ඩෙංගුවලින් ආරක්‍ෂා වෙන්න බ්‍රසීලයෙන් එන්නතක්

86

දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලයේ බුටන්ටන්ට් ආයතනය මගින් නිපදවා ඇති නව ඩෙංගු මර්දන එන්නත හරහා ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් වැළකීම සඳහා සියයට 80 ක ආරක්ෂාවක් සලසන බව මෙතෙක් කරන ලද අත්හදාබැලීම්වලින් සනාථ වී ඇතැයි ‘නිව් එංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාව විසින් වාර්තා කර තිබේ.

බ්‍රසීලයේ බුටන්ටන් ආයතනය මගින් වසර ගණනාවක් මුළුල්ලේ කරන ලද පර්යේෂණවලින් පසු නිපදවා අත්හදාබලා ඇති මෙම එන්නත මගින් මෙයට පෙර ඩෙංගු රෝගයට ගොදුරු නොවූ අයට ඩෙංගු රෝගයෙන් වැළකීම සඳහා සියයට 80ක ආරක්ෂාවක් ද, මෙයට පෙර ඩෙංගු රෝගය වැළඳුණු අයට රෝගයෙන් වැළකීම සඳහා සියයට 89 ක ආරක්ෂාවක් ද සලසන බව අනාවරණය වී තිබේ.

මෙම නව ඩෙංගු මර්දන එන්නත ‘ටෙට්‍රාවලන්ට් බුටන්ටන් ඩෙංගු මර්දන එන්නත’ යනුවෙන් නම් කර තිබේ. මෙම ඩෙංගු මර්දන එන්නතේ සාර්ථකත්වය පිළිබඳව තොරතුරු හෙළි වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද තුන්වැනි අදියරේ අත්හදා බැලීමකදීය. මෙම අත්හදා බැලීම බ්‍රසීලයේ පවතින කලාප පහම ආවරණය වන පරිදි සෞඛ්‍ය මධ්‍යස්ථාන 16 කදී සිදු කර තිබේ.

මේ වන විට බ්‍රසීලය දරුණු ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ පා සිටින අතර එරට ජනගහනයෙන් සෑම ලක්ෂයකටම 107.1 ක් ඩෙංගු රෝගයට ගොදුරු වන බව හෙළි වී තිබේ. මේ අනුව සැම වසරකම බ්‍රසීල ජාතිකයන් මිලියනයක් පමණ ඩෙංගු රෝගයට ගොදුරු වන බව වාර්තා වී තිබේ. එරට ඩෙංගු රෝගයට ගොදුරු වන්නන් අතර මරණ අනුපාතය සියයට 0.9ක් බවද හෙළි වී තිබේ.

මෙවැනි වාතාවරණයක් මැද අත්හදාබලමින් තිබෙන මෙම නව ඩෙංගු මර්දන එන්නත ලබන වසරේ ජාතික මට්ටමේ එන්නතක් ලෙස හඳුන්වා දීමට බ්‍රසීල බලධාරීන් සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment