දේශපාලන පක්ෂ ‘කුලප්පු‘ කළ ජාතික මැතිවරණය:

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බොහොමයක් කුලප්පුවී වී තිබේ. ඒ ලැබුවා වූ නව වසරේදී අනිවාර්යෙන්ම ජාතික මැතිවරණක් පැවැත්වීමට නියමිත නිසාය. ව්‍යවස්ථානුකූලව නව ජනාධිපතිවරයෙකු මෙම වසර අවසානයේදී ජන්දයෙන් පත්කර ගත යුතුමය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් වසර පහකට වරක් පවත්වන ජනාධිපතිවරණය වහාම කැඳවිය හැකිය. නමුත් පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේද පූර්ණ සහයෝගය මත අතුරුදන් කළ බවද අමතක කළ නොහැක.

පාර්ලිමේන්තු සහ පක්ෂ දේශපාලනය තවදුරටත් ව්‍යාකූල කරමින් මහජන නියෝජිතයන් තමන් පාර්ලිමේන්තුවට පත් වූ පක්ෂය අත්හැර අනෙකුත් පක්ෂවලට එකතු වෙමින් සිටිති. ඒ ජනාධිපතිවරණයට සූදානම් වීමටය. නව කණ්ඩායම්ද බිහිවෙමින් ඇත. හිටපු මන්ත්‍රීවරුන්ටද ඉල්ලුමක් ඇතිවී තිබේ. පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග (සජබ) නායකත්වය දෙන සන්ධානය සමඟ එක් විය. ඔහුව එසැණින් නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කිරීම සිදුවිය. දේශපාලනඥයකු වූ ප්‍රෝටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදී පැවැති රජයන්හි කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක්ම දැරූවෙකි.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රී (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්/පොහොට්ටු පක්ෂයෙන් තරග කළ) ශාන් විජයලාල් ප්‍රධාන විපක්ෂය වන සජබ සමඟ එකතුවිය. ඒ ජනවාරි පළමුවැනි දිනය. එනම් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව ජනතාව අන්දමන්ද කරමින් නව බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ දිනය. එදිනම දේශපාලනික වශයෙන් වැදගත් තවත් සිදුවීමක් විය. හිටපු රාජ්‍ය අමාත්‍ය පොහොට්ටු පක්ෂයේ නිමල් ලන්සාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කණ්ඩායමට එම පක්ෂයේම අනුර ප්‍රියදර්ශන යාපා එකතු වීමයි. හිටපු අමාත්‍යවරයෙකු වූ යාපා මීට වසරකට පමණ පෙර පොහොට්ටු පක්ෂයෙන් ස්වාධීන විය. ඔහුත් සමඟ ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රීවරු තුන් දෙනකු සහ මන්ත්‍රීවරියක විය. ඒ ඔහුට අමතරව වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (ගම්පහ දිස්ත්‍රික්කය), ජෝන් සෙනෙවිරත්න (රත්නපුර) සහ ප්‍රියංකර ජයරත්න (කුරුණෑගල). නව සන්ධානයේ මුලස්ථානය රාජගිරියේදී පිහිටුවූ අවස්ථාවට යාපා සහ ජයරත්න මන්ත්‍රීවරුන් සහභාගි විය.

එම අවස්ථාවේදී ලන්සා අවධාරණය කළේ තම කණ්ඩායමේ සහය වර්තමාන ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහට ලබා දෙන බවයි. පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ ලන්සා ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්වීමට ඇති අවස්ථාව අවධාරණය කළේය. පොහොට්ටු මන්ත්‍රීවරු වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීම විශේෂ තත්ත්වයක් නොවේ.

පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමේ අති බහුතරයේ කැමැත්ත වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවතත් පත් කර ගැනීම බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර (පොහොට්ටු පක්ෂය/මාතර) ප්‍රකාශ කළේ මීට මාස ගණනාවකට පෙරය. පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනු ලැබුවත් කාංචන විජේසේකර සිට ගන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

මේ අතර පොහොට්ටු පක්ෂයෙන් ඉවත්වූ හිටපු අමාත්‍යවරු වූ මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ (ජාතික ලැයිස්තුව) සහ ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් ක්‍රියාත්මක 13 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමද අර්බුදකාරී තත්ත්වයක් තුළ වෙන්විය. මහාචාර්ය පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා (පොහොට්ටු පක්ෂය /ගම්පහ දිස්ත්‍රික්කය) සහ ඩිලාන් පෙරේරා (පොහොට්ටු පක්ෂය/ බදුල්ල) සජබට නිල වශයෙන් එකතු විය. නිදහස් ජනතා සභාව ලෙස ක්‍රියාත්මක වූ කණ්ඩායමේ වෙන්වීම අනිවාර්යෙන්ම විමල් වීරවංශ සභාපතිත්වය දරන උත්තර ලංකා සභාගයටද බලපාන බව පැහැදිලිය.

වික්‍රමසිංහ ජනාධිපති ලෙස 2022 ජුලි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජන්දයෙන් පත්කර ගැනීමෙන් පසුව දේශපාලන පක්ෂ තවදුරටත් පිරිහී ඇත. ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ තවමත් සිටින්නේ සාරති දුෂ්මන්ත මන්ත්‍රීවරයා (කෑගල්ල දිස්ත්‍රික්කය) පමණය. ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට 14 දෙනකු 2020 අගෝස්තු මැතිවරණයේදී පත්විය. එයින් 13 දෙනකුම පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්විය. අනෙක් මන්ත්‍රීවරයා යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රීලනිප ලාංජනයෙන් තරග කළ අන්ගජන් රාමනාතන්ය. එම මන්ත්‍රීවරයා 2024 අයවැයට පසුගිය දෙසැම්බර් 13 වැනි දින ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ශ්‍රීලනිපය පාර්ලිමේන්තු දේශපාලනය තුළ අනාථ වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. නන්නන්තාර වී බව පැවසුවත් වැරදි නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අධිකරණය දුන් තීන්දුව දේශපාලනික වශයෙන් ඉතාමත් අවාසිදායකය. ඔහුට ජනාධිපතිවරණ වේදිකාවට ආරාධනා කරන ඕනෑම පක්ෂයකට /සන්ධානයකට අවාසිදායක තත්ත්වයක් උදාවියහැකි බව විපක්ෂයේ බොහෝ පක්ෂවල මතයයි. ශ්‍රීලනිපයට ‘හෙලිකොප්ටරයෙන්’ බැසීමට සිදු හේතුව එය බව ජනතාව දන්නේ නැත.

පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කළ දයාසිරි ජයසේකර සිරිසේනට අභියෝග කරමින් සියල්ලගේම සහයෝගය ඇතිනම් තමන් ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. තමන්ට ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට ඇති සුදුසුකම්ද හිටපු අමාත්‍යවරයා මෑතකදී මාධ්‍ය ඉදිරියේ තැබීය. සිරිසේන – දයාසිරි ගැටුම අධිකරණය ඉදිරියේ ඇත.

දැනට ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස පමණි.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ/කොළඹ) මෑතකදී ප්‍රකාශ කළේ තමන් කිසිසේත්ම වික්‍රමසිංහ – රාජපක්ෂ කණ්ඩායම හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි. දැනට ක්‍රියාත්මක නොවන ජාතික හෙළ උරුමය පක්ෂයේ ප්‍රබලයෙකු වූ රණවක ජනාධිපතිවරණයට තමන්ට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නොවේ. නමුත් වර්තමාන තත්ත්වය තුළ එවැනි අවස්ථාවක් උදාවීමට අවස්ථාවක් තිබේද?

තරගයට ඉදිරිපත් වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ/ගම්පහ) සහ සී. වී. විග්නේස්වරන් (තමිල් මක්කල් තේශීය කුටානි පක්ෂය/යාපනය) වෙති. ද්‍රවිඩ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සූදානම් නම් ද්‍රවිඩ ජනතාව ඔහුට ජන්දය දෙනු ඇති බවට විග්නේස්වරන් මෑතකදී ප්‍රකාශ කළේය. (ද්‍රවිඩ ජනතාව 2015 ජනාධිපතිවරණයේදී එදා ජෙනරාල් සරත් ෆොන්සේකාව උතුරු නැගෙනහිර පළාත් දෙකේම ඉහළින්ම ජයග්‍රහණය ලබා දුන් බව අපට මතකය. ඒ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසරක් යෑමට පෙරය) ඊට අමතරව ව්‍යාපාරික ධම්මික පෙරේරා (පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුව) තමන් ද බලයේ සිටින එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු දේශපාලන ක්‍රියාවලිය අන්තයටම පිරිහීම තුළ රට බංකොලොත් විය. පාර්ලිමේන්තුව මූලික වශයෙන් වගකිවයුතු සහ වගවිය යුතු මූල්‍ය පාලනය මෙන්ම නීති සම්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අසමත් වීම හරහා රට මහත් අවාසනාවන්ත තත්ත්වයකට පත්විය. පසුගිය නොවැම්බර් 14 වන දින රටේ ඉහළම අධිකරණය රට බංකොලොත් වීම සම්බන්ධයෙන් දුන් ඓතිහාසික තීන්දුවද සැලකිල්ලට ගනිමින් දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට සූදානම් වීම විමසා බැලිය යුතුය. බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව මුළු ලෝකයටම ණය කළ අපරාධයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වගකිව යුතුය. වගවිය යුතුය. ජනාධිපතිවරයා නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂය ද (එජාප) රට බංකොලොත් කිරීමේ පාපයට වගකිව යුතුය. යහපාලන ආණ්ඩුව අනුගමනය කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය නිසා රට බංකොලොත් වූ බව මෑතකදී අවධාරණය කළේ පොහොට්ටු පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂය. ඒ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ 2024 අයවැය ඉහළින්ම සම්මත කර දීමෙන් දින කීපයකින් පසුවය. තමන්ගේ ආසනය රැක ගැනීමට නොහැකි වූ එජාප නායකයාව ජනාධිපති ලෙස පොහොට්ටු ජන්දයෙන් ජනාධිපති ලෙස තෝරා පත්කර ගත් හිටපු ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කිරීම අතිශය ප්‍රශ්නකාරීය. එලෙසෙම ව්‍යාකූලය. වර්තමාන දේශපාලන ගමන් කරන මාර්ගය වැරදි බව නැවත නැවතත් පෙන්නුම් කරයි.

බලාපොරොත්තු සහ අභියෝග

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබීම හේතුවෙන් දැනට ඇති දත්තවල හැටියට පසුගිය වසර දෙක තුළ රටේ දිළිඳු පවුල් ප්‍රමාණය දෙගුණයක් වී ඇත. එම සංඛ්‍යාව 13% සිට25% දක්වා වැඩිවී ඇත. එසේ අලුතින් දිළින්දන් බවට පත් වූ පවුල් ප්‍රමාණය පවුල් මිලියන 2.7 පමණ බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති වෛද්‍ය අජිත් අමරසිංහ මෑතකදී පැවසීය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තම තමන්ගේ පරාසය තුළ නිවැරදි රට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග ගැනීම තුළ පමණක් තවදුරටත් තීව්‍ර වෙමින් පවතින ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය කළමනාකරණය කර ගත හැකිය. නමුත් මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද බලය ලබා ගැනීම මතම ක්‍රියාත්මක තරු පහේ ‘ප්‍රජාතන්රවාදය‘ තවදුරටත් රට විනාශ කරන බව පැහැදිලිය. රටේ ඉතිරි සම්පත් ටික විකිණීමෙන් සහ දරා ගත නොහැකි බදු බරක් ජනතාව මත පැටවීමෙන් අර්බුදයෙන් මිදීමට හැකි බව පාර්ලිමේන්තුව වැඩි ජන්දයෙන් තීරණය කරන්නේ ඒ නිසාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාරික වශයෙන් ලැබෙන ණය රටේ ආදායමක් ලෙස පෙන්වා දීම ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුමේ කොටසකි. ජනතාව රවටමින් තමන්ද රවටා ගැනීමකි. ණය ආදායමක් ලෙස සලකනවානම් රටේ ආර්ථික අර්බුදයක් නොමැත. නමුත් කිසිදු ලැජ්ජාවක් නොමැති පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අඩු වැඩි වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දනින් නැමී ලබා ගනු ලබන ණය පවා ජනතාව ඉදිරියේ තොරොම්බල් කරති. භූමියේ නැති තත්ත්වයක් මවා පෑමට කරන උත්සාහය අප්‍රසන්නය. රට බංකොලොත් කිරීමට ඍජුව අඩු වැඩි වශයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂ ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස මෙම ජනාධිපතිවරණයේ දීද කරන්නේ රංගනයක් පමණය. ජවිපෙට ද මෙම අපවාදයෙන් ගැලවීමට නොහැකිය. ඒ 2015 මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමට එම පක්ෂයද ප්‍රබල කාර්යක් කළ නිසාය. යහපාලනය කළ විනාශය අමුතුවෙන් කිව යුතු නැත. ඉවක් බවක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ යහපාලන රජය ණය ගනු ලැබූ බව රහසක් නොවේ. යහපාලන එලෙස කළ බව නැවත ජනතාවට අවධාරණය කළේ යහපාලන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ ආරක්ෂා කරන පොහොට්ටු පක්ෂයයි.

ශ්‍රී ලංකාව නැවත නිවැරදි ආර්ථික මාර්ගයකට ගැනීමට නම් දේශපාලන පක්ෂ අතර සම්මුතියක් විය යුතුය. ඒ ක්‍රියාත්මක කළ යුතු, ක්‍රියාත්මක කළ හැකි ආර්ථික-දේශපාලනික-සමාජීය වැඩපිළිවෙළක් සම්බන්ධයෙනි. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්විය යුතු වුවත් පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සර විය හැකි බව පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත. නමුත් මෙම ලියුම්කරුගේ තක්සේරුව එජාප නායකයා ජනාධිපතිවරණය පළමුවෙන්ම පැවැත්වීමට තීරණය කරනු ඇති බවයි. ජනාධිපතිවරණයෙන් පසුව වහාම පැවැත්වෙන මහමැතිවරණය තමන්ට වඩා වාසිදායක බවට එතුමා තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

නමුත් ජාතික මැතිවරණ ජයග්‍රහණ තුළ රට ගොඩ ගැනීමට නොහැකි බව අවධාරණය කළ යුතුව ඇත. මේ අවස්ථාවේදී අවශ්‍ය ආර්ථික-දේශපාලනික-සමාජීය වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවකි. එසේ නොවන්නේ නම් සිදුවෙමින් පවතින විනාශය නැවැත්විය නොහැක. විනාශකාරී ගමනද නැවත හැරවිය නොහැක. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට 2048 රට දියුණු තත්ත්වයට පත්වීම කෙසේ වෙතත් අතිශය විනාශකාරී මහජන නැගිටීමක් සිදුවිය හැක. වර්තමාන මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 අගෝස්තු මාසයේ 31 වන දින කථානායක මහින්ද යාපා අබයවර්ධන ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පැවැත්වූ රැස්වීමකදී දේශපාලන පක්ෂ තම ක්‍රියාකලාපය වහාම වෙනස් නොකොළහොත් උද්ගත විය හැකි තත්ත්වය පෙන්වා දුන්නේය. දේශපාලන පක්ෂවල බලාපොරොත්තුව බලය ලබා ගැනීමයි. සන්ධානගතවීම එම අපේක්ෂාව සපුරා ගැනීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයයි. බලාපොරොත්තුව බලය ලබා ගැනීම වුවත් රට මුහුණ දෙන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ක්‍රියාකරන්නේ තමන්ට තිබෙන බලය රැක ගැනීමට හෝ බලය ලබා ගැනීමටයි. බංකොලොත් ශ්‍රී ලංකාවේ මෙවර ජාතික මැතිවරණ පැවැත්වීමට සූදානම් වන්නේද මෙවැනි තත්ත්වයක් තුළය.

යහපාලන පාර්ලිමේන්තුව 2017 ජුලි මාසයේ සම්මත කළ විදේශ විනිමය පනත රට බංකොලොත් වීමට හේතු වූ බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතිශය ආන්දෝලානාත්මක ප්‍රකාශය කර වසරක් ගත වීමෙන් පසුවවත් එම නීතිය තව දුරටත් එලෙසෙම ක්‍රියාත්මක කරන රටකට උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට හැකිද? සාර්ථක ලෙස ක්‍රියාත්මක 1953 සිට වූ විදේශ විනිමය පාලන පනත ඉවත් කිරීමෙන් අපනයනකරුවන් මුදල් පිටරට රඳවා ගැනීමට ඉවහල් වූ බව සහ රට තුළට නිකුත් ආකාරයෙන් මුදල් එවීමට ඉඩ ලබා දුන් බවට යහපාලන මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා ඇත. ඒ 2019 අප්‍රේල් මාසයේදී එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේදීය. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ එකෙකුට එම විනාශකාරී පනත වෙනස් කිරීමට අවශ්‍ය වූයේ නැත. භූමියේ සත්‍යය එයයි. හැට නම ලක්ෂයේ ජනාධිපති පත්කළ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට (2019 නොවැම්බර් සිට 2021 ජුනි) හෝ බැසිල් රාජපක්ෂට (2021 ජුනි සිට 2022 මාර්තු) යහපාලන පනත වෙනස් කිරීමට අවශ්‍ය වූයේ නැත. ජනාධිපතිවරයාට සමහර විට එම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවබෝධයක් තිබුණේ නැත. නැතහොත් සීනි බදු වංචාව ක්‍රියාත්මක කළ ආකාරයටම සමස්ත කැබිනට් මණ්ඩලය හසුරවන්නට ඇත.

නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ ආචාර්ය ජනාධිපති නීතිඥ රාජපක්ෂ ද එම පනතට ජන්දය දී ඇති තත්ත්වය තුළ පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරය ජනතාවට තේරුම් ගැනීමට හැකිය. සජබ නායක ප්‍රේමදාස සහ එම පක්ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධානීන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න එදා එජාප මන්ත්‍රීවරුන් ලෙස එම පනතට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ බව අමතක කළ නොහැකිය. එම පනත එදා ඉදිරිපත් කළ යහපාලන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිය. මුදල් අමාත්‍යවරයාද ඔහුමය. ජනාධිපතිවරණයේදී සියලුම පක්ෂ මුහුණ දෙන අතිශය තීරණාත්මක අර්බුදය තේරුම් ගැනීමට විදේශ විනිමය පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකිවී වීමම ප්‍රමාණවත්ය. විදේශ විනිමය පනත රටට අහිතකර බව මහා බැංකු අධිපති කුමාරස්වාමි ප්‍රකාශ කර වසර 5 කට පසුවවත් එම නීති වෙනස් නොකළ පාර්ලිමේන්තුව මත කිසිසේත් විශ්වාසය තැබිය නොහැකිය. මේ කාලය තුළ කථානායක ධුරය හෙබවූ කරු ජයසූරිය (වර්තමාන සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ සභාපති) සහ වර්තමාන කථානායක මහින්ද යාපා මෙම පනත සම්බන්ධයෙන් තම ස්ථාවරය දැන්වත් ජනතා ඉදිරියේ තැබිය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment