තෙල් පෝලිමේ ලැග වැඩි මිලට බඩු ගෙන දුක වළඳා නින්දට යන මිනිස්සු

325

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළුව භාණ්ඩවල මිල මෑත ඉතිහාසයේ අන් කවරදාකවත් සිදු නොවූ ආකාරයට ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව නොරහසකි. ඉන්ධන, ගෑස් වැනිදේ ද එපරිද්දෙනි. ඒවායේ මිලද ඉහළ යෑම නොනවත්වා සිදුවන අතර මහජනයාට වැඩිමිලට හෝ මිලදී ගැනීමට නොමැතිව වෙළෙඳපොළේ විශාල භාණ්ඩ හිඟයක්ද පවතී. භාණ්ඩවල මිල එලෙස දෙගුණ තෙගුණ වෙමින් මිල ඉහළ නැඟීම මහජනතාවට දැරිය නොහැකි මට්ටම ඉක්මවමින් තිබේ. ආහාර ද්‍රව්‍ය ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යෑම ඇතුළු ගැටලු රාශියකට මේ වනවිට මහජනතාව මුහුණදී සිටිති. මේ දිනවල අඛණ්ඩව මහපාරේ පුපුරා යමින් තිබෙණුයේ දරාගත නොහැකි බඩු මිලට සහ භාණ්ඩ හිඟයටද එරෙහි මහජන කෝපය බව ඉතාමත් පැහැදිලිය.

වෙළෙඳපොළෙහි භාණ්ඩවල මිල අඛණ්ඩව ඉහල යෑම පිළිබඳව විමසා බැලීමේදී සහල්, අල, ලූනු, පරිප්පු, සීනි, කිරිපිටි ආදිය සියල්ලකම මිල දවසින් දවස අසීමිත ලෙස ඉහල යෑම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව තොග වෙළෙඳුන් පවසති. මේ අණ්ඩුව බලයට පැමිණි මුල් අවදිය වනවිට පරිප්පු කිලෝවක මිල පැවැතියේ රුපියල් 80ක් වැනි ඉතා අඩු මිලක බව ඔවුහු කීහ. මේ වනවිට එය රුපියල් 485ක් දක්වා ඉහළ නැඟ තිබේ. අල, ලූනු ආදියෙහිද මිල කිලෝව සිංහල අලුත් අවුරුද්දට පෙර රුපියල් 300 ඉක්මවා තිබුණි. සීනි, කිරිපිටි ආදියෙහි මිලද එබඳුමය. විශේෂයෙන්ම මේ ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම පාහේ පිටරටින් ආනයනය කරන ඒවා වන අතර එහි මිල දවසින් දවස ඉහළ යෑමට බලපා ඇත්තේ ඩොලරයේ අගය ඉහළ යෑම සහ රුපියල දිනෙන් දින කඩාවැටීම බවද ඔවුහු පෙන්වාදෙති. මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව නොව ඊට හාත්පසින් වෙනස් වැඩි මිලක් ඩොලරය වෙනුවෙන් තමන්ට ගෙවීමට සිදුව ඇති බව ඔවුහු කීහ. ඒ වාණිජ බැංකු හෝ ඩොලර් විකිණීම කරන අතරමැදියන් හෙවත් කළුකඩ කාරයන්ටය. බොහෝවිට මේ දිනවල ඩොලරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 400කට හෝ ඊට වඩා වැඩි මිලකට යැයිද කියති. අහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සඳහා මේ අන්දමට වැඩි මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් බවද කීහ. තමන්ට මුහුණපෑමට සිදුව ඇති සැබෑ තත්ත්වය ඇතැම්විට බොහෝ දෙනා නොදන්නා බවද එම වෙළෙඳුන් ප්‍රකාශ කළහ. රාජ්‍ය අංශය සතු ඩොලර් සංචිතය ශක්තිමත්ව පැවැතියේනම් මෙවැනි ප්‍රශ්න පැනනොනඟිනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති. ඩොලර් මිලදී ගැනීමේදී මුහුණපාන්නට සිදුව ඇති මේ අර්බුදය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය පමණක් නොව සබන් කැටයේ දන්තාලේප පැකැට්ටුවේ පටන් කිසිම භාණ්ඩයක මිලෙහි වැඩිවීමක් මිස අඩුවක් සිදු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ඉහළ යෑමට විශාල වශයෙන් බලපා තිබෙන තවත් මූලික කරුණක් වන්නේ ඉන්ධන මිල ඉහළ යෑම බවද ඒ වෙළෙඳුන් පෙන්වා දෙති. ඊට අමතරව මේ දිනවල රටේ පවතින ඉන්ධන හිඟයද තවත් විශේෂ හේතුවක් බව ඔවුහු කියා සිටියහ. ඉන්ධන මිල ඉහළ යෑම නිසා ආහාර ද්‍රව්‍ය පමණක් නොව සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල ඉහළ ගොස් ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

පොලොන්නරුව, අනුරාධපුර වැනි ප්‍රදේශවලින් කොළඹට සහල් තොග ප්‍රවාහනය කිරීමේදී කිලෝවක් සඳහා මේ වනවිට රුපියල් පහක මුදලක් අය කරන බව පිටකොටුවේ තොග වෙළෙඳුන් පැවැසූහ. ඔවුන් කියා සිටියේ මීට පෙර ඒ සඳහා අයකරන ලද්දේ රුපියල් 1.50ක් හෝ රුපියල් 2.00ක් බවය. මේ අනුව සම්බා සහල් කිලෝවක දැනට තොග මිල රුපියල් 210ක් පමණ වන බවද එය පාරිභෝගිකයා අතට පත්වනවිට රුපියල් 230ක පමණ සිල්ලර මිලක් නියම වනු ඇති බවද කියා සිටිති. නාඩු සහල් සහ සුදු කැකුළු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 200ක් වන අතර සිල්ලරට විකිණීමේදී රුපියල් 220ක පමණ මිලකට අලෙවි වනු ඇති බවද කීහ. මේ අන්දමට සෑම භාණ්ඩයක් සඳහාම ප්‍රවාහන වියදම දෙතුන් ගුණයකින් ඉහළ යෑම එම භාණ්ඩයේ මිල තීරණය වීමට සෘජුවම බලපාන බවද ඔවුහු පැවැසූහ.

තෙල් පෝලිමේ ලැග වැඩි මිලට බඩු ගෙන දුක වළඳා නින්දට යන මිනිස්සු

මේ අතර තිරිඟුපිටි මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම මේ රටේ ජනතාවට ඉතා තදින් දැනෙන කාරණයක්වී තිබේ. වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 240ක් රුපියල් 250ක් පමණ යැයි පාරිභෝගික ජනතාව කියති. තිරිඟු පිටි මිල ඉහළ යෑම රටේ අන් ප්‍රදේශවල ජනයාට වඩා ඉතා තදින් දැනෙනුයේ වතුකරයේ ජීවත්වන කම්කරු ජනතාවටය. ඔවුන් බොහෝ දෙනා දිනකට වේල් දෙකක් පමණ කුසගිනි නිවාගන්නට භාවිත කරනුයේ රොටී වැනි පාන්පිටි ආශ්‍රිත ආහාර බව අපි දනිමු. තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන් පාන් ගෙඩියේ පටන් තිරිඟු පිටි ආශ්‍රිත කෑම වර්ග ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලකම මිල යළිත් වතාවක් ඉහළ දමා ඇත. ඒ අනුව පාන් ගෙඩියක් රුපියල් 20කින් සහ අනෙකුත් කෑම වර්ග රුපියල් 10කින්ද ඉහළ ගිය බව බේකරි හිමියෝ කියති. පාන් ගෙඩියක මිල රුපියල් 130 සිට රුපියල් 150 දක්වා වැඩිවී තිබේ. රොටී, කොත්තු රොටී ඇතුළු සෙසු කෑම වර්ග සියල්ලකම මිලද ඊට සාපේක්ෂව වැඩිවී ඇත.

සිංහල අලුත් අවුරුද්දට පෙර බිස්කට් මිලද සියයට 30කින් 40කින් පමණ මිල වැඩිවූ බව වෙළෙඳුන් පැවැසූහ. ටින්වල අසුරන ලද බිස්කට් වර්ග අඩුම මිලකට පැවැතියේ රුපියල් 350කටය. එය රුපියල් 500 දක්වා එක්වර ඉහළ ගොස් තිබේ. බොහෝ අම්මලා පොඩි එකා හඬන විට නලවාගන්නට රුපියල් 15ක් 20ක් වැනි මිලකට කුඩා බිස්කට් පැකැට්ටුවක් මිලදී ගෙන අතට දෙන සිරිතක් මෑතක් වනතෙක් පැවැති නමුත් දැන් ඒ මිලට තබා ඒ අහලකවත් මිලට බිස්කට් ගන්නට කඩවල නොමැත. මේ අනුව බලන කල අඩුවට කියා මිලදී ගන්නට බිස්කට් වර්ගද කිසිවක් නැති බව පැහැදිලිය. බිස්කට් පරිභෝජනයේ වැඩි දෙනා සමාජයේ ඉහළ පන්තියේ පිරිස් නොව මෙරට සාමාන්‍ය ජනතාවය. මේ අන්දමට බිස්කට් මිල පවා දැරිය නොහැකි අන්දමට මිල ඉහළ දැමීම තුළ බඩට වදින්නේ දුප්පතාටම බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප මේ සඳහන් කළේ තිරිඟු පිටි මිල වැඩිවීමට පැවැති මිල තොරතුරු වන අතර හෙට අනිද්දාම බිස්කට් මිලද යළිත් වරක් වැඩිවනවාට කිසිදු සැකයක් නැතැයි බොහෝ වෙළෙඳුන් අප සමඟ කියා සිටියහ.

මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ ඇතැම් එළවළු වර්ගවල මිල වෙනදා තරම් ඉහළ නොගිය බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත මෙවර එළවළු තොග රැගෙන යෑමට පිට පළාත්වලින් ලොරි රථ නොපැමිණීම නිසා එහි එළවළු ගොඩගැසී තිබූ බව තොග වෙළෙඳුන් ප්‍රකාශ කළහ. එම නිසා එළවළු මිල විශාල වශයෙන් පහළ බැස තිබූ බවද දැනගන්නට ලැබිණි. උඩරට පහත රට එළවළු වර්ග බොහොමයක පාහේ මිල අවුරුදු සමයේ පහළ යෑමට රටේ පවතින ඉන්ධන හිඟය විශාල වශයෙන් බලපෑ බව දැනගන්නට ඇත. මේ අන්දමට එළවළු නිෂ්පාදනය කරන බොහෝ ප්‍රදේශවල ගොවීන්ට තම නිෂ්පාදන පිට පළාත්වලට ප්‍රවාහනය කරගැනීමට නොහැකිවී ඇත්තේ එළවළු වෙළෙඳුන්ද ඉන්ධන හිඟයට මුහුණදුන් නිසා බව කියති. මේ හේතුවෙන් මෙවර අවුරුදු සමයේ ගොවීන්ට එළවළු අස්වනුවලට නිසි මිලක් ලබාගැනීමට නොහැකිවූ බව කියති.

ඉන්ධන මිල යළිත් වතාවක් ඉහළ දැමීම තුළද මහජනතාව පත්ව ඇත්තේ ඉතාමත් අන්ත අසරණ භාවයකටය. ඉන්ධන මිල ඉහළ දැමීම සහ නිමා නොවන ඉන්ධන හිඟය නිසා ජනජීවිත එහෙම පිටින්ම අවුල්වී කඩාවැටී තිබේ. එය වී වගාව බහුලව සිදුකරන ඇතුළු කෘෂිකාර්මික ප්‍රදේශවලට බරපතළ ලෙස බලපා ඇතැයි ගොවි ජනතාව කියති. ඉන්ධන හිඟය මෙරට සංචාරක කර්මාන්තයටද සිදුකළේ සුළුපටු හානියක් නොවේ. එහි සේවා සපයන්නන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් සහ කොරෝනා වසංගතයෙන් පසුව ක්‍රමයෙන් ගොඩනැඟී සංචාරක ව්‍යාපාරය විදුලිය කප්පාදුව සහ ඉන්ධන ප්‍රශ්නය නිසා එහෙම පිටින් බිඳවැටුණු බවය. මේ අතර ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ මගී ප්‍රවාහන බස් ගාස්තුවේ පටන් සෑම ප්‍රවාහන වියදමක්ම දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. එය මහජනතාවට ඉතාමත් තදින් දැනෙන කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමාජයේ ඉහළ, මැද සහ පහළ පන්තිවල සියලුම ජන කොටස්වලට මෙය වඩාත් ප්‍රබල ලෙස දැනී තිබන ආකාරය ඉන්ධන මිලදී ගන්නට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝළිම් ගැසී සිටිනු සුලබ දසුන්වලින් මනාව පැහැදිලි වනු ඇත. එමෙන්ම රජය පිට පිට දෙතුන් වතාවක් මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සිදුකරන ලද්දේ සොච්චම් මුදලකින් නොවන බවද අපි දනිමු. දරාගත නොහැකි ලෙස මිල වැඩිවීම මහජනයාගේ කෝපය තව තවත් ඉහළ නැංවීමට නැතහොත් එය දෙගුණ තෙගුණ කරවීමට හේතුවී තිබේ. මේ වනවිට කිසිසේත්ම දැරිය නොහැකි මේ ඉන්ධන මිල නිසා නැඟෙන මහජන විරෝධය සුළුපටු නොවන බව දෑස් අබිමුව පෙනෙන්නට තිබේ. ඒ බව රටතොට සෑම දෙසකම පාහේ මේ දිනවල මහ මඟ දක්නට තිබෙන මහජන විරෝධයන්ගෙන් මනාව තහවුරු වෙයි. ඉන්ධන මිල යළිත් වතාවක් ඉහළ දැමීමට එරෙහිව කෝපාවිෂ්ඨව මේ දිනවල වීදිබැස සිටින ජනයාගේ වේදනාකාරී හඬ එකම විලාපයක් ලෙසින් ගිගුම් දෙමින් ඇසේ. ඒ හඬට කන්දෙන්නට ආණ්ඩුවට නොහැකිවී ඇති අන්දමද මහමඟ කෙරෙනා අරගල තුළ මනාව පිළිඹිඹු වන්නකි. මෙලෙස මහමඟට පිවිස සිටින ප්‍රකෝපවූ ජනයා තැන තැන සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවද වාර්තා වෙමින් තිබේ. පසුගියදා රඹුක්කන නගරයේදී එහි උච්ඡ අවස්ථාවක් නිමාවට පත්වූයේ පොලිස් වෙඩි පහරකින් එක් පුද්ගලයකු ජීවිතක්‍ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතවීමෙනි.

තෙල් පෝලිමේ ලැග වැඩි මිලට බඩු ගෙන දුක වළඳා නින්දට යන මිනිස්සු

කෙසේ වුවද රට මේ අන්දමේ ආර්ථික අගාධයකට ඇදවැටීමේ වරද මහජනයා පිට පැටවීමට කිසිසේත්ම නොහැකිය. එය මේ රටේ පාලකයන්ගේ වරදින් සිදුවූ බව අවිවාදිත කාරණයෙකි. එහෙත් ඊට වන්දි ගෙවමින් සිටින පිරිසේ ඉදිරියෙන්ම සිටිනුයේ සාමාන්‍ය ජනතාව වීම කාහට වුවද දොම්නස දනවන්නකි. අන් කිසිවක් තබා දවසේ කාර්යන් පසෙකලා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නට, කිරිපිටි පැකැට්ටුවක් මිලදී ගන්නට පෝළිම්වලට සේන්දු වීමට අනිවාර්යයෙන්ම සිදුව ඇත්තේ ඊට කදිම නිදසුන් සපයමිනි.

මේ දුක්මුසු තත්ත්වයට හේතුව ජාතික ධනය කාබාසිනියා කරමින් කිසිදු විනයක්, හික්මීමක් නොමැතිව ගෙනගිය නොමනා පාලනය බවට මහජනතාව වෙතින් දැඩිව චෝදනා එල්ල වෙමින් තිබේ. රජය අනුගමනය කළ ඇතැම් වැරදි ආර්ථික පිළිවෙත් නිසා එහි අනිටු ප්‍රතිවිපාක කටුක ලෙස අත්විඳින්නට සිදුව ඇත්තේ රටේ මහජනතාවටය. කොටින්ම කියතොත් ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමේ වරදට උපන් නූපන් සියලු දෙනාටම වන්දි ගෙවීමට සිදුව තිබේ.

රටට බත සපයන ගොවි ජනතාව ප්‍රමුඛව කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවි ජනතාව එක රැයින් කාබනික ගොවිතැනට මාරුකරවන්නට ආණ්ඩුව සැරසුණු මොහොතේම මේ රටේ ගොවි ජනතාව ඊට රතු එළි දල්වා දිශානතිය වෙනස් කරන ලෙසට සංඥා කළ අයුරු අපගේ මතකයට නැඟේ. එහෙත් ඒවා තුට්ටුවකටවත් මායිම් නොකර උද්දච්ඡ තීරණම ක්‍රියාත්මක කරන්නට යෑම මේ අර්බුදයේ මූලාරම්භය බව මේ රටේ ලොකු කුඩා සැවොම දන්නා කරුණෙකි. එදා ඒ ගොවි හඬට කන්දෙන්නට තරම් නිහතමානී වන්නට ආණ්ඩුවට නොහැකි වීමේ ප්‍රතිවිපාකය දැන් ඇස්පනාපිටම අත්විඳින්නට සිදුව තිබේ. ගොවි ජනතාව ප්‍රමුඛ මහජනයාගේ කරපිටින් බලයට පැමිණි කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල මැති ඇමැතිවරු පවා ඒ අවස්ථාවේ රසායනික පොහොර කප්පාදුවට එරෙහිව කටක් අරින්නට පවා බියවූ බව ප්‍රකටය. ඒ වනවිටත් රටේ ඩොලර් සංචිතය පහළ යෑමේ අර්බුදයකට මුහුණපා තිබියදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර රටින් ගෙන්වා ගොවීන්ට නිකුත් කිරීමට රජය අත්තනෝමතික ලෙස පියවර ගත්තේය. තම හුරුපුරුදු ගොවිතැන අවුල් ජාලයක් කිරීම සම්බන්‍ධයෙන් ගොවිජනතාව තුළ අදටද ඇත්තේ බලවත් කෝපයක් හා විරෝධයෙකි. මේ රටේ ගොවි ජනතාව නිදහසේ කරගෙන ආ ගොවිතැන කඩා සුණු විසුණුකර ගොවියා කබලෙන් ලිපට ඇද දැමීමේ ප්‍රතිවිපාකය වැඩිකල් නොගොස්ම අත්විඳින්නට පාලකයන්ට සිදුව තිබීම එක්තරා අන්දමක දෛවෝපගත කාරණයක් යැයි ගොවි ජනතාව කියා සිටිති. ඔවුන් හඳුන්වන්නේ ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩිමුරය පත්තුවීම ආරම්භ වූයේ රටපුරා විසිරී සිටින ගොවි ජනතාව වෙතින් ඒ මොහොතේ පටන් බවය.

පසුගියදා නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමෙන් පසුව ඒ සාමාජිකයන් අමතා කළ කථාවේදී ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම් කිරීම තමන් අතින් සිදුවූ වරදක් ලෙස ප්‍රකාශකර තිබුණි. අශ්වයා ගිය පසුව ඉස්තාලයේ දොර වැසීම වැනි ඒ ප්‍රකාශය දැන් කිරීමෙන් කිසිදු පලක් නැතැයි ගොවීහු කියති. එමෙන්ම ඉදිරි කන්නයේ පටන් හෝ ගොවීන්ට රසායනික පොහොර ලබා දෙන්නනේ දැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවක්ද අසන්නට නොලැබුණි. තමන් අතින් වූ වරද මෙයට මාස තුනකට හතරකට පෙරාතුව නිවැරදි කරගන්නට ජනාධිපතිවරයා සමත්වූයේ නම් රටේ දැන් පැන නැඟී මේ වනවිට ඔඩුදුවා තිබෙන අර්බුද බොහොමයක් ඇති නොවන්නට ඉඩතිබූ බව ආර්ථික විශේෂඥයන්ගේද මතයවී තිබේ. එක්වරම රසායනික පොහොර තහනම්කර ගොවි ජනතාව එක රැයින් කාබනික වගාවකට යොමු කරන්නට තමන් ගත් තීරණය වැරදි බව ජනාධිපතිවරයා තේරුම් ගන්නා විට ප්‍රමාදවී වැඩිවා පමණක් නොව රටට අහිතකර බොහෝ දේ සිදුවීද හමාරය. එහෙයින් ඒ සඳහා තමන්ට උපදෙස් දුන් අමනෝඥ කේවට්ටයන් බැහැරකර නිවැරදි පාලනයකට මඟපෙන්වන යහපත් පිරිසකගේ අවශ්‍යතාව ජනධිපතිවරයා දැන්වත් තේරුම් ගත යුතුය.

මහජනතාවට ඉසිලිය නොහැකි අන්දමේ ජීවන බර පටවන්නට සිදුවවීමේ ප්‍රතිවිපාක පිළිබඳව ආපසු හැරී බලන්නට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ද දැන් උත්සුක වන බවක් පෙනෙන්නට තිබේ. පාලන මිල ඉවත් කිරීම මෝඩ තීරණයක් බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඊට කදිම නිදසුනකි. පාලන මිල ඉවත් කිරීම නිසා සහල් මාෆියාවක් ඇතිවූ බවද හෙතෙම සඳහන් කර ඇත. ඔහුම පවසන ආකාරයට එය මෝඩ තීරණයක් නම් ආණ්ඩුව ඒ මෝඩ තීරණ ගන්නා අවස්ථාවේදී ඔහු එයට විරුද්ධවූ බවක් හෝ මේ වනතෙක් අපට අසන්නට ලැබුණේ නැත. සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කර මහා පරිමාණ සහල් මොල් හිමියන්ට සහල් මිල තීන්දු කිරීමට අවස්ථාව ලබාදීම සහල් මාෆියාවක් රටේ ඇතිවීමට පාර කැපීමක් බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගම් ඇතුළු බොහෝ විෂය දැනුමැතියන් අවස්ථා ගණනාවකදී පෙන්වාදී තිබුණි. එහෙත් ආණ්ඩුව මේ වනතෙක් ඊට කිසිදු ඇහුම්කන්දීමක් නොකිරීම තුළ පැහැදිලිවන කාරණය වන්නේ වගකිවයුත්තන්ද මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ඇකයේ නැළැවෙන සුරතළුන් බවට පත්වී සිටින බවය. සහල් මාෆියාවක් රට තුළ නිර්මාණය වන්නට ආණ්ඩුව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට අවැසි යටිතල පහසුකම් සලසා දීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සියල්ලක්ම වාගේ වැසී ගියේය. ඒ හේතුවෙන් වෙළෙඳපොළේ සහල් ඒකාධිකාරියක් බිහිවූ අතර එතැන් පටන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සිතැඟි පරිදි සහල් මිලද ඉහළ දැමීය. ඒ අධික මිලට සහල් මිලදී ගනිමින් වන්දි ගෙවීමට සිදුවූයේ මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත පාරිභෝගික ජනතාවටය. පසුව වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීමට බව කියමින් පිටරටින් සහල් ගෙන්වීමටද රජය පියවර ගත් අතර එහි වාසියද අත්වූයේ පාරිභෝගිකයාට නොව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ටමය. එදා අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිලත් මේ බිමේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත වෙනුවෙන් අද වනවිට දැරිය නොහැකි මිලක් ගෙවන්නට සිදුව ඇත්තේ මෙම අදූරදර්ශී ක්‍රියාපිලිවෙත් නිසා මිසක අන් හේතුවකින් නොවන බව ඉතා පැහැදිලිය. රට පුරා බුර බුරා නැඟෙන පීඩිත ජනහඬ තුළ ඉස්මතුවන්නේ තවදුරටත් දරාගත නොහැකි ජීවන බර පිළිබඳ දෝංකාරය බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙයින් ඊට නිසි පිලියම් යෙදීම හැර අන් විසඳුමක් නොමැති බවද පෙන්වාදිය යුතුය.

● කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment