මා ඉදිරියට තල්ලු කළ යෝධ රෝද දෙක ගුණදාස සර් සහ කේ.ජී.කරුණාතිලක සර්

112

තිලකරත්න කුරුවිට බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ පත්‍ර කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් වෙනුවෙන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී මහත් හරසර උළෙලක් අභිනන්දන සම්ප්‍රදානයක් පැවැත්විණි. මහාචාර්ය සමන්ත හේරත් විසින් එතුමා පිළිබඳ සකස් කරනු ලැබූ මහ පොතක් ද එළිදක්වන එම මොහොතේ එම උත්සවය නම් කැර තිබුණේ “පත්‍ර කලා කව් සිළුමිණ” නමිනි. එහෙත් උඩට යන්නට යන්නට උණ බටයක් සිහින් වන්නාක් මෙන් නිහතමානයම වැඩූ එතුමා තමා කව් සිළුමිණක් ලෙස නොව වන පස මලක් මෙන් සලකන්නේ නම් එය වඩාත් වටිනාකමක් ගෙන දෙන්නේ යැයි එම උළෙලේදී ප්‍රකාශ කළේය. ඔහුගේ දුෂ්කර ගමන්මඟ සලකන විට එයත් නිවැරදිය.

● අභීත ප්‍රකාශයක්

කුරුවිට බණ්ඩාරයන් කවදත් අපූරු කතා කියන එහෙම කෙනෙකි. තෙවරක්ම ‘සිළුමිණ’ මහ පුටුව පොබ කළ එතුමා මුළු මහත් පත්‍ර කලාවේදීන් වෙනුවෙන් එදා අභීත ප්‍රකාශයක් ද කළේය.

“මේ රටේ පත්‍ර කලාවේදීනට වෘත්තීය භාවයක් නෑ. ඔවුන් සුරක්ෂිත නෑ. ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව මේ දක්වාම තහවුරු වී නෑ. නියමිත වැටුප් වර්ධක ක්‍රමයක් නෑ. තනතුරු උසස්වීම් ලබාදෙන ක්‍රමයක් නෑ. මේ නිසාම උන්ට ඕනෑ පත්තරයක් ගහලා පුටුව රැකගන්නවාට වඩා අපට ඕනෑ පත්තරයක් ගහලා එළියට යන එක වටිනවා”

ඔහු විටින් විට මහ පුටුවෙන් එළියට යන්නේ නිවැරදිව ජනතාවට අවශ්‍ය දේ කිරීම නිසාය. ඔහු පත්තර කලා ලොවේ පෙරළිකාරයකු වන්නේ ද ඒ හේතුවෙනි.

● පෙරළිකාර තිලක්

මා ඉදිරියට තල්ලු කළ යෝධ රෝද දෙක ගුණදාස සර් සහ කේ.ජී.කරුණාතිලක සර්

මුලින්ම හෙතෙම මේ පෙරළිකාරකම පටන් ගන්නේ තම නම වෙනස් කර ගැනීමෙනි. මුල් කාලයේදී එතුමා ලියූ “දෙවියෝ තැති ගෙන මහ පොළොවට එති” කවි පොතේ එතුමාගේ නම තිලකරත්න සිල්වාය. එහෙත් කුරුවිට බණ්ඩාර කෑල්ල ඔහුගේ වාසගමේ තිබේ. එතුමාගේ කීර්තිමත් සොහොයුරු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ ද කුරුවිට බණ්ඩාර කෑල්ල තිබේ. ඔහු තම සම්පූර්ණ නමේ මුල අගට ගෙන කාටත් සුන්දරව දැනෙන විදියට නම වෙනස් කළේය.

ඔහු මුලින්ම සිළුමිණ මහ පුටුව එන විට එතුමා වැඩ කළේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ උප කර්තෘ අංශයේය. සිළුමිණ අලෙවිය කඩා වැටී නන්නත්තාර වී තිබූ මොහොතක එතුමා ‘සිළුමිණ’ සුක්කානම අතට ගෙන මහත් පෙරළියක් කළේය. පිටපත් ලක්ෂ තුනක් දක්වා කෙටි කලකින් අලෙවි කර ගැනීමට එතුමාට හැකි විය.

ඔහු ගැන පූර්විකාව මීටත් වඩා ලියන්නට බැරිය. ලියනවා නම් මහ පොතක් ලිවිය හැකිය. මේ වියතා තමාට ජීවිතය හා ලෝකය ගැන කියා දුන් ගුරුන් ගැන කීමට අද මගේ ගුරු තරුව මණ්ඩපයට ගොඩ වදී.

● ජීවන මායාව

මට මුලින්ම මතක් වෙන්නේ විශ්ව සාහිත්‍ය අපේ සිංහල සාහිත්‍යයට පෙරා දුන් කිරින්දගොඩ ගමගේ කරුණාතිලක ගුරුතුමා ගැනයි. කේ. ජී. කරුණාතිලක නම් මේ මහා පරිවර්තකයා ගුරුතුමා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ආවේ 1955 දී. අප තරමක පුංචි කොලු ගැටව්. එතුමා මුල් කාලේ ලියූ ‘ජීවන මායාව’ නම් කෘතියක් අප වශී කළා. එය ස්වතන්ත්‍ර නිර්මාණයකි. යෞවන ප්‍රේමය හා මුසු වූ කතාවක් මෙහි තිබුණේ. අප ගුරුවරයා හමුවෙලා මේ ගැන ඉහළින් වර්ණනා කළා. එතුමා කීවේ ‘ඒක එච්චර සලකන්න ඕනෑ පොතක් නොවෙයි. එච්චර දෙයක් නෑ. ජීවිතය හා ලෝකය හොඳින්ම දකින්න නම් තවත් විශ්ව සාහිත්‍යයේ පොතුත් කියවන්න කියලයි. බලන්න! එතුමාගේ තිබෙන නිහතමානීකම. පාසල් දරුවන් වෙච්ච අපට කවරදාවත් තමාගේ අභිමානය එතුමා කියා නෑ.

● මඑපෙ දේශපාලනය

තවත් ගුරුවරයෙක් මේ සමගම මතකයට එනවා. එතුමා එල්. ගුණදාස පෙරේරා. මේ රෝද දෙක තමයි අපව තල්ලු කරගෙන ආවේ. තලංගම බටපොත කොරාඹේ කියන හරියේ ගුණදාස සර් හිටියෙ. හැබැයි! මෙතුමා දේශපාලනය කළා. පිලිප්ගේ මහජන එක්සත් පෙරමුණට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ ගුරුවරුන්ට එහෙම දේශපාලන පක්ෂයක නිලතල අරගෙන කටයුතු කරන්න නිදහසක් තිබුණා ද කියා මා දන්නේ නෑ. එතුමා එහෙම කළා. ඒ නිසාම අපිත් පිලිප්වාදීන්ම වුණා. ආගම, සංස්කෘතිය, අපේකම, ජාත්‍යාලය ඒ කාලේ තිබුණෙ මහජන එක්සත් පෙරමුණු දේශපාලනයේ.

● සුළු නගර සභා

ඒ කාලේ පළාත් පාලන ක්‍රමය අනුව සුළු නගර සභා කියලා ආයතනයක් තිබුණා. අපේ ගුණදාස සර් බත්තරමුල්ල – තලංගම සුළු නගර සභාවේ සභාපතිවරයා. එහි පුස්තකාලය ආරම්භ කරන දවසෙ සර් අප වගේ පාසල් දරුවන්ටත් එහි සහභාගි වන්නට අවස්ථාව සලසා දුන්නා. හරිම අපූරු අවස්ථාවක්. අපේ පත්‍ර කලාවේ ලේඛන කලාවේ මහ දැවැන්තයොත් මේ අවස්ථාවට සහභාගි වෙන බව අපට දැනුම් දීලත් තිබුණා.

අපේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හා ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ පොතත් පරිවර්තනය කළ විශිෂ්ට පරිවර්තක ඒ. පී. ගුණරත්නත් පුස්තකාලය විවෘත කිරීමට ඇවිත් තිබුණා. අප බොහෝ දේ ඉගෙන ගත්තේ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන්, වියතුන් සභා මැද හොඳට ඒ දේශනවලට ඇහුම්කන් දීමෙන්. ඒ අවස්ථාව ලබාදුන් එක් ගුරුවරයෙක් තමයි ගුණදාස ගුරුතුමා.

සාමාන්‍යයෙන් ඒ. පී. ගුණරත්න මහත්මයා මහා තරබාරු කෙනෙක්. වික්‍රමසිංහ මහත්මයා කෙසඟ සිරුරක් තියෙන කෙනෙක්. මේ පුස්තකාලය විවෘත කළ අවස්ථාවේ ගුණදාස සර් අපූරු කතාවක් පැවැත්වූවා.

ගුණරත්නගේ එකතු කිරීම හා වික්‍රමසිංහගේ මුදාහැරීම

“ඒ. ජී. ගුණරත්න මහත්මයා අපේ සාහිත්‍යය විතරක් නොවේ විශ්ව සාහිත්‍යයත් කියවලා කියවලා ඉතාම පෘෂ්ටිමත් ශරීරයක් හදාගෙන ඒක ඇඟේ තියාගෙන ඇඟ පුරොා්ගෙන ඉන්නවා. වික්‍රමසිංහ මහත්මයා එහෙම නොවේ. එතුමා විශ්ව සාහිත්‍යයෙන් හා දේශීය සාහිත්‍යයෙන් උරා ගත් සියලු දේ පොතින් ලේඛනයෙන් එළියට මුදාහැර තිබෙනවා. ඒ නිසයි එතුමා තරමක් කෙට්ටු වෙලා තියෙන්නේ.”

මේ කතාව අහලා අපට හරිම සතුටුයි. බලන්න! රසවත්ව ලියනවා වගේම කතා කරන හැටි. මේවා අපට ගුරුපදේශ. එතුමා ග්‍රන්ථ නාම සකස් කරන හැටිත් අපූරුයි. ලෙනාඩ් වුල්ෆ්ගේ VILEGE IN THE JUNGLE කියන කෘතියට ‘වන මැද ගම’ වගේ නම් තිබුණත් එතුමා ගත්තේ ‘බැද්දේගම’ කියන නියම නමයි. බැද්ද විසින් මේ ගම ගිලා ගන්නා බවයි අන්තිමට පාඨකයාට ඒත්තු යන්නෙත්. සිළිඳුලා බබුන්හාමිලා, ආරච්චිලා මේ සියලු දෙනාගේ ඛේදාන්තය මැනවින් නිරූපණය වෙනවා. චරිත සකස් කරගන්නකොට ඒ චරිත සකස් වන ආකාරයත් අපට ඉගැන්වීමක්. මේවා රසවත්ව කේ. ජී. කරුණාතිලක ගුරුතුමාත් ගුණදාස ගුරුතුමාත් අපට කියා දෙනවා.

● මූඩි ජිට් එක

ඒ. පී. ගුණරත්න මහත්මයාගේ සංදර්ශනය බලන්න. එතුමා විශ්ව කෝෂයේ කර්තෘත් වෙලා හිටියා. අප කතා කරමින් ඉන්න නුගේගොඩට කිට්ටු කැස්බෑවට හැරෙන තැනකයි එතුමා පදිංචි වෙලා හිටියේ. අපේ ගෙවල් ඉස්සරහ එළවළු හා මාළු ආදිය කඩ දෙක තුනක් තිබුණු පුංචි පොළක් තිබුණා. අද ඒක හුඟක් දියුණුයි. මේ කඩපිලට එතුමා ෆුට් බයිසිකලයක් පැදගෙන එනවා. තරබාරු බව නිසා එතුමා වාඩි වුණාම බයිසිකලේ ආසනය පෙනෙන්නේ පුංචි මූඩියක් වගේ. මේකෙ බඩු මුට්ටු ටිකක් එල්ල ගෙන දෙකට නැමූ මුරුංගා කරල් එල්ලෙමින් තිබියදී එතුමා යනවා. මේ තරම් විද්වතෙක්. පරිවර්තකයෙක්ගෙ වටිනාකම අපට දැනුණේ පස්සෙ. එතෙක් එතුමා මේ විදියට ලගේජ් එකේ බඩු එල්ලාගෙන මුරුංගා වැටකොළු එල්ලගෙන මූඩියක් උඩ වාඩි වෙලා යන ගමන අපට නිකම් විහිළුවක් වගේ. ඒත් ඒ ශ්‍රේෂ්ඨයා තමන්ගේ නිහතමානයමයි ප්‍රකට කළේ.

අපට සාහිත්‍යය සංගමයක් තිබුණා. හැම සිසුවාම එක් දවසක කතා පවත්වන්න ඕනෑ ඒක තමයි කරුණාතිලක සර්ගෙයි. ගුණදාස සර්ගෙයි නියමය.

● කතාවට හැංගිමුත්තං

මා ඉදිරියට තල්ලු කළ යෝධ රෝද දෙක ගුණදාස සර් සහ කේ.ජී.කරුණාතිලක සර්

මමයි, අජන්තා රණසිංහයි, කරුණාරත්න අමරසිංහයි ඉතින්! සර්ලාගේ ගෝලයෝ, අජන්තයි මායි හැංගෙනවා කතා කරන්න තිබෙන දවසට. ඒත් සර්ලා අල්ලගෙන කතා කරන්න දානවා. සමහර දාට කිසියම් සාහිත්‍ය කෘතියක් ගැන කෙටි කතාවක් කරන්නට තිබුණා. මේකෙන් දේශපාලන පක්ෂ ක්‍රමයක් තිබුණා. කණ්ඩායම් තුනක් හිටියා. සිරි රහල් පෙරමුණ, එක්සත් සඟබෝ පෙරමුණ, කුමාරතුංග පෙරමුණ කියලා මං සිරි රහල් පෙරමුණේ සිසුවෙක්. ආරියපාල ගුණතිලක සර් එක්සත් සඟබෝ පෙරමුණට බලය ඉල්ලනවා. ඩී. ලියනමාන්න මහත්මයා සිරි රහල් පෙරමුණට ඡන්දය ඉල්ලනවා. බලය ලැබුණු කට්ටිය තමයි දේශන, සංවාද, සම්මන්ත්‍රණ ආදිය සංවිධානය කරන්නේ. අපට බලය ලැබුණු වෙලාවක මා ප්‍රකට නර්තනවේදී බැසිල් මිහිරිපැන්න මහතා ගෙන්වූවා. එතුමා චාතුර් අභිනය අපට ඉතාම මැනවින් කියා දුන්නා. රස නවය ඉතාම රසවත්ව කියා දුන්නා.

● කෙටිකතා උගන්වපු හැටි

‘සංස්කෘති’ සඟරාව අප කියවන්න උනන්දු කළේ කරුණාතිලක සර්. ඒවා කියෙව්වාද කියා ප්‍රශ්නත් අහනවා. ඒ නැණ නුවණ දුන්නේ අපේ උතුම් ගුරුවරු. ඉතාම ආකර්ෂණීයව ලියන්නේ කොහොමද? කියන එකත් කරුණාතිලක ගුරුතුමා උගන්වනවා. එතුමා ලංකාවේ කෙටිකතාවක් ගැන කියනකොට ඒකට ආසන්න ලෝකයේ විශිෂ්ට කෙටිකතා සසඳා අපට කරුණු කියනවා. පුදුම රසයක්. ගෝර්කිගේ, මෙපල්ස්ටෝයිගේ, ගොහොල්ගෙ, ඩෙකොෆ්ගේ කතා ගළපා ඉතාම චමත්කාරජනක වින්දනයක් අපට දුන්නා. කරුණාතිලක සර්ගේ ‘බිංගෙයි සිරකරුවා’ පොත සරසවි ප්‍රවේශ පන්තියට නිර්දිෂ්ට ග්‍රන්ථයක්. ඒ පොතත් කියවලා ඕනෑම ප්‍රශ්නයක් අහන්න කියනවා.

ගුණදාස සර් ‘දරදිය ඇද්දෙමි’ කියලා නවකතාවක් ලීවා. එතුමා පාලි, සංස්කෘත, සිංහල මහා උගතෙක්. ආනන්ද මහා විද්‍යාලයේ ලක්ෂ්මන් දේවසේන සර් අපේ ගුණදාස සර්ට බලපෑ විද්වතෙක් බව අපට කියා තිබෙනවා. එතුමා පාලි භාෂා තුන් සූත්‍රය කවියෙන් සකස් කළා. ඒක ඒ කාලෙ ගුවන්විදුලියෙ ශාස්ත්‍රීය වැඩසටහන්වල සාරය එකතු කරලා ගහන ‘තරංගනී’ සඟරාවෙ පළ වුණා. මේවා අපට කියවන්න හැඳිනගන්න ගුණදාස සර් ක්‍රියා කළා.

● හදවතින් හරසර

මේ ගුරුවරයායි ගෝලයායි එකතු වෙලා ‘හදවතින් හරසර’ කියලා පොතක් කළා. ලක්ෂ්මන් දේවසේන මහත්මයයි අපේ ගුණදාස පෙරේරා සර් දෙන්නා. උභය කර්තෘ නමින් එදා දෙන්නාගෙම නම් පළවෙද්දී තමයි ගුණදාස සර්ට එන (එල්) කියන එකේ අර්ථය හසුවුණේ. ඒකෙ සඳහන් වුණාට ගුණදාස ලොකුකැටගොඩ එල් කියන්නෙ ලොකු කැටගොඩ. ගුණදාස සර් සංස්කෘත භාෂා පඬිවරයෙක් බව මා කීවා. එතුමා හැදුවා සංස්කෘත නාට්‍යයක්. ‘සෙනෙවි පදවිය’ නාට්‍යයේ නම. ඒකෙ වීරකේතු චරිතය රඟපෑවේ මමයි. විශාල ප්‍රතිචාර ආවා. ගුරුවරයාගේ ප්‍රසාදය තමයි මගේ ජයග්‍රහණය.

● අපූරු රසවත් හැඳින්වීම්

ඩී. බී. ධනපාල මහතා පත්‍ර කලා මහැදුරා ඒ කාලේ විවිධ ක්‍ෂේත්‍රවල කූඨ ප්‍රාප්තියට පත් විවිධ වෘත්තියන් පිළිබඳ ඉතා වටිනා ලියවිල්ලක් ඉංග්‍රීසියෙන් කළා. ඒ චරිතපදානයේ නම AMONG THOSE PRESENT ඒකෙ සරච්චන්ද්‍රයන් හඳුන්වා දෙන තැන එතුමා හඳුන්වා දෙන්නේ මෙහෙමයි.

ජේ. ඩී. පෙරේරා වෙස්සන්තර රජ්ජුරුවන් වගේ ඇඳුම් ආයිත්තම්වලට සල්ලි වියදම් කරමින් ‘වෙස්සන්තර’ කරද්දී සරච්චන්ද්‍ර මහත්මයා එතුමාගේ බිරිඳගේ පරණ සාරි ආදිය ඇඳුම් ආයිත්තම් ලෙස සකස් කරමින් ‘මනමේ’ නිර්මාණය කළා යනුවෙන් ලිවිල්ල එකක් රසට ලිවිල්ල තව එකක්. එතුමා ඩී. එස්. සේනානායක අගමැතිතුමා ගැන ලියන්න පටන් ගත්තේ එතුමාගේ චරිතය ගැන කියනකොට කිසිම විශේෂතාවක් සඳහන් කළ නොහැක්කේ එතුමන් කිසිම විශේෂතාවක් ඇතිව නොසිතන ජීවත් වන කෙනෙක් නිසයි” කියමින් මෙවැනි ප්‍රකාශවලින් ලියවිලිවලින් අප පෝෂණය ලැබුවා. ඊටත් අමතරව මා පෝෂණය කළ තවත් අනියම් ගුරුවරුන් දෙපළක් ඉන්නවා. ඒ ‘සිළුමිණ’ හා ‘ගුවන්විදුලිය’යි. විශේෂයෙන් නිශ්ශංක මහත්මයාගේ කාලයේ වික්‍රමසිංහයන්ගේ කාලයේ, මීමන ප්‍රේමතිලකයන්ගේ කාලයේ අප ඉතා බොහෝ උගත්තා. ගුවන්විදුලියෙන් සරච්චන්ද්‍ර පී. වැලිකල, සුගතපාල ද සිල්වා හා වෙනත් ශ්‍රාස්තීය වැඩසටහන් මා පෝෂණය කළා.

● අපි ඔක්කොම

ශාන්ත ජෝන් විදුහලේ ‘කලා පුබුදුව’ සඟරාව කරන්නටත් අප මෙහෙයුවේ මේ ගුරුවරු 1957 සී මා ‘ළමා හඬ’ නමින් අතින් සකස් කළ සඟරාව කරද්දී මා අගය කළේ ගුණදාස සර්. කරුණාතිලක සර්. ඒ අනුව තමයි පවුලෙ සුනිලුයි, මගේ නංගියි එකතු වෙලා ‘අපි ඔක්කොම’ නමින් කුඩා පොත ලීවේ. අපේ ගුරුවරුන්ගේ මෙහෙයවීම මත ශාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් 1964 පාසල් නාට්‍ය තරගාවලියට මාත් පිටපත් රචනා කරමින් නාට්‍යයක් කළා. ඒකෙ නම ‘දෙන දෙයියෝ’ සුනිල් මල්ලී තමයි නිෂ්පාදනය කළේ. මට මතකයි සුනිල් ආරියරත්න තමයි බෙරය ගැහුවෙත්. චන්ද්‍රසේන දසනායක හොරණ විද්‍යාරතනය වෙනුවෙන් ‘හැමදා නියං’ නාට්‍ය ඉදිරිපත් කළා. ලුම්බිණි රඟහලේ තමයි සියලු නාට්‍ය වේදිකාගත කළේ. සුනිල් සිසුවෙක් ලෙස දෙන දෙයියො නිෂ්පාදනය කළත් චන්ද්‍රසේන දසනායක ගුරුවරයෙක් ලෙසයි හැමදා නියං නිෂ්පාදනය කෙරේ.

අපේ ජීවිතේ තවත් ලස්සනම කාලයක් එළැඹෙන්නේ ගුණසේන ගලප්පත්ති මහත්මයාගේ ‘මුහුදු පුත්තු’ අපේ ඉස්කෝලෙ ශාන්ත ජෝන් විද්‍යාලයේ පුහුණුවීම් කරන්න පටන් ගත්තාමයි.

පාසල ඇරුණාම මල්ලියි මමයි මේ පුහුණුවීම් බලන්න නතර වෙනවා. සර්ලාත් ඒක අනුමත කරනවා. ධම්ම ජාගොඩ, සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, සුමනා ජයතිලක, මිරැන්ඩා හේමලතා වගේ ශිල්පීන් පුහුණුවට ඇවිල්ලා ඉන්නවා. අප දෙන්නාත් ටිකින් ටික ‘මුහුදු පුත්තු’ නාට්‍යය කණ්ඩායමේ යාළුවෝ වෙනවා. ගලප්පත්ති මහත්මයාව අප පිළිගන්නවා.

● පෙළ මතක් කරන්නා

නළු නිළියන්ට තේ අල්ලන එක. පුටු ඩෙස්ක් එහාට මෙහාට කැර ඉඩ ප්‍රස්ථා දීම වැනි දේ කරමින් අපත් දැන් නොදැනුවත්ම මුහුදු පුත්තු කණ්ඩායමට ඇතුළු වෙනවා. ටික කලක් යනකොට වේදිකා පරිපාලන කටයුතු කළ බී. පී. කුමාරපතිරණ හරහා අපි පිටපතේ පෙළ මතක් කරන්නන් බවට පත් වෙනවා. Pronter කියන්නේ. සුනිල් එහා පැත්තේ තිරයේ එල්ලිලා නළු නිළියන්ට පෙළ මතක් කරනවා. මම මෙහා පැත්තෙ තිරයේ එල්ලිලා නළු නිළියන්ට පෙළ මතක් කරනවා.

නාට්‍ය රට පුරා යන්න ගත්තාහම අප දෙන්නත් රට පුරා යනවා නාට්‍යයත් එක්ක. ගාල්ල, මහනුවර, කොළඹ, රත්නපුර මේ හැමතැනම යනවා. අපේ සේවයට එක් අයකුට රුපියල් 10 ක් ගලප්පත්ති මහත්මයා ගෙව්වා. මේ හැම දෙයක් ගැනම අපේ ගුරුවරු දෙන්නා බලා ඉඳලා අප දිරිගන්වනවා.

● හඬක් තිබුණු සීදුවෙ කොල්ලා

ප්‍රේමසිරි කේමදාස මහත්මයා 1959 – 60 පමණ කාලේ ඉඳන් පර්යේෂණ නාට්‍ය සංගීත සංධ්වනි කරනවා. මට මතකයි නව නළු රසය කුළු ගන්වන ‘නවරැල්ල’ නම් නිර්මාණයත් ධර්මසිරි ගමගේ මහතාත් සමග කළා. ඒ කාලෙ එවැනි සංගීත ඔපෙරාවක් මාත් ලීවා ‘ක්‍ෂිතිජය’ කියා. මෙහි ගායනා කටයුතුත් පුළුවන් හොඳ තරුණ පෙනුම තියෙන නළුවෙකුගේ අවශ්‍යතාවක් තිබුණා. ඒ වෙලාවෙ කේමදාස මාස්ටර්ට සුගතපාල සෙනරත් යාපා හමුවෙලා කියලා තියෙනවා මගේ ‘හන්තානෙ කතාවට’ සම්බන්ධ වූ සීදුව පැත්තෙ කොල්ලෙක් ඉන්නවා. මිනිහාට ගායනත් පුළුවන් කියලා. ඒ අනුව තමයි විජය තුමාරතුංග කේමදාස මාස්ටර්ගේ ඔපෙරාවට සම්බන්ධ වෙන්නෙ. විජය හොඳට ඒ රඟපෑම කළා. පසුකාලීනව ගායකයෙක් ලෙස මතුවීමට විජයට හඬ පෞරුෂය හදා දුන්නේ ඒ හරහා බව මා සිතනවා. තිලකරත්න සිල්වා කියන කවියා පත්තරකාරයා බිහිවන විටම මැරී ගියාද? මම සාහසික ලෙස තිලක් මහතාගෙන් ඇසීමි.

● කවිකම පත්තරේට

නැහැ. ඒ කවීත්වය මං පත්තරේට ගෙනාවා. මං සියත පත්තරේ කර්තෘව ඉන්නකොට වූ වැඩක් කියන්නම්. ඌව වෙල්ලස්ස උපාධි ප්‍රදානෝතස්වයේදී ගෑනු ළමයි 4 දෙනෙක් එක සෙල්ෆියක් ගහනවා. ඒ ඡායාරූපය මා වෙත ආවාම ඒකට සුදුසු දෙයක් ලියන්නටත් ඕනෑ.

පොත පත උගෙන නිදි මරමින් රෑ තිස්සේ
පියවර තබා ඇදුරන් පෑ මග ඔස්සේ
සහතික ලබා සරසවියෙන් වෙල්ලස්සේ
එක සෙල්ෆියක ගොනු වෙමු මල් පොකුරක් සේ

ඒ විදියටයි මා ඊට සුදුසු කවිය ලීවේ.

පාරිභෝගික අධිකාරියට හැමදාම බලතල නෑ. ඒත් කරන්න තිබෙන කටයුතු විශාලයි. වෙළෙන්දා අසාධාරණ විදියට පාරිභෝගිකයන් ගසා කනවා. පාරිභෝගික අධිකාරියට රජය බලතල ලබාදුන් වෙලාවක මා ඒ ගැන මෙහෙම ලීවා.

බුරන්න පුළුවන් නීතියයි
හපන්න පුළුවන් නීතියයි එයි කියලා

පයින් ගස් හා පිරිමි උණ නම් ගස් වැවීමට ක්‍රියාත්මක වූ වේලාවේ මා සිරස්තලය යෙදුවේ මෙහෙමයි.

පයින් ගසයි පිරිමි උණයි
අපේ රටේ වවන්න යයි කියලා

පොල් කුරුමිණි වසංගතය රට පුරා පැතිර ගිය වෙලාවේ මං සිළුමිණේ දාපු සිරස්තලය ‘සුරතුර අනතුරේ’ කියලයි.

● කර්තෘගේ පෞරුෂය

මා විශ්වාස කරන දෙයක් තමයි පත්තරයකින් පිළිබිඹු වන්නේ කර්තෘගේ පෞරුෂය. කර්තෘවරයාට ගුරුවරයා බලපානවා මගේ ගුරුවරු දෙන්නා ගුණදාස සර් හා කරුණාතිලක සර් ලේක්හවුසිය කාලයක් තම රාජකාරි ස්ථානය නවාතැන්පළ කරගෙන තිබුණා. කරුණාරත්න අමරසිංහ, අජන්තා රණසිංහ වගේ ගෝලයොත් ඒ මගම ගත්තා.

කරුණාතිලක සර් කාලිදාසගේ මේඝ දූතය පවා එහි සුළු අපේ භාෂාව දිගේ ගෙනැවිත් අපට පොවා තිබෙනවා. විශ්ව සාහිත්‍යය අපට ළං කළේ එතුමා ගාර්සීයා ලෝකයේ මොන තරම් සාහිත්‍ය කෘති අපට පෙරා දුන්නාද? ඒ තරම් විශිෂ්ට ගුරුවරුනට මේ රට තවමත් සලකන්න පුරුදු වී නෑ.

හොඳම උදාහරණය නුගේගොඩ ජුබිලි කණුව ළඟ ජීවත් වූ පිටගම්කාරයෝ කරුණාතිලක සර් ජීවත් වූ ඒ පාර කේ. ජී. කරුණාතිලක මාවත නමින් නම් කරන්නට සූදානම් වෙද්දී ඒ නාම පුවරුව පෙරළා දමා ‘එක්වත්ත පාර’ නමින් එම පාර නම් කර තිබීමයි.

‘පිටගම්කාරයන්ට මෙහෙ ඉඩ නෑ’ එක්තරා වහසිබස් කියන්නෙක් එසේ කියා තිබේ. විශ්ව සාහිත්‍යය දැන ගත්තේ නැත්නම් අපේ සාහිත්‍යයෙන් පමණක් අපට ලෝකය විනිවිද දැකිය හැකිද? එතුමා කළේ අපේ සාහිත්‍ය කෙත අපට අස්වද්දා දීමයි. ඒකට කෘතගුණ නොදක්වන යුගයක තමාගේ අලුත්ම පොතක් පිට වනවිට තම ගෝලයා වන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට එතුමා පොත පිළිගන් වන්නේ මගේ ශිෂ්‍ය රත්නයට යනුවෙනි. ඒ සිසුවා මහ පත්තරයක කතුකම් කළත් කවරදාවත් තමන්ගේ පොතක් ගැනවත් කෙනෙක් ගැනවත් යමක් ලියා ගන්නට උනන්දු නොවූයේය. කිසිවක්ම ඉල්ලා නොසිටියේය. කුරුවිට බණ්ඩාරයෝ මා හට එසේ කීහ. එදා ගුරුවරුන් එහෙමය.

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment