අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගෙන් මුදල් පරිත්‍යාගයක්

160

ඉකුත් මැයි මස 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාල මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පෙරේදා (14 දා) සිදු විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අදාළ චෙක්පත ජනාධිපතිවරයාට භාරදෙනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් චෙක්පත අමරකීර්ති අතුකෝරාල මහතාගේ බිරිඳ සහ පුතණුවන් වෙත ප්‍රදානය කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 183 දෙනකු මුදල් පරිත්‍යාග කර තිබේ. මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනකුගෙන් සමන්විත “මාදිවෙල සංවිධානය” විසින් අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් මෙම අරමුදල් එකතු කිරීම ආරම්භ කළ බවත්, ඊට පසුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඊට හිමිවීම සුවිශේෂි කරුණක් බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය කථානායකවරයා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ඝාතනයට ලක්වූ හිටපු මාතර දිසා අමාත්‍යවරයකු වූ කීර්ති අබේවික්‍රම මහතා වෙනුවෙන් ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබාදෙන බවත් ඒ අනුව අතුකෝරාල මන්ත්‍රීවරයාගේ පවුලට ද එම දීමනාව ලබාදිය හැකි බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment