අම්මයි තාත්තයි එක්ක මුලින්ම සිරිපා කරනකොට මට වයස අවුරුදු දහතුනයි…

ඒ කාලේ සිරිපාද පාරේ ලයිට් තිබුණේ නෑ..

මම කළේ නගින අයට පන්දම් අල්ලපු එක…

තරුණ කාලෙ සමහර දවසට දහවතාවක් විතර කන්දට යනවා.. එනවා.. තරුණ ජවයට කරන්න බැරි දෙයක් නෑ..

අනුන්ගේ බර කර තියාගෙන යන්නේ මගේ ජීවන බර අඩු කරගන්න…

“බරක් අරන් කන්දෙ ගියා…” යන වැකිය ශ්‍රී පාදය නල්ලතන්නිය ප්‍රදේශවල ජීවත්වන මිනිසුන්ට නුහුරු වචන පෙළක් නොවේ. ශ්‍රී පාදය කරුණා කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ බැතිමතුන්ගේ බර මලු කරතියාන හෝ හිස මත තබාගෙන යන්නට හුරු වූ ශක්තිවන්ත මිනිසුන් කණ්ඩායමක් නල්ලතන්නියේ සිටිති. ඒ අතරින් නාගරාජා සුවිශේෂීය. වයස අවුරුදු හැට නවයක් වන ඔහු මේ වන විට දොළොස් දහස් වතාවකට ආසන්න වාර ගණනක් සිරිපා කන්ද කරුණා කර ඇති බැවිනි.

ශ්‍රී පාද වන්දනාවේ වරක් නොගියත්, වරකට වැඩිය ගියත් මෝඩයකු යැයි කියමනක් තිබේ.

ඒ ලෙසට කියන්නේ ගමන ඒ තරම්ම දුෂ්කර නිසාය. ඇළ දොළ ගංගා පසු කරමින් වන දුර්ග ගිරි දුර්ග පසුකරමින් හිරිගඩු පිපෙන සීතලේ කිලෝමීටර හය හමාරකට වැඩි දුරක් ඉහළ කන්දකට නැගීම දුෂ්කර කාර්යයක් ය. අතීතයේ නම් මේ දුෂ්කර බව අත්විඳින්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී සනිටුහන් කොට තබා ගිය සලකුණ නරඹන්නටත් වන්දනාමාන කිරීමටත් බැති සිතිණි. දැන් දැන් බොහෝ දෙනා සිරිපා කරුණා කරන්නේ එහි දුෂ්කර බවේ අත්දැකීම ලබන්නටය.

එසේ යන මිනිසුන් අතරේ හමුවූ අපූරු මිනිසා වන නාගරාජා අද බොහෝ දෙනා හඳුනන්නේ රාජා කියාය. සිරිපා කරුණාව කොතරම් දුෂ්කර වුවත් ඔහු වයස අවුරුදු දහතුනේ සිට මේ දක්වා ම දොළොස් දහස් වතාවක් සිරිපා කන්ද කරුණා කොට ඇති බව ඇසුවහොත් ඔබ පුදුම වනු ඇත. ඔහු එසේ සිරිපා කරුණා කරන්නේ මෝඩකමට නොවේ. ඔහුගේ කාය ශක්තියේ බලයෙන් මුදල් ඉපයීමේ මාර්ගයක් වෙනුවෙන්ය.

නගින්නටත් මහ වෙහෙසක් ගතයුතු ශ්‍රී පාද කන්ද මහ බරක් කරට ගෙන නගින්ට සිතීම පවා දුෂ්කරය. නාගරාජා අදටත් මේ කන්ද නගින්නේය. ඒත් තමන්ගේ අතට මුදල් ඕනෑ නිසාය.

“මම මුල්කාලේ මළුවට බරක් අරන් ආවේ රුපියල් 3.00කට. වාරේ අවාරේ කියලා නැහැ. අපි බර උස්සනවා. බරක් උස්සන්න ඕන කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ මාව. බර උස්සන අය පනහක් හැටක් මෙහේ හිටියත් මම තමයි පරණම කෙනා. ඒ නිසා මට කවුරුක් කතා කරනවා.

සිරිපා වන්දනා වාරය ඇරඹෙන්නේ සෑම වසරකම උඳුවප් පුන් පොහෝ දිනයෙනි. පුරා හය මසක් පැවැත්වෙන වන්දනා වාරය වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමා වෙයි. ඉතිරි කාලය හඳුන්වන්නේ අවාරය ලෙසිනි. අධික ශීත හා වැසි පවතින හෙයින් මෙම කාලයේ සිරිපා කරුණා කිරීම අතිශයින් දුෂ්කරය. මෙම කාල දෙකේදීම නාගරාජා සිරිපා නගියි. ඒ පිළිබඳව ඔහු කියා සිටින්නේ මෙලෙසය.

“ පිටරටවල ඉඳලා ගොඩක් අය අවාරේ සිරිපා වඳින්න එනවා. ඒ අය ශීතල හා වැස්ස ගණන් ගන්නේ නැහැ. ඒ අයට මඟ පෙන්වන්න මම රෑට එයාලත් එක්ක ශ්‍රීපාදේ යනවා. ටෝච් එක අල්ලලා පාර පෙන්නනවා. මොකද ඒ කාලේ ලයිට් නැහැ. එහෙම ගමනක් ගියොත් සුදු නෝනලා මහත්තුරු රුපියල් 3000.00 ක් විතර දෙනවා…” නාගරාජා පවසයි.

සිරිපා කරුණා කිරීම සඳහා මළුව වෙත ළඟා වීමට මාර්ග තුනක් තිබේ. කුරුවිට එරත්තන මාර්ගය, රත්නපුර පළාබද්දල මාර්ගය හා හැටන් නල්ලතන්නිය යන මේ කොයි මාර්ගයත් දුෂ්කර වී ඇත්තේ මළුව වෙත ළඟා වීමට ඇති කිලෝමීටර හය හතක් පාගමනින්ම ගෙවා දැමීමට සිදුවන බැවිනි. හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරීමේදී මකර තොරණ, සාම චෛත්‍යය, ගඟුල තැන්න, සිත ගඟුල, තැන්න, ඉදිකටුපාන, ගෙත්තම්පාන හා මහගිරි දඹ පසුකළ යුතුය. කිලෝ මීටර හයක මෙම දුර පසුකිරීමේදී නැඟිය යුතු පඩිපේලි ගණන පන්දහස් නවසිය අසූ පහකි.

වසර පනස් පහක් තිස්සේ සිරිපා නගින්නේය. ජීවින බර බිමින් තියන්නට මහ බරක් කරට ගෙන හැටනව හැවිරිදි නාග රාජා මහගිරි දඹ නගින්නේ තම දරු පවුල් නඩත්තු කරන්නටය. වාරය අවාරය කිසිවක් රාජාට වලංගු නැත. හිස මත හෝ කර මත තබාගෙන යා හැකි තරම් බරක් ලැබෙන්නේ නම් ජීවත් වීමට ඔහුට වෙලාවක් අවේලාවක් නැත.

ශ්‍රී පාද කන්ද තරණය කරන අතරවාරයේ මා සිරිපා මඟ රැදී සිටියදී, ගෝනියක් කරමත හොවාගෙන පහළට බසිමින් සිටි රජා කතාවට ඈඳා ගත්තේ බරමලු උඩට ගෙන යා හැකිදැයි විමසමිනි. එවිට ඔහු “මම පහළට එනකම් තව කණ්ඩායමක් බලාගෙන ඉන්නවා ඒ බර උඩට ගිහින් තියලා ඇවිත් ගෙනියන්න පුළුවන්, වෙලාව ගැටලුවක් නෙවෙයි නම්…” කීය.

ඒ වන විට පස්වරු එක පමණ බැවින් මා පෙරළා ඇසූයේ පහළට එන්න හය විතර වෙයි නේද…? කියාය.

අනුන්ගේ බර කතතියාන දොළොස් දහස් වතාවක් සිරිපා කරුණා කළ නාගරාජා…

“අපෝ එච්චර වෙලා යන්නේ නෑ. තුන වෙනකොට මම ආපහු පහළට එනවා බඩු ටික මං පෙන්නන තැනින් තියලා හෙමිහිට උඩට නඟින්න… මං ඒ අතරතුර බඩු ටික උඩට ගිහින් තියන්නම්…..” ඔහු ස්ථිර අධිෂ්ඨානයෙන් සහ විශ්වාසයෙන් ප්‍රකාශ කළේය. ඒ රාජාගේ හැටිය. ඇතැම් දිනවල ඔහු වරක් දෙවරක් නොව තෙවරක් සිව්වරක් වුවද කඳු මුදුනට නැග ආපසු බසි යි.

මම දැන් අවුරුදු පනස් පහක් බර උස්සනවා. අවුරුදු 13 දී මම අම්මයි තාත්තයි එක්ක බර අදින්න ආවා. ඒ කාලේ මේවගේ පාරවල් නැහැ. හරිම කළුවරයි. ඉස්සර සිරිපාදේ වඳින්න එන අයට අපි ලාම්පුතෙල් පන්දම් හදලා දෙනවා. උණ බට කපලා ඒකට පාන්කඩ ඔබලා පන්දම හදනවා. එකක් ඒ කාලේ ශත පහයි, දහයයි. වන්දනා කාලෙට හොඳ ගාණක් පන්දම් වලින් හොයා ගන්න පුළුවන්. ලයිට් ආවට පස්සේ ඒ බිස්නස් එක කරන්න බැහැ. දැන් මෙහෙ හරි දියුණුයි හැම තැනම ලයිට් තියෙනවා එළියයි ඉස්සර වගේ නෙවෙයි. නාගරාජා කියා සිටි යි.

“නල්ලතන්නියේ ඉඳලා රතු අම්බලමට කිලෝ මීටර තුනහමාරක් තියෙන්නේ. කිලෝ පනහක් ගෙනියන්න රුපියල් 1000.00ක් ගන්නවා. බරක් අරන් මහගිරි දඹ නගින්න අමාරුයි. රත්නපුර පැත්තෙන් කිලෝ පනහක බරක් අරන් මළුවට එන්න රුපියල් 1500.00ක් ගන්නවා. ඒ පැත්ත පාර ටිකක් අමාරුයි. මේ පැත්තෙන් ගියොත් ගන්නේ 1200.00යි. ඉස්සර වත්තෙත් වැඩ කරන ගමන් බර ගෙනාවේ. දැන් වත්තේ වැඩට යන්නේ නැහැ. උදේ 7.00ට විතර වැඩට ඇවිත් පැය දෙක තුනෙන් රුපියල් 1000.00ක් හොයා ගන්න පුළුවන්…” ඔහු කියයි.

නාගරාජා පවසන පරිදි ඔහු සෑම වසරකම අවාරේ, වාරේ නොතකා අඩුම තරමින් 200 වතාවක්වත් ශ්‍රී පාද කන්ද තරණය කරයි. ඒ අනුව ගතවූ වසර 55 තුළ ඔහු එකොළොස් දහස් වතාවක් පමණ සිරිපා කන්ද නැඟ තිබේ. ඒ තනිව නොව තවත් බරක් සමඟය. ඒ බර වැඩිවන තරමට තම ජීවන බර සැහැල්ලු වන බව රජා පවසයි.

“ශ්‍රීපාද වන්දනා කාලය ආවාම කඩවලට බඩු අරන් එනවා. හැමදාම වැඩ තියෙනවා. සමහර වයසක අයත් ලෙඩවුණු අයත් එනවා ශ්‍රී පාදේ වඳින්න. ඒ අය අපි හතර දෙනෙක් එකතුවෙලා පුටුවක තියලා උඩටම උස්සගෙන යනවා. එක්කෙනෙකුට රුපියල් 2500.00 ක් 3000.00 ක් විතර ඒකෙන් ලැබෙනවා. නඟින්න බැරි කෙනෙක් උඩට උස්සගෙන ගිහින් ශ්‍රී පාදේ වඳින්න අවස්ථාව ලබා දුන්නම එයාලා අපිට පින් දෙනවා. එතකොට ඇත්තටම අපේ ඇස්වලටත් කඳුළු එනවා. දන්සල් දෙන අය අවාම එයාලගේ බරත් අපි ගෙනියනවා. ඇත්තටම සමන් දෙවි හාමුදුරුවෝ අපිව බඩ ගින්නේ තියන්නේ නැහැ. හැමදාම වැඩ තියෙනවා. වන්දනා කාලෙට මළුවේ ඉඳන් සතියකට දෙපාරක් සිල්ලර කාසි මලු නල්ලතන්නිය පොලිසිය ළඟට ගේනවා. ඒවගේ කීයක් තියෙනවද දන්නේ නැහැ. අපි කිලෝ 50 ක් පහළට ගේන්න රුපියල් 1000. 00 ක් ගන්නවා. හැට ගණන්වල මම මේ බර ගෙනාවේ රුපියල් 2.50ට. බරක් උඩට ගේනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ලොකු වගකීමක්. ඇතුළේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. පරිස්සම් කරලා කියන තැනට ගෙනිහින් දෙන්න ඕන. මේ රස්සාවේ වැඩ තියෙන්නේ විශ්වාසය උඩයි. මම අවුරුදු පනහක් තිස්සේ ඒ විශ්වාසය රැක්කා. දැන් අලුත් අය මේකට ඇවිල්ලා.”

රාජා මෙන් තවත් පිරිසක් මේ කාර්යයෙහි යෙදී සිටිනු දක්නට ලැබිණි. ඒ සියලු දෙනාටම වෙලාවක් කලාවක් තැනක් නොතැනක් නැත. සිරිපා තරණය කරන ඕනෑම අයෙකුට සහාය වීමට මේ සියල්ලෝම සැදී පැහැදී සිටිති.

“මේ කොල්ලෝ දවසකට කිලෝ 100ක් විතර උස්සනවා. මමත් හයිය තියෙන කාලේ හොඳට බර ඉස්සුවා. දැන් වයසත් එක්ක මට අමාරුයි. කිලෝ පනහ උස්සන්නෙත් දෙපාරකට. තරුණ ළමයින්ට හොඳ ජවයක් තියෙනවා ඒ අය වැඩේ හොඳට කරගෙන යනවා” රාජා එම පිරිස පෙන්වමින් කීය.

දියණියන් තිදෙනකුගේ හා පුතුන් තිදෙනකුගේ පියෙකු වන නාගරාජා ගේ පදිංචිය නල්ලතන්නියේය. ශ්‍රී පාදය සමඟම ගෙවුණු අඩසිය වසක කාලය තුළ ඔහු එදා හා අද වෙනස හොඳින් අත්විඳ ඇත්තේය. එම මතකය ඔහු මෙසේ විස්තර කළේය. “…ඉස්සර පාරවල් හරිම අමාරුයි. මිනිස්සු ශ්‍රී පාදේ වඳින්න ඇවිත් තිබෙන්නේ දේපළ එහෙමත් දරුවන්ට ලියලයි. මස්කෙළිය පරණ පාරේ පයින් සෑහෙන දුරක් නල්ලතන්නියට එන්න ඕන. හැමෝම එන්නේ සුදු ඇඳුම් ඇඳලා හරිම භක්තියෙන්. බුදුගුණ තමයි කිය කිය උඩට නගින්නේ. විහිළු කර කර හිනා වෙවී අසභ්‍ය දේ කිය කිය දැන් වගේ ඒ කාලේ ශ්‍රී පාදේ නැග්ගේ නැහැ. ඉස්සර මිනිස්සු මේ ගමන ආවේ මස් මාළු නොකා පේවෙලා. ගොඩක් තරුණයෝ දැන් එන්නේ හොදටම බීලා. පොලිසිය ඒ අයට යන්න දෙන්නේ නැහැ. හැමදේම යන්නේ අවරට…”

රාජා දිනකට බරක් ගෙන අඩුම තරමින් කිලෝ මීටර 10ක් වත් ගමන් ගනියි. ඒ අනුව වසරකට ඔහු යන දුර කිලෝ මීටර 3650 කි. වසර 55 න් එය වැඩි කළ විට කිලෝ මීටර දෙලක්ෂකට අධිකය. “බරක් අරන් උඩට නඟිනකොට අපි තුන් හතර පොළක නවතිනවා. පඩිපේලි නගින්නේ සිග් සැග් ක්‍රමේට. එතකොට බර ගෙනියන්න ලේසියි. මොනවා කළත් රෑට කෙන්ඩ නම් පෙරළෙනවා මහත්තයෝ…” කියමින් රාජා නහර ගැට ගැසී ඇති කෙන්ඩා පෙන්වූයේ ය.

නමුත් ඔහුගේ සිතේ ශක්තිය අඩු නැත. මගේ ජීවිතේ ජීවත් කළේ මේ සිරිපා අඩවියයි.
ඔහු සිරිපා කන්ද දෙස බලා සුසුම් හෙළීය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment