හැනිබල්ගේ පැමිණිල්ලට වනීට වේවැල ගනී ද!

765

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පෙරේදා (22 වැනිදා) දඹුල්ලේදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේ තරග විනිසුරු කාර්යයේ නිරත වූ විනිසුරුගේ ක්‍රියා පටිපාටිය විවේචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් තරග තහනමක් පැනවීමේ ඉඩක් ඇති බව වාර්තා වේ.

තරගය අවසන් වූ පසු ක්‍රීඩාංගණය තුළ දී වනිඳු පෙන්නුම් කළ හැසිරීම පිළිබඳව හා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විනිසුරු ලින්ඩන් හැනිබල්ව විවේචනය කිරීම සම්බන්ධයෙන් එම තහනම පැනවීමට ඉඩ ඇත.

තරග විනිසුරු විසින් තරග තීරකවරයාට (ක්‍රිස් බ්‍රෝඩ්) සිදු කළ පැමිණිල්ලක් මත එම තහනම පැනවීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පෙරේදා (21දා) පැවති අවසන් විස්සයි20 තරගයේ ආන්දෝලනාත්මක නිපන්දුවෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වය හේතුවෙන් වනිඳු එසේ ක්‍රියාකර තිබුණි. තරගයේ අවසන් පන්දු 3 තුළ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 11 ක් අවශ්‍යව තිබූ නමුත්, තණතීරුවේ පතිත නොවී ඉණට ඉහළින් ඇදී ආ සිව්වැනි පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවන් විසින් සංඥා නොකළ අතර එය නිපන්දුවක් ලෙස පුනරූපනවලින් පැහැදිලිව දක්නට ලැබුණි.

“ඔව් ඇත්තටම ඉතිං ඒ වගේ එකක් ජාත්‍යන්තර තරගයක වෙන්න බෑ. ඒක ළඟින් ගියානම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ එච්චර උඩින් ගිය එකක්, මං හිතන්නේ තව ටිකක් උඩට ගියානම් බැට්ස්මන්ගේ ඔලුවෙ වදිනවා බෝලෙ. ඒ වගේ එකක් පේන්නේ නෑ කියන්නේ ඒ විනිසුරුවරයා ජාත්‍යන්තර මට්ටමට හරියන්නේ නෑ. ඉතිං එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම ගොඩක් හොඳ” යැයි වනිඳු පැවසීය.

එසේම මෙවැනි විනිසුරු තීරණ ද විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ (review) විමසා බැලීමේ අවස්ථාව ක්‍රීඩකයන්ට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව ද ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියේය.

කෙසේ නමුත් අයි.සී.සී.ය තවමත් නිශ්චිතව හසරංගට ක්‍රියාත්මක වන දඬුවම් සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නැත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment