මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යන වාතාවරණය තුළ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා කවුද ? ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විමසීම සඳහා “දිවයින ඉරිදා සංග්‍රහය” මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාව සාකච්ඡාවක් සඳහා එක්කර ගත්තෙමු.පහතින් පෙළගැසෙන්නේ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමග කළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය මෙම සාකච්ඡාව සිදුකරන අද 14 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වගේම ජාතික ජනබලවේගය පවසනවා ඔබතුමන්ලා ඇති කරගත් ගිවිසුම සමාලෝචනය කරන බව. මේ කාරණා දෙක ඔබ දකින්නෙ කොහොම ද?

පිළිතුර – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පට්ට යන්න බැන්නෙ ඒ අයනෙ. මම හිතන්නෙ ඒ අයට රෙදි ඇඳගෙන මේක හරි කියන්න බැරි නිසා ක්‍රමානුකූලව ඇවිත් කියන්න හදනව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගහපු ගිවිසුම හරි කියල. වැරැදි කියපු ගිවිසුම ක්‍රමානුකූලව සමාලෝචනය කරනවා කියල. ඒ වගේම මම දැක්කා ආදායම් වැඩිකර ගැනීමට ප්‍රතිසංස්කරණ ගේනවා කියල. එතකොට ජවිපෙ අද පිළිගෙන තියෙනවා මේ යන ගමන් මග හරි බව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනත් දේශපාලන පක්ෂ එක්ක කතාකරනවට අපි කැමැතියි. ඒකට අපි උපරිම වශයෙන් උනන්දු කිරීමක් කරනවා.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට විපක්ෂයේ නියෝජිතයන්ට ජනාධිපතිවරයා සඳහන් කළා. නමුත් ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නෙ ජනාධිපතිතුමා පටලවාගෙන කියලා.

පිළිතුර – ඇත්තටම පටලවා ගත්තෙ විපක්ෂය. ඒකට හේතුව වෙනස් කළ යුතු තැන් වෙනස් කරන්න ඕන නම් ඒකට සාකච්ඡාවක් කැඳවීම වැරැදියි ද? කාටද මේක වෙනස් කරන්න පුළුවන්, ඒක වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට විපක්ෂයෙන් යෝජනාවක් ගේන්න පුළුවන්. ඒක පිළිගන්නවද නැද්ද කියල කියන්න ඕන ආණ්ඩුව.

ප්‍රශ්නය – ගිවිසුම ගහද්දි විපක්ෂය නැහැ. ප්‍රශ්න ඇදගෙන යද්දි තමයි ජනාධිපතිවරයාට විපක්ෂය මතක් වෙලා තිබෙන්නේ කියලා චෝදනාවක් තිබෙනවා.

පිළිතුර – රනිල් වික්‍රමසිංහ තරම් විපක්ෂයට ආරාධනා කරපු කිසිම කෙනෙක් නැහැ.

ප්‍රශ්නය – මම කියන්නෙ ගිවිසුම ගහද්දි.

පිළිතුර – ගිවිසුම ගහනකොට තමයි, ඇත්තටම මේ අවස්ථාව දුන්නෙ රනිල් වික්‍රමසිංහට නෙමෙයිනෙ. කවුරුත් නැති නිසානෙ රනිල් වික්‍රමසිංහට ඒ තනතුරු ලැබුණේ. කවුරුත් භාරගන්නෙ නැතිව මගහරිද්දි, කොන්දේසි දාද්දි, කරගන්න බැරි දේවල් කියද්දිනෙ රනිල් වික්‍රමසිංහ මේක භාරගත්තෙ. හැබැයි ඒක රටේ වාසනාව. ඒ වෙලාවෙ සමගි ජනබලවේගය හරි ජාතික ජනබලවේගය හරි රට භාරගත්ත නම් හිතන්න අද වෙන දේවල්.

හර්ෂ ද සිල්වා කියන්නෙ බැඳුම්කර හිමියන් එක්ක කරන සාකච්ඡා දැනගන්න ඕනා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සම්පූර්ණයෙන් ඒකට සූදානම්. හැබැයි එකක් තියෙනව. සංවේදී කරුණු ගොඩක් අඩංගුයි. ඒවා දෙන්න බැහැ. වෙළෙඳපොළ සංවේදී කරුණු සාකච්ඡාව තුළ අපිට දෙන්න බැහැ. මොකද ඒක අපේ මූල්‍ය උපදේශකයෝ සාකච්ඡා කරනවා. අවසාන එකඟතාවක් ආවට පස්සෙ අපට දෙන්න පුළුවන්. ඒ වෙනකම් අපි මේ තොරතුරු දුන්නොත් කෘතීමව මේ වෙළෙඳපොළ වෙනස් කරනවා. එතකොට සමගි ජනබලවේගයයි, ජවිපෙයි හදන්නෙ ඇයි වෙළෙඳපොළ සංවේදී තොරතුරු ඉල්ලන්නේ… මෙතෙක් නොවුණු ආකාරයේ සංවේදී කරුණුවලට අවධානය යොමුකිරීම තීරණාත්මක වැඩපිළිවෙළක් යටතේදි අපට වෙන මොනව හෝ ඉතුරු වෙලා තියෙනවද හිතන්න. අවස්ථා දුන්නා, ඒ අවස්ථාවට පයින් ගැහුවා. හැබැයි අපි නම්‍යශීලීයි. හැබැයි අපි මතක තියාගන්න ඕන විපක්ෂය මේකට නාවයි කියල මෙතනින් වැටෙන්නෙ නැහැ. මම දැක්කා කිරිඇල්ල මහත්තය කියනවා ආණ්ඩුව එරිල ඉන්නෙ කියල. ආණ්ඩුව නෙවෙයි, විපක්ෂයයි එරලා තියෙන්නෙ.

ප්‍රශ්නය – ඇත්තටම මොකද වෙන්නේ….?

පිළිතුර – රටේ ආර්ථිකය ශක්තිමත් වීම තුළ විපක්ෂයට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න බැරිව ජනප්‍රියතාව හීනවෙලා. බලන්න ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙලා ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වුණාම මොකද වෙන්නෙ කියල. ජනතාවට ඕන විශේෂයෙන්ම මේ රටේ තාරුණ්‍යයට අවශ්‍ය තමන්ට ජීවත්වෙන්න පුළුවන් නිදහස් ආර්ථික පරිසරයක්. ඒකට අපි බැණුම් අහගෙන අමරුවෙන් රට අරන් ඇවිත් තියෙනවා. මඩ ඔක්කොම ටික අපිට ගැහුව. කරන්න පුළුවන් අපහාස සියල්ල කළා. ඒ සියල්ල විඳදරාගෙන අධිෂ්ඨානශීලීව යළි රට නොවැටෙන තත්ත්වයට ගෙනාවා. ඒක තව ස්ථාවර කිරීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය කියනවානේ අයිඑම්එෆ් ගිවිසුම සමාලෝචනය කරනවා කියල. ආණ්ඩුවක් ගහපු ගිවිසුමක් තවත් පාර්ශ්වයකට ඒ විදිහට වෙනස් කරන්න පුළුවන් ද?

පිළිතුර – ජාතික ජනබලවේගය කියල එකක් නෑ. ඇයි ජාතික ජනබලවේගය කියල එකක් අටව ගත්තෙ. ජනතා විමුක්ති පෙරමුණ කියල බෝඩ් එක ඉස්සරහා ගහගෙන යන්න බැරි නිසා. ඔබ අහපු ප්‍රශ්නයට උත්තර දෙනවා නම් ගිවිසුම ඒකපාර්ශ්වීයව වෙනස් කරන්න බැහැ. මේක අධිතක්සේරුවක් එක්ක තමන්ගේ නොහැකියාව පෙන්නුම් කිරීමක්.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බොහෝ කොන්දේසි ඉටුකිරීම පිළිබඳව ඔවුන් සතුටින් සිටින බව ප්‍රකාශ වෙනවා. නමුත් රටේ ජනතාව නම් ඉන්නෙ දැඩි පීඩාවක. ඔවුන් කියන්නෙ අයිඑම්එෆ් කොන්දේසි නිසයි ඔවුන් දුක් විඳින්නෙ කියලා.

පිළිතුර – ඒක වැරැදි කතාවක්. 2022 අප්‍රේල් මාසයේ ඉඳල 2024 අප්‍රේල් මාසයට ගමන් කරද්දි මේ රටේ තත්ත්වය බලන්න. අමාරුකම් නැත්තෙ නෑ. ඒත් මේ ප්‍රතිසංස්කරණ මීට අවුරුදු විස්සකට කලින් ක්‍රියත්මක නොකිරීමේ වරද තමයි අපි මේ විඳින්නෙ. ජවිපෙ ආණ්ඩුවල හිටිය. ඔවුන් ජනාධිපතිවරු හැදුව. ජවිපෙට හැඳි තිබුණ බෙදන්න. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට බලයක් තිබුණ. විශේෂයෙන් පොලිසියට. මොනවද ජවිපෙ කළේ.

සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස උදාහරණයකට ගන්න. ඔහු පාර්ලිමේන්තුවට ගෙනාවා මහරගම හෝමාගම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් ගැන පාර්ලිමේන්තුවේදී කිව්ව. හැබැයි ඒ කටයුත්ත වෙලා අවුරුදු දහයක්. සජිත් ප්‍රේමදාස අවුරුදු කීයක් ආණ්ඩුවේ හිටියද? ඇයි ඒ වෙලාවේ ඔය කිඹුල් කඳුළු සැලුණේ නැත්තේ…? .

ප්‍රශ්නය – මේ බදු බරින් ජනතාව නිදහස් කරන්නෙ කවදා ද?

පිළිතුර – මේ ගෝලීය ආර්ථික තත්ත්වය ඇතුළේ පීඩාවට පත් නොවෙච්ච රටක් කියන්න. උපයනවිට බදු වැඩි කළේ තාවකාලික පියවරක් විදිහට. අනෙක අපි ඩිජිටල්කරණයකට යා යුතුමයි. ඩිජිටල්කරණය නොවන තාක් කල් අපි මොන ඉලක්කයකට ගියත් ඒක සම්පූර්ණ කරගන්න බැහැ. අද අපි රට යම් ස්ථාවරත්වයට ගෙනත් තියෙනවා. ඊළඟ ඡන්දයේදි ජනතාව

දිනාගන්න කියන්න පුළුවන් ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. බඩු මිල අඩු කිරීම, තෙල් මිල අඩුකිරීම, විදුලිබිල අඩුකිරීම, බදු අඩු කිරීම. මට කියන්නකො ඒවා කරල කොහොම ද රට කරන්නෙ. සමස්ත ආර්ථිකයේම ප්‍රසාරණයක් ඇතිවුණොත් විතරයි, මේ ප්‍රතිසංස්කරණත් එක්ක රට ඉදිරියට යන්නෙ. එතකොට සමස්ත ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ තමයි ඇතිවෙන්නෙ. දේශපාලන වේදිකාවේ මයික් එකක් ඉස්සරහට ගිහින් කියන්න ලේසියි. හැබැයි මේවා කරන්න කවුරුත් හිටියෙ නැහැ. ඒත් දැන් කෑගහන්නෙ ඒ නොහිටපු අයම තමයි. ඒක තමයි අරුම පුදුම වැඩේ. අමාරුකම් යම් දුරකට පහවෙලා තියෙනවා. ඒක අපි පිලිගන්න ඕන. රට ඉන්න හිතන රටක් බවට අපි පරිවර්නය කරනවා. ඒකට සම්ප්‍රදායික ආර්ථික, දේශපාලන රාමුවක ඉඳන් කටයුතු කරන්න බැහැ.

ප්‍රශ්නය – කොහොමද ඒක කරන්නෙ? ජනාධිපතිවරණය ඉතාම නුදුරේදී තියන්න වෙනවා. ඉතින් මේ සීමිත කාලය ඇති ඔය කියන දේවල් කරන්න.

පිළිතුර – අපි මේ අවුරුදු එකහමාර ඇතුළෙ කරල තියෙන දේවල් දිහා බලල, මේ රටේ ජනතාව තමයි තීන්දු කළ යුත්තෙ මොකද කරන්න ඕන කියල. ජනතාව තීන්දු කළොත් ප්‍රායෝගික නොවන, යථාර්ථවාදී නොවන ජාත්‍යන්තරය පිළිනොගන්න කඩාවැටීමට අතවනන්නම් ඒ වෙනුවෙන් අපට කරන්න දෙයක් නැහැ. හැබැයි මම හිතනවා ජනතාව වඩා බුද්ධිමත් කියලා.

ප්‍රශ්නය – ඔබ ඉන්නෙ කොයි පැත්තේ ද?

පිළිතුර – මම ඉන්නෙ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කරල, මේ රට අපේ ජීවිත කාලය ඇතුළේ රටේ අනාගත පරපුරට කඩා නොවැටෙන රටක් හදන්න.

ප්‍රශ්නය – මම අහන්නෙ ඔබ ඉදිරි මැතිවරණයකදි නියෝජනය කරන්නෙ මොන පැත්තද කියලයි.

ආර්ථිකය හදනවා හැර විකල්ප නැහැ

පිළිතුර – මේ රටේ මිලියන 22කම මේ ජනාධිපතිතුමා විශ්වාස කළා. ඒ නිසා තමයි දේශපාලන පක්ෂයක ඉන්න තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට ඒ වගකීම ගත්තෙ. පාර්ලිමේන්තුවත් විශ්වාස කළා. හැබැයි ඒ විශ්වාසය යම් යම් කණ්ඩායම් කැඩුව. බහුතරය එතුමත් එක්ක හිටිය. මේ ආර්ථික ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනියන්න අපි කාටවත අයිතියක් නැහැ අපේ පුද්ගලික දේශපාලනය මත තුළ තීන්දු ගන්න. ඊට වඩා බලවත් අවදානමකයි රටේ ආර්ථිකය තියෙන්නෙ. අපි රතු කලාපයෙන් එළියට ගිහින් නැහැ. රතු කලාපයෙන් එළියට යෑම හොඳයි වගේම, නැවත රතු කලාපයට නොයා සිටීමට වැඩ කළ යුත්තේ. රතු කලාපයෙන් එළියට ගිහිල්ල දිගටම රතු කලාපය නොපෙනෙන්න ගමන් කරන එකයි අපි කළ යුත්තේ. ඒ නිසා ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළකට අපි සහයෝගය දක්වනව. ඒ රටේ පුරවැසියෙක් විදිහට වගේම දේශපාලනඥයෙක් විදිහටත් විශ්වාස කරනවා. මෙතන යූඑන්පී, පොදු පෙරමුණ, සමගි ජනබලවේගයද වෙනත් මොනයම් හෝ දේශපාලන පක්ෂයක්ද කියන එක වැදගත් නැහැ. මේක රටත් ආර්ථිකයත්, දේශපාලන තීන්දුවත් අතර තියෙන ප්‍රශ්නයක්.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව ද?

පිළිතුර – ඔව්… අනිවාර්යයෙන්ම.

පිළිතුර – එතකොට ඔබ මේ පාර පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටුවට මොකද වෙන්නේ…?

දැන් පාර්ලිමේන්තුවේ කවුද බහුතරය. තනි පක්ෂයක් තවමත් බහුතරය පොහොට්ටුවෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු. දැන් ඒක කැඩිල බෙදිල ගිහින් තියෙනවා. අපේ වගකීම මොකක් ද? අඳුරුම යුගයකින් ස්වර්ණමය යුගයකට යන්න අවශ්‍ය පදනම හැදුවෙ අපි. ස්වර්ණමය යුගය උදාකිරීමේ වගකීමත් අපි ගන්නවා.

ප්‍රශ්නය – ඔබ කියනව වගේ දැන් පොහොට්ටුවේ ඡන්ද කැඩී විසිරී ගිහින්. ඔබ ප්‍රාර්ථනා කරන ස්වර්ණමය යුගයට යන්න බලය කොහෙන්ද ගන්නෙ… කෝ ඒකට ශක්තිමත් දේශපාලන පදනමක්…

පිළිතුර – විවිධ මතවාද ඉදිරිපත්වීම හොඳයි. ඒක ඉඩක් තියෙන්නෙ ඕන. ඒ ඉඩ තුළ වෙනස්කම් ගොඩක්වෙලා තියෙනවා.

ප්‍රශ්නය – මහමැතිවරණයක්ද…? ජනාධිපතිවරණයක් ද? මුලින්ම තියන්නේ..

පිළිතුර – මම හිතන්නෙ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයට පස්සෙ මහ මැතිවරණය.

ප්‍රශ්නය – ඔබ ජනාධිපතිවරු තිදෙනෙක් එක්ක වැඩ කරල තියෙනවා. ඒ අතරින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඔබ දකින විශේෂත්වය මොකක් ද?

පිළිතුර – ජනාධිපතිවරු දෙන්නෙක් එක්ක වැඩ කළාට, වගකීම් අරගෙන වැඩකළේ ජනාධිපතිවරු දෙන්නෙක් එක්ක. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරු දෙන්නා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරුණයෝ හැටියට අපිට දේශපාලන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව දුන්නා. ඉතින් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ජ්‍යෙෂ්ඨයන්ගේ අණට කීකරුවෙලා ඒ අනුව කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තරුණයන්ට වගකීම් දුන්නා. හැබැයි එතුමාගේ වටේ හිටපු තීන්දු තීරණ ගත්ත පිරිසගේ අනවබෝධය නිසා එතුමාට ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරිවුණා. ඒකට ගෝලීය වශයෙන් ඇතිවුණු වසංගත තත්ත්වයත් හේතු වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සියලු දේ ගැන අත්දැකීම් තිබුණ. එතුමාගේ මම දැක්ක විශේෂ දේ තමයි ඇහුන්කම්දීම. වෙනත් මතවලට ඉඩ ලබාදීම. මම දැකල තියෙනවා එතුමා වෙනත් සාධනීය මතවලට ඉඩ ලබාදීල කටයුතු කරල තියෙනවා. සාකච්ඡාවට ඉඩ දෙනව. මම මේ විදිහට දිගට කියද්දි සමහරු හිතනවා මම පොහොට්ටුවෙන් අයින්වෙලා එක්සත් ජාතික පක්ෂයට ගිහින් කියල. නැහැ… මේක එහෙම එකක් නෙමෙයි. මං අවංකවමයි කියන්නේ… දේශපාලන පක්ෂයක් ගැන හිතල නෙමෙයි මම වැඩ කරන්නෙ. අපිට වගකීමක් තියෙනවා. මගපෙන්වීමක් තියෙනවා. අපේ දක්ෂතා ඔප මට්ටම් කරගෙන, පෙන්නුම් කරන්න අවස්ථවක් තියෙනව. එතනදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අවස්ථාව උපරිම විදිහට දෙන්න උත්සාහ කළා. හැබැයි එතුමාගේ කිට්ටුවෙන් හිටපු පිරිස ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එතුමාට ඉඩදුන්නෙ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තීන්දු සෘජුයි. අභියෝගවලට අභියෝග කරනවා. ඒකත් එතුමාගේ සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම තමයි එතුමා අපිට කියන්නෙ හරි තීන්දුවක් ගන්න. හරි තීන්දුවක් ගත්තට පස්සෙ මොන විරෝධතා ආවත් ඒ තීන්දුව ඉදිරියට අරන් යන්න.

ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලියපු පොත ගැන මොකද හිතන්නේ…

පිළිතුර – මම ඒ පොත කියෙව්වෙ නැහැ. මාධ්‍යයේ පළවුණු දේවල් විතරයි මම දැකකෙ. ඇත්තටම ඒ ගැන අවධානයක් යොමුකරන්ව තරම්වත් කාලයක් මට නැහැ. ඒක කියවන්න මම ආසයි. නමුත් ඊට එහා පැවරුණු වගකීමක් මට පැවරිලා තියෙනවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ඉගෙන ගත්ත බව කීම ලැජ්ජාවෙන්න ඕන කාරණයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ අඩු වැඩි වශයෙන් ප්‍රශ්නවලට දායක වුණු එක කොටසක් විතරක්, තනිකරම එක කොටසක් වෙත පවරල තමන්ගේ වැරැදිකරු බවට පත්වෙන්න උත්සාහ කරනවා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. අපිට දුන්න අභියෝගය දුන්නා. අපි ඒ අභියෝගයට සාර්ථක විදිහට මුහුණදෙමින් ඉන්නවා. හැබැයි අපි ජය සමරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නෙ. ජය මාවතේ අදියරෙන් අදියර ජය අරගෙනයි යන්න ඕනෙ.

ප්‍රශ්නය – ඒ කියන්නෙ තව වාරයක් තිබුණොත් ඒ ජය සමරන්න පුළුවන්..

පිළිතුර – මේ තියෙන ස්ථාවරත්වය සහ වර්ධනය අලුත් රටකට, අලුත් ආර්ථිකයකට ඊළඟ වාරයේ ජනාධිපතිතුමා යන්න සූදානමින් ඉන්නෙ. ඒක නෙමෙයිද තරුණයෝ හැටියට දෙමාපියෝ හැටියට හැමෝගෙම බලාපොරොත්තුව. අතීතයත් එක්ක ජීවත්වෙලා වැඩක් නැහැ. අපි වර්තමානය සහ අනාගතයටයි අවධානය යොමු කළයුත්තේ. අතීතයට අපි අවධානය යොමුකළ යුත්තේ පාඩම් ඉගෙන ගන්න. හැබැයි මම දකින්නෙ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව හැරෙන්න අනෙක් සියලුම දෙනා අතීතයත් එක්ක ඉන්නෙ. සම්ප්‍රදායික දේශපාලනයත් එක්ක ජීවත්වෙන්නෙ. අලුත් වෙනසට ඔවුන් තමන්ගේ චින්තනය ගළපාගන්න සුදුසු තැනක නෙමෙයි ඉන්නෙ. ඒ නිසා අපි අලුත් රටක්. ආර්ථිකයක් හදමු. ඒ හැර විකල්ප නැහැනෙ.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment