භූ විද්‍යා හා පතල් කාර්යාංශයට අයත් අනුබද්ධ සමාගමක් වැට් බදු වංචාවක්

32

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට අනුබද්ධ ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විස් සමාගමේ ගණකාධිකාරිවරයා විසින් සිදුකරන ලද මහා පරිමාණ වැට් බදු වංචාවක් පිළිබඳව අමාත්‍යාංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අභ්‍යන්තර විගණන අංශය අනාවරණය කරයි.

ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විස් සමාගම මගින් අඹතලේ පවත්වාගෙන ගොස් ඇති වැලි විකිණුම් මධ්‍යස්ථානය හරහා රජයට අයවිය යුතු මිලියන ගණනක වැට් බදු ඉතා සූක්ෂම ලෙස කූට ගණනය කිරීම් මගින් මෙම ගණකාධිකාරිවරයා විසින් වංචාකර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ළඟම හිතවතෙකු තුන්වන පාර්ශ්වය ලෙස තෝරාගෙන එම පුද්ගලයා සමඟ එකතු වී මෙම මහා පරිමාණ වැට් බදු වංචාව අදාළ ගණකාධිකාරිවරයා විසින් සිදු කර ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම ඉහත සඳහන් කළ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් SPKS – 8150 අංක දරණ මෝටර් රථය මනම්පිටිය වැලි ව්‍යාපෘතියට අදාළව සේවයේ යොදවා ඇති බව පවසමින් කූට ලේඛන සකසා රුපියල් ලක්ෂ දහයක් වංචා කර ඇති බවත් ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වා එම මුදල නැවත මෙම පුද්ගලයාගෙන් අය කර ගන්නා ලෙස එම විමර්ශනය මගින් නිර්දේශ ලබා දී ඇතත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොමැති බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

එමෙන්ම මෙම පුද්ගලයා ආයතනය සතු මිලියන ගණනක මුදල් ස්ථාවර තැන්පතුවල යෙදවීමේදී පොලී අනුපාත අඩු බැංකුකරුවන් සමඟ ගනුදෙනු කරමින් විශාල කොමිස් මුදල් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කෙරෙන බවත් සඳහන් කළ එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපතිවරයෙකුට විදේශ සංචාරයක් සඳහා රුපියල් මිලියනයක මුදලක් අයථා ලෙස ලබා දීමක් මෙම ගණකාධිකාරිවරයා විසින් සිදු කර ඇති බවත්ය. ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ සාවද්‍ය කරුණු ගොනුකර එය සූක්ෂම ලෙස යට ගැසීමට කටයුතු කරමින් සිටින බවත් එම ආයතන ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

රජයට මුදල් උත්පාදනය කරනු ලබන රාජ්‍ය ආයතනවල මෙවැනි දූෂිත ගණකාධිකාරිවරුන් දිගින් දිගටම කොන්ත්‍රාත් පදනම මත තබාගෙන වංචා දූෂණ කිරීමට අක්‍රමිකතා කිරීමට ඉඩ ලබා දී ඇත්තේ කුමන හේතුවක් මතද යන්න ප්‍රශ්නයක් බවත් මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයාට සෘජුවම කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් එම ආරංචිමාර්ග අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment