සංචාරයට ඇවිත් අරගලයට එක්වූ සුදු කත: ආණ්ඩුවට නඩු ගාස්තු ගෙවන්න කෙලීට නියමවේ

2604

ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවැති 2022 වසරේ එම අරගල භූමියේ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් තමාගේ වීසා බලපත්‍රය වහාම අවලංගු කොට රටින් පිටව යන ලෙසට ආගමන විගමන පාලකවරයා විසින් ලබාදුන් නියෝගයක් හා ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කරමින් බ්‍රිතාන්‍ය ජාතික කෙලිග් ෆ්‍රේසර් නමැත්තිය ගොනු කර තිබූ අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

රුපියල් දෙලක්‍ෂ පනස්දහසක නඩු ගාස්තුවක් රජයට ගෙවන ලෙසට ද මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න හා ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල පෙත්සම්කාරියට වැඩිදුරටත් නියෝග කළහ.

නේවාසික වීසා මත මෙරට රැඳී සිටි තමන්ට නිකුත් කර තිබූ වීසා බලපත්‍රය සාධාරණ හේතුවක් නොමැතිව අවලංගු කොට 2022 වසරේ අගෝස්තු 15 වන දිනට පෙර රටින් පිටව යන ලෙසට ආගමන විගමන පාලකවරයා නියෝග කළ බවත් එකී නියෝගයට එරහිව සිය නීතිඥවරුන් මගින් තමන් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළ බවත් පෙත්සම්කාරිය එම අභියාචනාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි. එම අභියාචනාව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය දැක්වූ මූලික විරෝධතාවය පිළිගත් විනිසුරු මඬුල්ල එම නියෝග කළේය.

එම විදේශීය කාන්තාව අරගලකරුවන් සමග එක්ව විරෝධතා පුවරුවක් අතැතිව අරගලයට දායක වී තිබිණි. එමෙන්ම එකී දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment