානම් නම් අපි කට්ටියම එකට විපක්ෂයට යමු. අර වාර මේ වාර මොනවා කිව්වත් ඒ අය ඉදිරිපත් වෙන්නේ නැහැ.” යි කීවේය. අගමැතිවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක්ද මෙහිදී සම්මත කර ගැනිණි. යෝජනාව ඉදිරිපත් කළේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාය.

පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ තම තමන්ගේ යෝජනා ඉකුත් බ්‍රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුයේ ඒ සම්බන්ධව ඉදිරි සාකච්ඡාවලදී යම් විසඳුමක් ලබා ගැනීමේ සාධනීය අරමුණ ඇතිවය. සමගි ජන බලවේගය ද ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඔවුන්ගේ අභිප්‍රාය බව ඉන් ප්‍රකට විය.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් ප්‍රතිපාදන අද පවතින තත්ත්වයට විසඳුමක් ලබා දීමට ලොකු බාධාවක් යැයි පෙන්නුම් කළ අයද සිටියහ. ඔවුන්ගේ දළ අදහස වූයේ විසිවෙනි සංශෝධනය බල රහිත කිරීම සඳහා, දහනව වන සංශෝධනය පදනමේ තබාගෙන සකස් කරන ලද විසි එක් වන සංශෝධනයක් ගෙන ආ යුතු බවයි. ඒ සඳහා වූ යෝජනා ද බ්‍රහස්පතින්දා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රැස්වීම පැවැත්වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අදාළ කරුණක්ද මතු කළේය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දුන්නේ යැයි කර ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳවය.

“මට උසාවියෙන් ඇප දුන්නට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. මම හිතන්නෙ මම තමයි ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරන් රඳවාගත්ත මේ රටේ ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා”

මෙහිදී සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඔහුට ඉතිහාසය කියා දෙමින් කළ ප්‍රකාශයට පක්ෂ නායකයන් කාගේත් අවධානය යොමු විය.

“ඔබතුමාට ලබාදිය හැකි සෑම පහසුකමක්ම කථානායකතුමා සහ ආණ්ඩුව ලබාදීලා තියෙනවා. ඒ වුණාට ඔබතුමා දැනගන්න, ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් මේ රටේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබතුමා නෙමෙයි. මගේ ආදරණීය පියාණන් දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ ආචාර්ය එන් එම් පෙරේරා මැතිතුමා තමයි, එහෙම අත්අඩංගුවට ගත් මේ රටේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඒක මේ ත්‍රස්ත නීතිය වගේ නෙමේ, මීට වඩා භයානක බ්‍රිතාන්‍ය මාෂල් ලෝ, හමුදා නීතිය යටතේ වුණේ.”

1940 දී අධිරාජ්‍ය විරෝධී අභූත චෝදනා මත පිලිප්, ඇන් ඇම්, අත්අඩංගුවට ගෙන රඳවාගත් සිද්ධිය මතක් කරමින් දිනේෂ්, නිවැරදි ඉතිහාසය සිහිපත් කිරීමත් සමග රිෂාඩ් නිහඬව සිටියේය.

● බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment