නැනෝ ප්ලාස්ටික්, මයික්‍රොප්ලාස්ටික් දත් විළිස්සාගත් මාරයා මෙන් අහස, පොළොව, සයුර අරක් ගනිමින් පවතින්නේ උපන් සත්ත්වයා පමණක් නොව උපදින්නට සිටින සත්ත්වයා ද පිළිකා වැනි මාරාන්තික ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරමිනි. මිනිසුන්ට ඇති වන සමහර ලෙඩ රෝග තවමත් වෛද්‍ය විශේෂඥයන්ට මෙන්ම විද්‍යාඥයන්ට ද ප්‍රහේළිකාවකි. එය පුදුමයක් නොවන්නේ අපට කිසිදු අයුරකින් මේ වස විසෙන් ගැළවීමක් නොමැති නිසා සිතා ගැනීමටවත් නො හැකි අද්භූත රෝග වැළඳීම අරුමයක් නොවන බැවිනි. නැනෝ, මයික්‍රොප්ලාස්ටික් වාගේම බැර ලෝහ ද මේ තත්ත්වයට වගකිව යුතු බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පයිප්ප වතුරේ එළවළුවල, ඩාර්ක් චොකලට්වල වාගේම මසුන්ගේ සිරුරේ ද බැර ලෝහ පවතියි. මේ බව අනාවරණය කරගෙන තිබෙන්නේ ඇමෙරිකාවේ මිචිගන් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසිනි. ඔවුන් සොයා ගෙන ඇති අන්දමට ආසනික්, ඊයම්, කැඩ්මියම් සහ රසදිය යන ශරීරයට අහිතකර බැර ලෝහ ඉහත සඳහන් කළ සියල්ලේම අඩංගුව පවතියි. පර්යේෂකයන් පවසන්නේ මේ ලෝහ කාන්තාවන් ඉක්මනින්ම ආර්තවහණයට පත් කිරීමට හේතුවන බව ය. තවත් අතකින් කිවහොත් බැර ලෝහ කාන්තාවන්ගේ සරු කාලය කෙටි කරයි. දරුවන් ලැබීමේ සිහිනය බොඳ කරයි. එපමණක් නොව ආර්තවහරණය සමග අධික උණුසුමක් දැනීම, අස්ථි දුර්වල වීම, හෘදයාබාධ අවදානම වැඩිවීම වැනි සුව ගැටලුවක් පැනනඟියි.

පර්යේෂකයන් බැර ලෝහ වැඩිම ආහාර ලෙස නම් කර ඇත්තේ ළදරු ආහාර, බීට්, නිවිති, අර්තාපල්, ඇට වර්ග, ධාන්‍ය, සහල සහ ඩාක් චොකලට් ය. බැර ලෝහ වැඩි ගැටලු ඇති කරන්නේ කාන්තාවන්ටයි ආසනික් සහ කැඩ්මියම් කාන්තාවන්ගේ එන්ඩොක්‍රින් නම් හෝර්මෝනයට බාධා සිදු කරන අතර එය මදසරු බවට අත වැනීමක් වෙයි. ඊයම්, ආසනික් වැනි ලෝහ මදසරු බව, එන්ඩොමෙටි්‍රයොසිස්, අකාලයේ මල්වර වීම, ඇතැම් පිළිකා, දියවැඩියාව සහ ස්ථුලතාව ඇති කරයි. කාන්තාවකගේ මුත්‍රාවල ඇති බැර ලෝහ ප්‍රමාණයෙන් ඩිම්බවලට වී ඇති හානිය පිළිබඳ කිව හැකි ය.

අවාසනාවකට කතුන්ගේ එන්ඩොක්‍රින් නම් හෝර්මෝනයට බාධා සිදු කරන රසායන ආහාරවල පමණක් නොව වාතයේ ද පස්වල ද අඩංගු බව අනාවරණය වී තිබෙයි.

ඇමෙරිකාවෙත් බොන්නෙ විස වතුර එරට පිළිකා අවදානමත් වැඩි වෙලා

පර්යේෂකයන් කළ තවත් අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ ඇමෙරිකානුවන්ගෙන් සියයට පනස් හයක් ඊයම්වලින් අපවිත්‍ර වුණු ජලය පානය කරන බව ය. මෑතක සිට ඇමෙරිකාවේ මුත්‍රාශ, පෙණහලු සහ චර්ම පිළිකාවලට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ඇත. එයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ආහාරයේ අඩංගු ඊයම්, ආසනික් සහ කැඩ්මියම් ප්‍රමාණ වැඩිවීම ය.

වාර්ෂිකව ගෝලීයව මිලියන ගණනක ජනකායක් ඊයම් අඩංගු ජලය පානය කිරීමෙන් පැරැණි තීන්තවලට විලේපනවලට නිරාවරණය වීම නිසා මියයති. ලෝක බැංකුවේ පර්යේෂකයන් පවසා සිටින්නේ දුම් පානය හෝ නරක පුරුදු නිසා මියයනවාට වඩා ඊයම් නිසා හෘදයාබාධ වැළඳී මියයන ජන සංඛ්‍යාව වැඩි බව ය.

පිළිකා වැඩිවීමට බැර ලෝහ වගේම මයික්‍රොප්ලාස්ටික් ද හේතුවෙලා

විද්‍යාඥයන් පානීය ජලය අඩංගු බෝතල්වල පිළිකාකාරක නැනෝප්ලාස්ටික් තිබෙන බව අනාවරණය කර ගෙන සතියකින් පසු තවත් බරපතළ සෞඛ්‍ය තර්ජනයක් හෙළිකරන ලදී. මේ පර්යේෂණය සිදු කර තිබුණේ ඉන්දුනීසියාවේ ඇන්ඩලාස් සරවියේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි. ඔවුන් මේස ලුණු කිලෝග්‍රෑමයක මයික්‍රොප්ලාස්ටික් කොටස් 33ක් ඇති බව සොයා ගෙන ඇත. මයික්‍රොප්ලාස්ටික් පිළිකා අවදානම වැඩි කරයි. ඊට අමතරව හෘදයාබාධ, ඩිමෙන්ෂියා සහ මදසරු බවට ද හේතු වෙයි. මයික්‍රොප්ලාස්ටික් යනු මිලිමීටර් පහකට වඩා කුඩා ප්ලාස්ටික් කැබලිවලට ය. මේවා වරක් භාවිත කරන ලෙස සාදා ඇති බෝතල්, ආහාර දවටන ආදියෙහි අඩංගු ය. එවරස්ට් කඳු මුදුනේ ඇති හිමවල පවා මයික්‍රොප්ලාස්ටික් අඩංගු ය. බැර ලෝහ මෙන්ම මයික්‍රොප්ලාස්ටික් ද සයුරේ ද වාතයේ ද පවතියි.

සියල්ලෙන්ම හෙළි වන්නේ මිනිසා විසින්ම ඇති කරන ලද පරිසර දූෂණය හේතුවෙන් අද කාලයේ ජනතාවට ගැමුණු කුමරුට මෙන් අතපය හකුළා ගෙනවත් ජීවත් වීමට නිදහසක් ලැබී නැති බව ය.

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment