රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 – 2021

2968

රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා විසින් එරික් ඉලයප්ආරච්චි මහතා වෙත සම්මාන ප‍්‍රධානය කරන අයුරු.

 රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020/ 2021 උළෙළ ජාතික උරුම ප‍්‍රාසාංගික කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (03 දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රධානෝත්සවය පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් එම වසරට හිමි සම්මාන ප‍්‍රදානය 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව එහිදී සිදු කෙරිණි.

 එහිදී 2021 හොඳම සිංහල ස්වතන්ත‍්‍ර නව කතාවට හිමි සම්මානය එරික් ඉලගප්ආරච්චි මහතා විසින් රචිත ‘මැස්සා’ නවකතාවට හිමි විය. මෙවර හොඳම කෙටි කතාවට හිමි රාජ්‍ය සම්මානය ද එරික් ඉලයප්ආරච්චි මහතා විසින් රචිත ‘කොළඹ දැනුම’ කෘතියට හිමිවිය. 2021 වසරේ හොඳම විවිධ විෂය ග‍්‍රන්ථයට හිමි සම්මානය ද ඔහු විසින් දිනාගනු ලැබීය. ‘බැද්දේගම කියවීම සහ සිළිඳු දැක්ම’ කෘතිය වෙනුවෙන් එම සම්මානය ප‍්‍රදානය කෙරුණි.

 ඊට අමතරව 2020 වසර වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකක් හිමිකර ගැනීමට ද ප‍්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි මහතා සමත් විය. ඒ අනුව මෙවර සම්මාන උළෙලේදී ඔහු විසින් හිමිකර ගත් සම්මාන සංඛ්‍යාව පහකි.

 බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශන සභාව හා ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව වාර්ෂිකව රාජ්‍ය සම්මාන උළෙල පවත්වන අතර මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන 78 ක් සහ සාහිත්‍ය රත්න 06 ක් පිරිනැමිණි.

 2021 වසර වෙනුවෙන් හොඳම ස්වතන්ත‍්‍ර පi සංග‍්‍රහයට හිමි සම්මානය ‘‘ඒ ජෙට් එකේ ගියේ සමන්සිරිමයි’’ කෘතිය වෙනුවෙන් ටිම්රාන් කීර්ති මහතා විසින් දිනාගන්නා ලදි. මෙරට සාහිත්‍ය උන්නතිය පිණිස කරන ලද මෙහෙවර පිණිස ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රත්න සම්මානය ද මෙවරත් ප‍්‍රවීණ සාහිත්‍යධරයන් හයදෙනකු වෙනුවෙන් පිරිනැමිණි.

 සිංහල සාහිත්‍යයේ ප‍්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ඉංග‍්‍රීසි සාහිත්‍ය ප‍්‍රගමනය වෙනුවෙන් කරන ලද මෙහෙවර අගයමින් ත්‍යාගරාජා අර්සනායගම් සහ දෙමළ සාහිත්‍ය ප‍්‍රගමනය වෙනුවෙන් කරන ලද මෙහෙය උදෙසා එම්. සිවලිංගම් යන මහත්වරු 2021 සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලැබූහ.

 2020 වසර සාහිත්‍ය රත්න සම්මානය ප‍්‍රදානය කරන ලද්දේ සිංහල සාහිත්‍ය වෙනුවෙන් කරන ලද සුවිසල් මෙහෙය වෙනුවෙන් ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ, ඉංග‍්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් නාමෙල් වීරමුණි සහ දෙමළ සාහිත්‍ය වෙනුවෙන් කේ. එස්. සිවකුමාර යන මහත්වරුන් වෙතය.

 2021 වසරේ හොඳම ස්වතන්ත‍්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ජයරත්න ඉහළකොඩිප්පිලි මහතා විසින් රචිත ‘අඟහරු ප‍්‍රත්‍යන්ත දේශය’ කෘතියට හිමිවිය. හොඳම ස්වතන්ත‍්‍ර සිනමා හා රූපවාහිනි කෘතිය ලෙස 2021 වසර වෙනුවෙන් තරුපති මුණසිංහ මහතාගේ ‘ශාබ්දික සිනමාව’ කෘතියට සම්මාන හිිමි වූ අතර, වසරේ හොඳම ශාස්ත‍්‍රීය හා පර්යේෂණ ග‍්‍රන්ථය ලෙස ආනන්ද අබේසිරිවර්ධන මහතා රචනා කළ ‘ධ්වනි සිද්ධාන්තාය හා පාරිහාරික විචාරය’ කෘතියට සම්මාන හිමිවිය. වසරේ හොඳම විෂයක ග‍්‍රන්ථයට හිමි සම්මානය ‘ශ‍්‍රී ලංකාවේ වැද්දෝ’ කෘතිය රචනා කළ හරේන්‍ද්‍රලාල් නාමල්ගමුව මහතා විසින් හිමිකර ගනු ලැබූ අතර, හොඳම පර්වර්තිත ශාස්ත‍්‍රිය හා පර්යේෂණ ග‍්‍රන්ථය ලෙස ලියනගේ අමරකීර්ති මහතාගේ ‘ඉතිහාසයක් තුළ සාහිත්‍යය’ කෘතියට සම්මාන හිමිවිය.

 හොඳම විවිධ විෂයක ග‍්‍රන්ථය (පරිවර්තිත) සම්මානය කුඩගම්මන සීලරතන හිමියන්ගේ ‘මැන්ඩෙලාගේ මඟ’ කෘතියට හිමි වූ අතර, හොඳම පරිවර්තිත සිංහල නවකතාවට හිමි සම්මානය හිමිවූයේ චූලානන්ද සමරනායක මහතාගේ ‘වීරයෙක් ඇවිත්’ කෘතිය වෙනුවෙනි.

 හොඳම පරිවර්තිත සිංහල කෙටිකතා සංග‍්‍රහය ලෙස සත්‍යපාල ගල්කැටිය මහතාගේ ‘අලියා අතුරුදන්’ හොඳම පරිවර්තිත පi සංග‍්‍රහය ලෙස සුනිල් විජේසිරිවර්ධන මහතාගේ ‘ගිම්හානේ යන්න ගිහින්’ වසරේ හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස චිත‍්‍රා අමරසේකර මහත්මියගේ ‘මැලෝරි ටවර්ස්වල අලූත් වාරයක්’ හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස අනුරසිරි හෙට්ටිගේ මහතාගේ ‘බන්ටෙකේ ළමයි’ යන කෘති මෙහිදී සම්මාන ලැබීය.

 හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමු කාණ්ඩය) සම්මානය 2021 වසර වෙනුවෙන් තනුජා එන්. අයගම විසින් රචිත ‘මැජික් පාට පෙට්ටිය’ කෘතියට හිමි වූ අතර, හොඳම ළමා සාහිත්‍ය කෘතිය (දෙවැනි කාණ්ඩය* සම්මානය වී. නන්දා පෙරේරා මහත්මිය රචනා කළ ‘ඉරහාමිට මොකද වුණේ’ කෘතියටය. හොඳම පිටකවරය සඳහා 2021 වසරේදී ‘අප්පුහාමිගේ කතා වස්තුව’ කෘතියේ කවර නිර්මාණය කළ බුද්ධික අමරසේන මහතා සම්මාන ලබා ගත්තේය.

 වසරේ හොඳම සිංහල නවකතාව ලෙස 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මානය කැත්ලින් ජයවර්ධන මහත්මියගේ ‘ඉවුරු ගඟ සිඳී ගියදා’ කෘතියට හිමි වූ අතර, 2020 වසරේ හොඳම ස්වතන්ත‍්‍ර කෙටි කතා සංග‍්‍රහය ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න මහත්මියගේ සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්’ වසරේ ප‍්‍රකාශිත හොඳම ස්වතන්ත‍්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස බුවනෙක වන්නිආරච්චි මහතාගේ ‘හත ත්‍’ හොඳම ස්වතන්ත‍්‍ර ගීත රචනා කෘතිය ලෙස කුසුම් පීරිස් මහත්මියගේ ‘සිහිනයකි ඔබ’, හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍ය කෘතිය ලෙස චාමික හත්ලහවත්ත මහතාගේ ‘රජා මං වහලා’ යන කෘති සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. වසරේ ප‍්‍රකාශිත ග‍්‍රන්ථ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත වැඩිම ග‍්‍රන්ථ සංඛ්‍යාවක් ප‍්‍රකාශයට පත් කළ ආයතනයට පිරිනැමෙන සම්මානය 2020 සහ 2021 යන වසර දෙක වෙනුවෙන් ම හිමිකර ගත්තේ ‘ඇස් ගොඩගේ සහ පුත‍්‍රයෝ’ පෞද්ගලික සමාගමයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment