ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද යන්න සන්ධාන පක්‍ෂ තීරණය කරාවි

ආරාධනා නොකළේ රාජපක්‍ෂලාට විතරයි

අනාගත පරපුරට වේදිකාව හදනවාමයි

රටට ඩොලර් ගේන්න ඩිජිටල් සේවා ශක්තිමත් කරනවා

රට නැවත වතාවක් බංකොලොත් වීමේ පැහැදිලි අනතුරක් තිබෙනවා

ජනාධිපති අපේක්‍ෂකයෝ ඔවුන්ගේ රෙකෝඩ් බුක් ජනතාව ඉදිරියේ තැබිය යුතුයි

මෙරට වත්මන් අර්බුදවලට විසඳුම් ලබා දීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ ‘දේශය වෙනුවෙන් එක් වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළි දක්වනු ලැබීය. කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පසුගිය වැලන්ටයින් දින (14 වැනිදා) පැවති මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරු රැසක් ද හිටපු මැති ඇමැතිවරුන් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව තිබීම දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාබහකට හේතුවක් වී තිබිණි. ලොකු පිරිසක් එකතු කරගෙන පාඨලී මේ කරන්න යන්නේ කුමක්ද? ඒ පිළිබඳ විමසීම සඳහා ‘දිවයින’ ඉරිදා සංග්‍රහය ඔහු සමඟ සම්මුඛ වූයේය. පහතින් පෙළ ගැසෙන්නේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව යි.

ප්‍රශ්නය – එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගියදා එළි දැක්වූවා. ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කතා කරන්න මත්තෙන් මට ඔබගෙන් සෘජු පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ මේ එන්න හදන්නේ ජනාධිපතිවරණ සටනට ද ?

පිළිතුර – මම ජනාධිපතිවරණයට ඒම නෙවෙයි. අපි මේ හදන්නේ රටට ඔබින සන්ධානයක් මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට ගෙන ඒමට.

ප්‍රශ්නය – එහි නායකයා ඔබද ?

පිළිතුර – මෙහි නායකයා කවුද යන්න සන්ධානයට එකතුවන පක්ෂ තීරණය කරාවි. මහ මැතිවරණයේ අපේක්ෂකයෝ කවුරුද්ද යන්න ඔවුන් තීරණය කරාවි. ඒ වගේම රට පාලනය කරන්න පුළුවන් ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ඔවුන් තීරණය කරාවි. එය සන්ධානයට බාරයි. අපි මේ ප්‍රකාශය තුළින් යෝජනා කර තිබෙන්නේ එවැනි සන්ධානයක් විසින් සිදු කළ යුතු හදිසි ආර්ථික, සෞඛ්‍ය අධ්‍යාපන, බැංකු ඇතුළු මුළු ක්ෂේත්‍රවල ආණ්ඩුවේ ආදායම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රතිසංස්කරණාවලියක්.

ප්‍රශ්නය – පැමිණීමට නියමිත ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක් ද ?

පිළිතුර – මොන මැතිවරණය පැමිණියත් ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩු කිරීම සඳහා අර අඳින පිරිසක් දැනගත යුතු කරුණක් තිබෙනවා. ඒ මහජනතාව පාරට බැහැලා ආණ්ඩුවක් එළවපු බව. රට නැවත වතාවක් බංකොලොත් වීමේ පැහැදිලි අනතුරක් තිබෙන්නේ. ඒ අනතුරින් ලංකාව මිදිලා නැහැ. තාම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා නැහැ. ඒක කළ පසු ණය ගෙවන්න වෙනවා. එහෙම නොකළොත් වෙළඳපොළ විශ්වාසය බිඳ වැටෙනවා. ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී තත්ත්වයක් එතන තිබෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී රටේ බැංකු පද්ධතියට අනාගතයේ යම් අනතුරක් සිදුවුවහොත් එය බේරගන්න මහ බැංකුවට මුදල් නැහැ. රට මේ යන්නේ අතුරේ. ඒ වගේම බදු විසින් අධික බරක් පැටවීම නිසා ආර්ථිකය හැකිලෙමින් තිබෙනවා. අපි මේ ඉදිරිපත් කළේ එයින් ආර්ථිකය වර්ධනය කළ ගත හැකි වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළත් සමඟ අපි පක්ෂ, පුද්ගලයන් සන්ධාන සමඟ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. දැනට වල්මත් වී ඇති ජනතාවට විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට පුළුල් සන්ධානයක් ඇති කර විකල්පයක් ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව.

ප්‍රශ්නය – මෙම ප්‍රතිසංස්කරණාවලියේදී අවධානය ලක් කර තිබෙන ප්‍රධාන අංගයන් මොනවාද ?

පිළිතුර – අපි කොටස් එකොළහක් යටතේ මෙම වැඩපිළිවෙළ හඳුන්වා දී තිබෙනවා. ආහාර අර්බුදයට විසඳුම්, ඖෂධ හා සෞඛ්‍ය අර්බුදයට විසඳුම්, අධ්‍යාපනය හා එම ක්ෂේත්‍රයේ අර්බුදයට විසඳුම්, ඉන්ධන හා විදුලි අර්බුදයට විසඳුම්, කර්මාන්ත හා රැකියා අර්බුදයට විසඳුම්, රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුදයට විසඳුම්, ප්‍රවාහන අර්බුදයට විසඳුම්, පරිපාලන හා දේශපාලන දේහය පුරා උඩුදුවා ඇති නාස්තිය හා දූෂණයට විසඳුම්, රාජ්‍ය ආදායම් හා වියදම් අර්බුදයට විසඳුම්, ජනතා සුබසාධනය පිළිබඳ අර්බුදයට විසඳුම් සහ දේශපාලන සංස්කෘතියේ අර්බුදයට විසඳුම් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අපි කතා කර තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ආණ්ඩුවේ මැති ඇමැතිවරු, විපක්ෂ මන්ත්‍රීවරු, හිටපු ඇමැතිවරු මන්ත්‍රීවරු ඇතුළු ලොකු බලපෑමක් කළ හැකි පිරිසක් එක්ව තිබූ බව දැක ගන්නට තිබුණා. ඒ දකිනකොට හිතෙන දෙයක් තමයි, ඔබගේ දීර්ඝ කාලීන සැලසුමක කූට ප්‍රාප්තිය ද මේ සිදුවෙමින් තිබෙන්නේ කියලා ?

පිළිතුර – නැහැ. එහෙම සැලසුමක කොටසක් නෙවෙයි. අපි ඔවුන්ට ආරාධනා කළා. අපි ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කළා. රාජපක්ෂ මහත්වරුන්ට හැරෙන්න අනිත් සියලු දෙනාට අපි ආරාධනා කළා. අපේ ආරාධනාව පිළිගෙන සැලකිය යුතු පිරිසක් එතැනට පැමිණ තිබුණා. ඒ ගැන අපට සතුටුයි. මෙය ආරම්භයක් පමණයි. අපි මේ ලියවිල්ල ගැන අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරනවා. එතැනදී එකඟ වන පිරිස සමඟ විශ්වාසනීය රටට ඔබින දේශය වෙනුවෙන් පියවරක් තබනවා.

නැවත වතාවක් ධනය, බලය, පවුල් බලය, තනි පක්ෂ ක්‍රමයක් පිළිබඳ විශ්වාසය, ජනකාන්තවාදී පොරොන්දුවලට ජනතාවට රැවටෙන්න දෙන්න බැහැ. නැවතත් රට බංකොලොත් වීම වළක්වා ප්‍රායෝගික ඉදිරි ගමනක් ගොස් අනාගත පරපුරට වේදිකාවක් තැනීම මෙහි ප්‍රධාන අරමුණ.

ප්‍රශ්නය – ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න සන්ධානය තීරණය කරාවි කියලා ඔබ මීට පෙර සඳහන් කළා. යම් හෙයකින් ඔබ ජනාධිපතිවරණ අපේක්ෂකයා වුවහොත් ජාතික ජන බලවේගයට සම්මුඛ වන හොඳම ප්‍රතිවාදියා ඔබ බවට ඇතැමුන් සඳහන් කර තිබුණා.

පිළිතුර – අපි සම්මුඛ වෙන්න යන්නේ ජාතික ජන බලවේගයට නෙවෙයි. අපි සම්මුඛ වන්නේ රට ගිලගෙන තිබෙන බංකොලොත්භාවයෙන් රට මුදා ගැනීමේ අභියෝගයට. ඕන තරම් ව්‍යාපාරිකයන්ට මහා ධනස්කන්ධයක් එක් රැස් කරගෙන ඡන්දයට එන්න පුළුවන්. මාධ්‍ය අයිතිකරුවන්ට ඒ බලය උපයෝගී කරගෙන ඡන්දයට එන්න පුළුවන්. දේශපාලන පවුල්වල අයට තමන්ගේ පියවරු මව්වරු විකුණමින් ඡන්දයට එන්න පුළුවන්. ඕන කෙනෙකුට එහෙම එන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආර්ථික අර්බුදය විසඳීමට ඔය කවුරු හරි ප්‍රායෝගිකව වැඩ කරලා තිබෙනවාද ? ඒගොල්ලා එයාලගේ රෙකෝඩ් බුක් එක ජනතාව ඉදිරියේ තබන්න ඕනා. ඒ බඩු බෙදල සහන දීපුවා නෙමෙයි. තමන් අමාත්‍යාංශ කළ විදිය, ඒවා නගා සිටවපු විදිය, මූල්‍ය ගැටලුවලට විසඳුම් සෙව්ව විදිහ පෙන්නන්න ඕනා. තමන්ගේ ධනය භාවිත කරලා ගෙවල් හදපුවා, එක එක සෙන්ටර් දාපුවා නෙවෙයි. තමන්ගේ මාධ්‍ය භාවිත කරලා දේශපාලන කූට නාටක පෙන්වීමක් නෙමෙයි. පෙන්නන්න ඕන රට ගොඩ ගන්න මොනවද ඔවුන් කරලා තියෙන වැඩ කියලා. ඒක ඔස්සේ තමයි මේ රට ගොඩගත හැකියි අපේක්ෂකයා කවුද යන්න ජනතාව තෝරා ගත යුත්තේ. එහෙම නොවුණොත් 2019 සිදුවුණා වගේ තවත් මාධ්‍ය කූට නාටකයකට ජනතාව අහුවෙනවා. මෙරට බංකොලොත්භාවයෙන් මුදාගෙන රටේ නැවත වතාවක් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගයට තමයි අපි සම්මුඛ වෙන්න යන්නේ. ජාතික ජන බලවේගය අපට ප්‍රශ්නයක් නෙවෙයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් කියන්නේ අති දැවැන්ත මුදලක් වැය කෙරෙන වැඩක්. එවැනි තත්ත්වයක් තිබියදී මැතිවරණ සඳහා මුදල් තිබීම ප්‍රධාන සාධකයක්. සල්ලි තියෙනවද මැතිවරණ කරන්න ?

පිළිතුර – අපි පුද්ගලිකව ධනය හම්බ කරලා නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව අපි හදන පුළුල් සන්ධාන වැඩපිළිවෙළ සමග එකතු වේවි කියලා. අපි ඡන්ද කරලා තියෙන මිනිස්සු. අපි දන්නවා මිනිස්සු ඊට දායක වෙන්නේ කොහොමද කියලා. අපට තියෙන්නේ ජනතාව පිළිබඳ තිබෙන විශ්වාසයයි.

ප්‍රශ්නය – රට තිබෙන්නේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක. දැවැන්ත ණය බරක්. හැකිලුනු ආර්ථිකයක්. අපේක්ෂා භංග වුණු ජනතාවක්. මේ ප්‍රශ්න කෙටිකාලීනව විසඳගන්න ඔබ සතු සැලසුම් කුමක්ද ?

පිළිතුර – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට, සුරා බදු දෙපාර්තමේන්තුවට තියල තිබෙන බදු පොලු සියයට හැත්තෑවක් අපි වසරක් තුළ අය කරනවා. වැට් බදු අපි ඉවත් කරනවා. ඛනිජ තෙල් සංස්ථාව ලබාගන්නා අයථා ලාභ ඉවත් කර ඉන්ධන මිල අඩු කරනවා. ඒ වගේ කර්මාන්තායතන සහ ඒකක හැටට අඩු පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩු කරනවා. ඒ වගේම සෑම පාසල් දරුවෙකුටම ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ ගැටලුව මුළුමනින්ම විසඳනවා. රට හැර යන වෘත්තීයවේදීන් රට තුළ රඳවා ගැනීම සඳහා ධෛර්ය සම්පන්න විශ්වාසයක් ලබා දෙනවා. මේ සියල්ලත් සමඟ මිනිසුන්ට ඉන්න හිතෙන රටක් ගොඩනැගෙනවා.

ප්‍රශ්නය – දැන් වැට් අඩුකර, ඉන්ධන මිල අඩුකර රජයට ලැබෙන ආදායම අහිමිකර ගත්තොත් කොහොමද රට අරගෙන යන්නේ? දැනටත් අයවැය හිඟය විශාලයි. ඔබ කියන විදිහට කරොත් මෙම හිඟය තවත් ඉහළ යනවා නොවේද ?

පිළිතුර – එහෙම වෙන්නේ මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති හින්දනේ. මේ රටේ ආදායම් බදු ගෙවන්න නැති දස ලක්ෂයක් ඉන්නවා. එය අය කරගැනීමට අපි ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ඉදිරිපත් කර තිබෙන්නවා. රටේ සියලුම මූල්‍ය ගනුදෙනු, ක්‍රෙඩිට් කාඩ්පත්, බැංකු හරහා ගනුදෙනු, දුරකථන ගෙවීම් ක්‍රම මගින් සිදු කරන සියලු ගනුදෙනුව අපි ඉලෙක්ට්‍රොනික වේදිකාවකට ගෙන එනවා. ඒ තුළින් කිසිවෙකුට බදු දැලින් රිංගා යන්න බැහැ. ඔය කියන අයවැය පරතරය ඔය තුළින් අඩු කරගන්න පුළුවන්. අවශ්‍ය හරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.

ප්‍රශ්නය – මුළු රටේම ඡන්දවලට කතා කිරීම විශාල කතාවක්. කන්ද උඩරට ඡන්ද, උතුරේ ජන්ද, නැගෙනහිර ඡන්ද මේවට ඔබ කතා කරන්නේ කොහොමද? මේවා ආවරණය කරන්නේ කොහොමද ?

පිළිතුර – මේ සියලු ප්‍රදේශවල දේශපාලනය ලොකු වෙනසක් සිදු වෙලා තිබෙන්නේ. ඒ සියලු උපදේශවල නියෝජිතයෝ අපි සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා. ඔවුන් ආමන්ත්‍රණය කිරීම අපට කරන්න පුළුවන්. වැඩපිළිවෙළ අප සතුයි.

ප්‍රශ්නය – නමුත් ඔබව දැඩි බෞද්ධ මතධාරියෙක් විදිහට ලේබල් වෙලා තිබෙන්නේ. එවන් පුද්ගලයකුට දමිළ මුස්ලිම් ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමේදී පවතින ගැටලුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

පිළිතුර – ඔය සමහරු අපිව ලේබල් කරලා තියෙන විදිහ. හැබැයි රටේ මිනිස්සු අපිව ලේබල් කරලා තියෙන්නේ අමාත්‍යාංශ ගොඩදාපු මිනිස්සු විදිහට. පාඩු ලැබූ ආයතන ලාභදායී ආයතන බවට පත්කළ මිනිස්සු විදිහට. කොළඹ නගරයේ කුණු ගංවතුර ප්‍රශ්නය විසඳපු අය හැටියට. තාක්ෂණ නගර ඇතිකළ ඩොලර් උත්පාදන කරපු අය හැටියට. පොදු ප්‍රවාහනය නැංවීමට පොදු දුම්රිය පද්ධති ගෙනාපු අය විදිහට. ඉන්ධන විදුලි බිල අඩු කරපු අය හැටියට. ඒ වගේ තමයි අපිව රට ලේබල් කරලා තියෙන්නේ. ඒ ලේබලය තමයි අපට වැදගත්. අපේ කණ්ඩායමට බලය ලැබුන පසු අපි අමාත්‍යාංශ කළා වගේම මුළු රටම හදනවා. ඒ විශ්වාසය අපි රටට දෙනවා. සිංහල බෞද්ධ කතාව වෙන කතාවක්. අද රටේ ප්‍රශ්නය ඒක නෙවෙයි. අද රටේ ප්‍රශ්නය සමස්ත ජනතාව බඩගින්නේ සිටීම.

2004 ඉඳන් අමාත්‍යාංශ කරලා අපි ආදර්ශයක් ලබාදී තිබෙනවා. ඒ රෙකෝඩ් එකට කිට්ටු වෙන්න ඔය එක අපේක්ෂකයටවත් බෑ.

ඩීසල් පෙට්‍රල් අඩු කරලා පෙන්නුවා නම්, විදුලි බිල අඩු කරලා පෙන්නුවා නම් අමාත්‍යාංශ ගොඩ දැම්මනම්, රාජ්‍ය ආයතන ධනය උත්පාදනය කළ හැකි තැන් බවට පත් කළා නම්, ගෙවල් දස දහස් ගණනක් දුගියන්ට හදලා දුන්නනම්, ගංවතුර ප්‍රශ්නය විසඳුවනම්, ඔය වගේ ලැයිස්තුවක් එක දිගට කියාගෙන යන්න පුළුවන්. ඔය වගේ රෙකෝඩ් එකක් කාට හරි තියෙනවද.

අපි අපේ අමාත්‍යංශ කළේ යම් සේද ඒ වගේම රටත් කරනවා.

ප්‍රශ්නය – දැන් අප රටේ ඡන්ද කියන්නේ ඔය කියන ශේෂ පත්‍රය විතරක් නෙවෙයි. අවට රටවල බලවතුන්, විශේෂයෙන්ම ඉන්දියාව චීනය අපේ ඡන්ද හැසිරීමට ලොකු බලපෑමක් කරනවා. ඒ වගේ තත්ත්වයක් තුළ ඒ රටවල් කළමනාකරණය කරගන්නේ කොහොමද ?

පිළිතුර – අපි අනුගමනය කරන්නේ සම මිතුරු විදේශ ප්‍රතිපත්තියක්. රටේ ව්‍යාපෘති ලබාදීමේදී ටෙන්ඩර් ක්‍රමයටයි යන්නේ. කිසිවෙකුට පක්ෂවාදිව කටයුතු කරන්නේ නැහැ. මේ රට සමබිමක් කරනවා මිස එක ආයෝජකයෙකු වෙත විතරක් නැඹුරු වෙන්න අපි යන්නේ නැහැ.

ප්‍රශ්නය – ඩොලර් උත්පාදනයට ඔබ සතුව ඇති සැලසුම් කුමක්ද?

පිළිතුර – ඩොලර් උත්පාදනයට අපි ප්‍රමුඛතාව දෙන්නේ ඩිජිටල් සේවා සඳහායි. අපි තාක්ෂණ නගරය ගොඩනගන්න හැදුවේ ඒ නිසයි. ඒවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ බලයට පැමිණි වියත් කියපු පිරිස විනාශ කළා. එවැනි තාක්ෂණ නගර හතරක් අපි ඉදිරියේදී ඇති කරනවා. ඒ සඳහා අසූදාහකට අධික දරුවෝ පිරිසක් අපි පුහුණු කරනවා. ඩොලර් උත්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන සැලසුම එයයි. ඒ වගේම අපේ ව්‍යාපාරිකයන් අගයදාම ක්‍රියාවලිය වෙත ගෙන යන්න, ජාත්‍යන්තර සන්නාම අප ව්‍යාපාරිකයෝ හා සම්බන්ධ කරන්න, අපේ අපනයන ආදායම දෙගුණයක් කරගන්න, නව ස්ථානවලට අපේ අපනයන යවන්න අප සතුව නිශ්චිත විධිමත් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේම දැනට වරාය සහ ගුවන්තොටුපළේ සිදුවන වැරදි ඉන්වොයිස්කරණය නිසා වාර්ෂිකව රටට අහිමිවන ඩොලර් බිලියන හතර ඉතුරු කරන්න නිශ්චිත තාක්ෂණික වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපගේ අදහස කුමක්ද ?

පිළිතුර – ජනාධිපතිතුමා කරන වැඩ වඩා වෙනස් ආකාරයෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආණ්ඩුවට අරමුදල් එක්රැස් කරගන්න බදු ගහනවා හැරෙන්න වෙන ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ ක්‍රම අනුගමනය කළ යුතුයි. සාහසික විදියට විදුලි බිල වැඩිකරන්නේ නැතුව එය අඩුකර ගැනීමේ ක්‍රම තිබෙනවා. ඒ වගේම රට පුරා තියෙන දූෂිත දේශපාලන ගනුදෙනු නතර කළ යුතුයි. නීතිය ක්‍රමවේද නැති නිසා තමයි දූෂණයට යටවන්නේ.

ප්‍රශ්නය – රටේ ජනතාවට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ කුමක්ද ?

පිළිතුර – ජනතාවට කියන්න තියෙන්නේ රැලි වලට, මාධ්‍ය සංදර්ශන වලට, වංචනිකයන්ගේ ධනයට, රැවටෙන්න එපා කියලයි. ඉතිහාසය බලා විශේෂ පත්‍රය බලා ඡන්දය භාවිත කරන්න. දෙවෙනි ලෝකයේ තිබූ රට ගෝඨාභය රාජපක්ෂ තුන්වෙනි ලෝකයට ඇද වැට්ටුවා. ආපහු රැලිවලට රැවටුණොත් තුන්වෙනි ලෝකෙ නෙවෙයි යම ලෝකයට තමයි වැටෙන්නේ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment