රු. ලක්‍ෂ විස්සක දේපළ කොල්ලකෑ ‘වලපල පැනියා’ගේ කල්ලියේ 4ක් දැලේ

442

උල්පිහි පෙන්වා වයෝවෘද්ධ කතුන් බියගන්වා මුදල් සහ රණ් භාන්ඩ කොල්ලකන ‘වලපල පැනියා’ ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු 04 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.පානදුර ප්‍රදේශයේ නිවාස කොල්ලකෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

යාචක වෙස්ගෙන දිවා කාලයේ නිවාස නිරීක්ෂණය කොට රාත්‍රී කාලයේ මුහුණු ආවරණ පැළඳ උල් ආයුධ රැගෙන කඩාවැදී කොල්ලකෑම් සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, වළලු, මුදු, කාරාබු, අත්පළඳනා, ලැප්ටොප්, ඩීවීඩී ප්ලේයර්, ජංගම දුරකථන, අත්ඔරලෝසු, ග්‍රිල්, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා උපකරණ රැසක් සහ කොල්ලකෑමට යොදාගත් උල් පිහි හතරක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් අනූවකට අධික ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, ස.පො.අ. නිශාන්ත සේනාරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) අමරසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයාන් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් පී. එම්. රංජිත් (59368), කොස්තාපල්වරුන් වන වී. ජී. එන්. තුෂාර (79335), ටී. ජී. එස්. ටිරෝෂන් (91160), පී. ජී. ටී. ගමගේ (28308) සහ ජේ. කේ. ජයවික්‍රම (99513) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment