ශ්‍රී ලංකන් එයාර්ලයින් විකුණනකොට කට්ටිය සයිලන්ස්

824

‘එයාර් ලංකා’ කී කල හැත්තෑව අසූව දශකවල මේ රටේ තිබූ නොම්මර එකේ රාජ්‍ය සමාගමකි. 1979 දී එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එතෙක් මෙරට ක්‍රියාත්මක වූ Air Ceylon, Air Lanka ලෙස වෙනස් කළ පසුත් ඒ ආයතනය යස අපූරුවට ලාබ ලබන රාජ්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක විය. මේ රටේ අදත් එදත් කවදත් දේශපාලන නරුමයින් කළේ ලාබ ලබන රාජ්‍ය ආයතනවලට දේශපාලන හෙංචයියන් බුරුතු පිටින් දැමීමය. මැතිවරණ කාලයේදී දේශපාලකයන්ගේ බත් බැලයින් බවට පත්ව ඒ ඒ දේශපාලන පක්‍ෂයත්, දේශපාලනඥයා වෙනුවෙන් දරදිය අදින එකී දේශපාලන හෙංචයියන්ගේ දූ දරුවන් මෙවැනි ලාබ ලබන ආයතනවල රැකියාවලට යොමු කළේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ මුල් කාලයේ සිටමය.

එයාර් ලංකා ආයතනය යස අගේට සිය ව්‍යාපාරය කරගෙන යද්දී දෙස් විදෙස්වල මෙම ගුවන් සමාගම බැබළුණේ ශ්‍රී ලංකාවටත්, ලාංකිකයන්ටත් ආඩම්බරයක් එක් කරමිනි.

කාලයාගේ ඇවෑමෙන් ලාබ ලබමින් තිබූ එයාර් ලංකා පාඩු ලබන්නට ගත්තේ දේශපාලන අතපෙවීම් ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගිය පසුවය. ජේ. ආර්. මෙන්ම ප්‍රේමදාස පාලන සමයේදී සුළු වශයෙන් පාඩු ලැබූ මෙකී ආයතනය 1994 දී චන්‍ද්‍රිකාගේ රාජ්‍ය පාලනය සමයේදී පාඩුව දෙගුණ තෙගුණ වී ගියේ ඇසිල්ලෙනි. ඒ අනුව එයාර් ලංකා සතු කොටස් විකිණීමට චන්‍ද්‍රිකාගේ පාලනය අරඅඳින්නට ගත්තේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරන බවට ලස්සන නමක් ඈඳා ගනිමිනි.

ශ්‍රී ලංකන් එයාර්ලයින් විකුණනකොට කට්ටිය සයිලන්ස්

ඒ අනුව 1998 වසර වන විට ‘එයාර් ලංකා’ සතුව තිබූ කොටස් විකිනණි. එම කොටස් මිලදී ගනු ලැබුවේ එමිරේට්ස් (Emirates) සමාගම ය. ඒ ගත් තීරණය හරි හෝ වැරදි වුවත් 1998 සිට 2008 වසර දක්වා කාලයේදී රුපියල් මිලියන 22ක ලාබයක් ලැබීමට මේ ආයතනය සමත් වී තිබිණි. 2008 වසරේ දී රට පාලනය කළේ මහින්ද රාජපක්‍ෂ ය. 2008 වසරේදී හරි අපූරු වැඩක් සිදුවිය. ජනාධිපති මහින්ද එක්සත් රාජධානියට ගියේ යම්කිසි කටයුත්තකටය. හදිසියේම ඔහුට පෙරළා මෙරටට ඒමට අවශ්‍ය වී තිබිණි. ඒ කාලයේදී මෙම ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (CEO) ලෙස කටයුතු කළේ පීටර් හිල් මහතා ය. ඔහු විදේශිකයෙකි. ද්විත්ව පුරවැසිභාවය ලද අයෙකි. එවකට ජනපතිට පෙරළා ලංකාවට ඒම සඳහා ගුවන් යානයක් එවන ලෙස නියෝගයක් ලැබිණි. නමුත් ප්‍රධාන විධායක නිලධාරියා එම ඉල්ලීම හෝ නියෝගය තුට්ටුවකට ගණන් ගත්තේ නැත. ඒ ආකාරයට ගුවන්යානා මෙහෙයවීමට ගියොත් සමාගම බංකොලොත්වන බව ඔහු පවසා සිටියේ හේතු ඇතිවය. එවකට මෙරට ක්‍රියාත්මක වෙනත් ගුවන් සමාගමක යානයක් පිටවී ගොස් ජනාධිපතිවරයා මෙරටට ගෙන ඒමට සිදුවිය. අද ඒ ගුවන් සමාගමේ බෝඩ් ලෑල්ලවත් නැත.

ඒ අනුව දේශපාලන තීන්දුවක් ගැනිණි. 2008 වසරේදීම එමිරේට්ස් සමාගම සතුව තිබූ කොටස් ආපසු පවරාගත්තේ පාලකයන් එයාර් ලංකා ගුවන් සමාගම තනිකරම පාලකයන්ගේ බූදලයක් ලෙස සලකමිනි. 2010 වසරේදී සීමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ස්ථාපිත කළේ ඒ අනුවය. එතැන් පටන් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම කළ කී දේවල් විග්‍රහ කරන්නට ගියොත් පොත් දුසිම් ගණනක් බවට එය පත්ව යනු නිසැකය. රජයේ විගණකාධිපති වසරක් වසරක් පාසා සිය විගණන වාර්තා මගින් මේ ආයතනයේ දූෂණ, වංචා, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ කරුණු කාරණා හෙළි කළත් පාලකයන් ඒ පිළිබඳව තුට්ටුවකට මායිම් කළේ නැත. අවසානයේදී සිදුවී තිබෙන නස්පැත්තිය පමණක් අපි මෙසේ ලියා තබමු.

මේ වන විට ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි දහසයලක්‍ෂ හාරසිය හැත්තෑතුනකි. (කෝටි 16,473)කි. ඊට අමතරව මහජන බැංකුව, ලංකා බැංකුව, තෙල් සංස්ථාව ආදී ආයතනවලට ගෙවීමට තිබෙන ණය කන්දරාව රුපියල් කෝටි හතළිස්දහස් එකසියයක් (බිලියන 401)කි. මේ වන විට එම ණය කන්ද තවත් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව රටවල් විසිතුනකට ගුවන් ගමන් සිදුකරන එකකි. ඒ ගමනාන්ත තිස්හතක් අරභයාය. ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය වෙත සෘජු ගුවන් ගමන් සිදුකරන ලොව පිළිගත් ගුවන් සමාගමකි.

මෙම ගුවන් සමාගමට අයත් ශ්‍රී ලංකා කේටරින් සමාගම පසුගිය වසර අටක් තුළ දිගින් දිගටම ලාබ ලැබීය. නමුත් 2020 – 21 රුපියල් මිලියන 903ක් පාඩු ලැබීය. 2021 – 22 වන විට එම පාඩුව රුපියල් මිලියන 2796 දක්වා වැඩි වී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් ලෙස (Subsidiary Company) පිහිටුවාලූයේ 1979 වසරේ ය. ශ්‍රී ලංකාවට පැමිණෙන හා පිටවෙන ගුවන්යානාවල යන එන මගීන් සඳහා ආහාරපාන සැපයීම සඳහා මෙය ස්ථාපිත කළේය. ඒ අනුව 2011 – 2012 වන විට රුපියල් මිලියන 2494ක් ලාබ ලැබූ ආයතනය 2019 – 20 වන විට රුපියල් මිලියන 4760ක ලාබයක් ලැබීය. එතැන් පටන් මේ පාලිත සමාගමත් වළපල්ලට ගියේ දේශපාලන අඳබාලයන්ගේ හා සමාගමේ නිලධාරීන්ගේ දූෂිත, අකාර්යක්‍ෂම පරිපාලනය නිසාය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තවත් අංශයක් ඇත. ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල භූමි සේවා සැපයුම් (Ground Handling) කිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ය. ඒ අනුව 2011 – 12 වසරේදී රුපියල් මිලියන 3227ක ලාභයක් ලැබූ එම අංශය ඉකුත් වසර දහයේදීම ලාබ ලබා ඇත. 2021 – 22 දී ලැබූ ලාභය රුපියල් මිලියන 5009කි.

දැන් මේ කියන ආයතනය සුදු අලියෙකි. දෙස් විදෙස් හි කීර්තියක් ඉසිලූ මෙරට ප්‍රධානම ගුවන් සමාගම මුළු රටටම බරක් වී හමාරය. මහජන බැංකුවට හා ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 386කි. තෙල් සංස්ථාවට AASL සහ CAASL යන සමාගම්වලට ගෙවිය යුතුව තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 325කි. ගුවන් සමාගමට අයත් ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ කොටස් ලංකා බැංකුවට උකස් කර ලබා ගෙන තිබෙන බැංකු අයිරාව ඩොලර් මිලියන 80කි. රජයේ ඇපකරයක් මත අන්තර් ජාතික බැඳුම්කරයක් සඳහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 175කි. බදු කුලී ලෙස ගත් ගුවන්යානා සඳහා ද ඩොලර් මිලියන 80ක් ණය ය. රජයේ විගණකාධිපතිවරයා වාර්ෂිකව මෙකී ආයතනයේ දූෂණ, වංචා, මූල්‍ය අක්‍රමිකතා කළ නිලධාරීන් පිළිබඳ පිටු පිරෙන්න විගණන වාර්තා ලිව්වත්, හොරා කාපු කිසිවකුට නීතිය ක්‍රියාත්මක වී ද නැත. රජයට අහිමි කළ මුදල් නැවත අය කර ගැනීම සඳහා අධිභාර පැනවීමක් ද කර නැත. හොරුන්ගෙත් හොරු කම්බහොරු බව අපි දනිමු. මේ රට පාලනය කළ පට්ට හොරු ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම පමණක් නොව රාජ්‍ය ආයතන පනහක්ම වට්ටවා හමාරය. මහජන මුදල් හොරා කෑ උන්ට ලේ වමනය යා යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ නිකම්ම නොවන බව මේ අනුව පැහැදිලිය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment