රනිල් හදන ආණ්ඩුව

748

‘උඩින් රනිල් යටින් බැසිල්. වැනි කූට වැඩක් – අනුර කුමාර දිසානායක

රනිල් හදන ආණ්ඩුව

සිරිමන්ත රත්නසේකර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය භාරගැනීමට කල් මරා පසුව කැමැත්ත පළකිරීම මනාලිය පෝරුවට නැග පෝරුවේ චාරිත්‍ර ඉටු කරද්දි ඇයට කැමැති යැයි පවසා ලියුමක් යැවීම හා සමාන කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 13 දා) සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරන ළපටි පරිණත නොවන දේශපාලනය මඟින් රට තුළ පවතින ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම ඔහු ගැන කතා කර වැඩක් නැතැයිද කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීම රාජපක්ෂ පවුලේ ඉදිරි සැලසුමක එක පියවරක් බවත් එය ‘උඩින් රනිල් යටින් බැසිල්. වැනි ආකාරයේ කූට කටයුත්තක් බවත් හෙතෙම චෝදනා කළේය.

රටේ දේශපාලන සංස්කෘතිය පවතින මහලු බවෙන් මුදාගෙන තරුණ අලුත් ජවයක් සහිත තත්ත්වයක් අවශ්‍ය බව පිළිගන්නා පුරවැසියන් සමඟ ඒකාබද්ධ වීම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අරමුණ බවත්” පවතින අර්බුදයේ පීතෘවරුන් සමඟ සිය පක්ෂයට කිසිදු ගමනක් නැති බවත් හෙතෙම පැවසීය.

අගමැති ධුරය දැරීමට රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ජනවරමක් නැති බවත් විකෘති පාර්ලිමේන්තුවට රට සහ ජනතාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට අයිතියක් නැති බවත් පැවසූ අනුර කුමාර දිසානායක එබැවින් නව පාලනයක් බිහි කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ද කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


සජබ සහාය දෙන්නේ නෑ: බහුතරයත් අප සතුයි – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

රනිල් හදන ආණ්ඩුව

චමින්ද සිල්වා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රජයක් පවත්වාගෙන යෑමට සමගි ජනබලවේගය පක්‍ෂයේ සහාය ලබාදෙන්නේ නැතැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළ ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැතැයි ද ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවකදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කර ගත යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් ඒ අනුව අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු කීය.

හැටනව ලක්‍ෂයේ ජනවරම හිමිවූ ජනාධිපතිවරයා රටම ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරනු ලැබුවේ රට හැදීමට නොව රාජපක්‍ෂ පවුල ආරක්‍ෂා කර ගැනීමට බවද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට කටයුතු කරනු ලැබුවේ හිටපු අගමැති මහින්ද” නාමල්” බැසිල් ඇතුළු කිහිපදෙනාගේ අවශ්‍යතාව මත යැයි ද මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය. විපක්‍ෂයේ 68 ක්” ආණ්ඩුවෙන් ඉවත් වූ 41 සහ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 10 ක් සිටින බවත්” ඒ අනුව විපක්‍ෂයට බහුතරය පවතින බවත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment