JIGAR THANDA Double X නොකී කතාව

‘ඔබ කලාව තෝරාගන්නවා නොව, කලාව ඔබ තෝරා ගනී.’ කියන දෙබසත් එක්ක, කාර්තික් සුබ්බාරාජ් අධ්‍යක්ෂණය කළ Jigarthanda Double x දෙමළ චිත්‍රපටිය ආරම්භ වෙනවා. ඔබ සිනමාවට දැඩි ලෙස ආදරය කරන රසිකයකු නම්, ඒ චිත්‍රපටියට ඔබව අමන්දානන්දයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. සිනමාව ගැන මහා උමතුවක් නැතත්, ඔබ සාමාන්‍ය රසවතකු නම්, ඔබට සුන්දරම කතාවක් රසවිඳීමට අවස්ථාව මෙහිදී ලැබෙනවා. චිත්‍රපටිය එක්ක හදවත කම්පනය වෙන්නට පටන් ගන්නවා. සැබෑවට එය විවිධාකාර රිද්මයන් එක්ක පණ ගැහෙන සිනමාපටයක්. චිත්‍රපටිය විචාරයට ලක් කළ බොහෝ දෙනෙකුට මඟහැරුණු, එහි සඟවා ඇති අපූරු රහසක් මේ සටහන තුළ අප ඔබ හා බෙදා ගන්නවා.

මෙය 2014 දී තිරගත වූ ජිගර්තන්ඩා චිත්‍රපටියේ දිගුවක් ලෙස හැඳින්වූවාට, පළවැනි චිත්‍රපටියේ සහ දෙවැනි චිත්‍රපටියේ කතා එකිනෙකට සම්බන්ධ නැහැ. හමුවෙන චරිත සම්පූර්ණයෙන් වෙනස්. එහෙත් චිත්‍රපටි දෙකේම තිබෙන තේමාවන් එක හුයකින් යා වෙනවා. ‘ගැන්ග්ස්ටර්’ කෙනෙකු හෙවත් පාතාල නායකයෙකු සහ ඔහු හා එක්ව චිත්‍රපටියක් හදන්නට එන අධ්‍යක්ෂවරයෙකුගේ කතාවක් චිත්‍රපටි දෙකේම එනවා. ඔවුන්ට ඕනෑ පාතාල නායකයා උත්කර්ෂයට නංවන චිත්‍රපටියක් හදන්නයි. එහෙත්, අවසානයේ නිර්මාණය කරන්නේ කිසිවකු නොසිතූ අන්දමේ චිත්‍රපටියක්. සිනමාවේ බලයෙන් අධ්‍යක්ෂවරයාත්, පාතාල නායකයාත් වෙනස් වෙනවා. දෙදෙනාම අලුත් දේවල් ඉගෙනගන්නවා.

සුබ්බාරාජ්ගේ රූපමය සංකේත උපහාර පිදීම

ඒ අතරතුර අප මේ කතා කරන දෙවැනි චිත්‍රපටිය එයටම ආවේණික ලෙස තේමා කිහිපයකට ගමන් කරනවා. මෙය අසූ ගණන්වල දකුණු ඉන්දියාව තේමා කරගත් චිත්‍රපටියක්.

ඉතා අසරණ ගෝත්‍රික ජනකොට්ඨාසයක කතාව එක් ප්‍රධාන තේමාවක්. කොම්බයි වනයෙහි ඔවුන් වසනවා. එක් පසෙකින් පොලිස් වධහිංසනය සහ වනාන්තරය තුළ සිටින ෂේට්ටානි නම් වූ උමතු ගෝත්‍රික කණ්ඩායම අතින් ඔවුන් හිරිහැරවලට ලක් වෙනවා. ෂේට්ටානිව දඩයම් කිරීම සඳහා පිහිටු වූ පොලිස් මුරපොළේ අය, ෂෙට්ටානිට සම්බන්ධ යැයි සැකපිට ගෝත්‍රිකයන්ව කුදලාගෙන ගොස් පහර දෙනවා. මුහුණ නොපෙනෙන ෂෙට්ටානිගෙනුත්! මුහුණ පෙනෙන පොලිසියෙනුත්! කානාකල් නම් වූ උක්ත ගෝත්‍රික ජන කොටස පීඩා විඳිනවා. ඔබේ කතා රසයට බාධා නොකිරීම පිණිස, අප මෙතැන සටහන් නොකළත් මේ සියල්ල පසුපස තිබෙන නොසිතූ කතාවක් සිනමාපටය අවසානය වෙද්දී සියලුදෙනාට දැනගන්න ලැබෙනවා. දේශපාලනය ගැන තියුණු යථාර්ථයක් මේ සිදුවීම්වලට අදාළව චිත්‍රපටියේ අවසානයේදී හෙළිදරව් වෙනවා. අධ්‍යක්ෂක මේ කාරණය ගැන දක්වන තියුණු දේශපාලන කියැවීමත්, චිත්‍රපටිය අතිවිශිෂ්ට වන්නට එක් ප්‍රධාන හේතුවක්.

කෙසේ නමුත්, මේ අහිංසක ගෝත්‍රිකයන්ට ඕනෑ, තමන්ව ගලවාගන්නට වීරයෙක්. ‘හොඳ පොලිස්කාරයෙක් මදි. ඊටත් ඉහළින් ඉන්න කෙනෙක් එන්න ඕනෑ… එහෙම කෙනෙක් ඒවි!’ කියන දෙබස චිත්‍රපටියේ මුලින්ම එනවා. අප අවසානයේදී දැනගන්නවා ඇත්තටම ඒ වීරයා තනි පුද්ගලයෙකු නොව ‘සිනමාව’ එම වීරයා බව. ‘සිනමාව’ මේ චිත්‍රපටියේ එක් ප්‍රධාන පණ ගැහෙන ආත්මයක්. කැමරාව එක් ප්‍රධාන චරිතයක්. සිනමාව මේ චිත්‍රපටියට එන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ් කියන සිනමා ආත්මයට ආවේෂ වෙලා.

අප කලින් කී පාතාලයාගේ චරිතය රඟපාන්නේ රාඝවා ලෝරන්ස්. චරිතයේ නම අලියාස් සීසර්. ලෝරන්ස්ට ඔහුට හැට ගණන්වලදී, නවයොවුන් වියේදී ක්ලින්ට් ඊස්ට්වුඩ් මුණගැහුණාලු. ඒ, ඉන්දියාවේ ඊස්ට්වුඩ් රූගත කිරීමකට ආ අවස්ථාවක. ඊස්ට්වුඩ්ගෙ ජීවිතේ බේරගන්න ඔහුට පුළුවන් වෙනවා. ඊට පස්සේ ඊස්ට්වුඩ් ඒ තරුණයා වෙත සිය තොප්පිය තෑගි දෙන්නට උත්සාහ කරනවා. එහෙත්, තරුණයා ඉල්ලන්නේ මට තොප්පිය එපා, රිවෝල්වරය දෙන්න කියලයි. එහෙත්, තොප්පිය වෙනුවට ඊස්ට්වුඩ් කොල්ලාගේ අතට දෙන්නේ ‘කොඩැක් 8 මිලිමීටර්’ කැමරාවක්. එය බැලූ බැල්මට තුවක්කුවක පෙනුම තියෙන එකක්. කැමරාව තුවක්කුවකට සමාන නිසා තරුණයා හිතන්නේ, මේ මහා සිනමා නළුවා තමන්ගේ අතට දුන්නේ අන් කිසිවක් නොව, සෙල්ලම් තුවක්කුවක් කියලයි. ඒ වගේම එදා ඊස්ට්වුඩ් රූගත කරමින් සිටි චිත්‍රපටිය වන ‘සීසර්’ යන නම තරුණයා තමන්ගේ නාමය බවට පත් කර ගන්නවා. ඉන් පස්සේ මේ පාතාලයා ක්ලින්ඩ් ඊස්ට්වුඩ් රඟපාන චරිත අනුකරණය කරන්න පටන් ගන්නවා.

මෙය අපූරු සංකේතයක්. ඊස්ට්වුඩ් නම් වූ සිනමාකරුවා හෝ වෙන ඕනෑ සිනමාකරුවකු තමන්ගේ සිනමාවෙහි චරිත අතට තුවක්කු දෙනවා. එහෙත්, ශ්‍රේෂ්ඨ සිනමාකරුවන් තමන්ගේ රසිකයන්ට ‘තුවක්කුව අතට ගන්න’ යෝජනා කරන්නේ නෑ. එයාලා වක්‍රව හෝ යෝජනාවක් කරනවා නම් ඒ, කැමරාව අතට ගන්න කියන එකයි. තුවක්කුවෙන් වාගේම කැමරාවෙනුත් ‘ෂූට්’ කරන්න පුළුවන්.

එස්.ජේ. සූර්යා රඟපාන රේ දාසන් තමයි පාතාලයා හමුවට එන සිනමා අධ්‍යක්ෂවරයා. අධ්‍යක්ෂවරයෙකු කියා කීවාට, රේ දාසන්ට ඕනෑ සිනමාව පාවිච්චි කරලා අලියාස් සීසර් වෙත ළං වෙන්නටය. ඉතින්, මේ චරිත දෙකම අවංකව සිනමාවට ආදරය කරන්නේ නෑ. අවංකව කලාවට තමන්ගෙ ආත්මය පුද දීලා නෑ. ඒත්, චිත්‍රපටිය පුරාවට සිනමාව චරිතයක් විදියට මේ දෙන්නා පසුපස පන්නනවා. අන්තිමේ දෙන්නාම සිනමාව එක්ක සැබෑ ලෙසම බැඳෙනවා.

ඒ අස්සේ රේ දාසන් සහ අලියාස් සීසර්ගේ ගැටුමට නගරයේ දේශපාලුවන්, තව තව මැර කල්ලි ඇතුළු නොයෙකුත් අලකලංචි පාත් වෙනවා. ඉතින්, ඕක මැද්දේ ඔය නගරයේ රේ දාසන්- අලියාස් සීසර් කතාව ගමේ ගෝත්‍රිකයන්ගෙ කතාව එක්ක එකතු වෙනවා. නාගරික පසුතලයත්, වනාන්තර පසුතලයත් කියන දෙකම අපූරුවට එකම චිත්‍රපටියක අපට දක්නට ලැබෙනවා.

උපහාර පිදීම්

කාර්තික් මේ චිත්‍රපටියේදී රූපමය සංකේත තුළින් පැරණි සිනමාකරුවන් ගණනාවකට උපහාර පුදනවා.

අංක එකට අප දකින්නේ සිනමා වීර ක්ලින්ට් ඊස්ට්වුඩ්, අධ්‍යක්ෂ සර්ජියෝ ලියොනි සහ අධ්‍යක්ෂ ක්වින්ටන් ටැරන්ටිනෝ.

අති දැවැන්ත ඊස්ට්වුඩ් බැනර් එකක් සහිත- සීසර්ගේ තිප්පොළේ සිට, සීසර්ගේ ඇඳුම් පැළඳුම්වල සිට හැමදේම ඔහුට උපහාරයක්. රූපදර්ශන පෙළස්වා ඇත්තේ පෙර කී අධ්‍යක්ෂවරුන් දෙන්නාට ගෞරව පිණිස. සත්‍යජිත් රේට උපහාර පුදන්නේ රේ දාසන් කියන චරිත නාමයෙන්.

එතැන් පටන් රංගනයන් තුළදී රජිනිකාන්ත්ට, කමල් හසන්ට වගේම ටී. රාජේන්ද්‍රන් වගේ අයට පවා උපහාර පුදනවා. අප කලින් සිහිපත් කළා සර්ජියෝ ලියොනි කියන, ක්ලින්ට් ඊස්ට්වුඩ් එක්ක ඩොලර්ස් චිත්‍රපටි ත්‍රිත්වය කරපු අධ්‍යක්ෂවරයාව. සිනමා ඉතිහාසයේ සුවිශේෂීම මොහොතක් තමයි ඩොලර්ස් චිත්‍රපටි තුන. චිත්‍රපටියේ මුල් හරියේ අපි කලින් සඳහන් කළ ක්ලින්ට් ඊස්ට්වුඩ් දර්ශනතළයේ ඉන්න කොටසේදී- ක්ලැපර්බෝඩ් එක මත අධ්‍යක්ෂවරයා ලෙස සර්ජියෝ ලියෝනිගෙ නම සටහන්ව තිබෙනවා. එහෙත්, අප පෙර කී රහස සඟවා තිබුණේ ඔය ක්ලැපර්බෝඩ් එකේ.

මේ චිත්‍රපටිය අපි කලින් කීවා වගේ සිනමාව නම් වූ උත්තුංග කලාවට උපහාර පිදීමට කරපු චිත්‍රපටියක්. එහෙත්, කාර්තික් අපට ඍජුව වාගේම සංකේත තුළින් වක්‍රව කියනවා සිනමාව නම් වූ කලාව ජනතාවට ඇත්ත කියන්න වාගේම, ජනතාව ව්‍යාජයෙන් මුලා කරන්නත් පාවිච්චි කළ හැකි බව. කාර්තික්ම මේ චිත්‍රපටිය තුළ සිනමා රසිකයන්ගේ දෑස් ඉදිරිපිට බොරු කිහිපයක් කියනවා.

සුබ්බාරාජ්ගේ රූපමය සංකේත උපහාර පිදීම
සුබ්බාරාජ්ගේ රූපමය සංකේත උපහාර පිදීම

එක් බොරුවක් තමයි, අලියාස් සීසර්ගෙ අතට දෙන, තුවක්කුව නෙවෙයි, සුපර් 8 කැමරාවේ කතාව. සුපර් 8 කියන්නේ සිනමාකරුවන් දර්ශනතලවල කටයුතුවලට පාවිච්චි කරන, කුඩා කැමරා ප්‍රවර්ගයක්. එහි සිනමාපටය මිලිමීටර් 8 එකක්. මේ චිත්‍රපටියේ ඔබ දකින කොඩැක් සුපර් 8 කැමරාව 1965 දී නිෂ්පාදනය කරපු එකක්. ඒත්, චිත්‍රපටියේ හැටියට ක්ලින්ට් ඊස්ට්වුඩ් ඒ කැමරාව අලියාස් සීසර්ගෙ අතට දෙන සිදුවීම එන්නේ 1960 දී. එමෙන්ම මේ චිත්‍රපටියේදී අපට හැඟෙන්නට සලස්වනවා මේ කැමරාවෙන් රූ දර්ශන, හඬ ඇතුළු සියලු දේ පටිගත කළ බවක්. ඒ වගේම අතේ තබාගෙන රූගත කළ හැකි මේ කුඩා කැමරාවෙන්, චලනය නොවෙන – ස්ථාවර රූප පටිගත කළ හැකි බවක් හඟවනවා. එහෙත්, මේ කැමරාවට හඬ පටිගත කළ නොහැකියි. එමෙන්ම මෙවැනි කැමරාවකින් අතේ තබාගෙන නුපුහුණු කෙනෙකු රූගත කළොත් එවැනි දර්ශන චලනයෙන් පිරුණු අස්ථාවර දර්ශන විය යුතුයි. ‘හෑන්ඩ්හෙල්ට්’ පටිගත කිරීමක් ‘ෂේකි’ වන බව ඕනෑ සිනමාකරුවකු දන්නවා.

කාර්තික් තදබල සිනමා රසිකයන් වෙනුවෙන් කරපු මෙවැනි චිත්‍රපටියක සිනමාවේ තාක්ෂණය ගැන බැලූ බැල්මටම ව්‍යාජ කරුණු පෙන්වන්නේ ඇයි?

එපමණක් නොවෙයි, සැබෑ සිනමා ඉතිහාසය තුළ ඊස්ට්වුඩ් සහ සර්ජියෝ ලියොනි ඉන්දියාවේ කරපු ‘සීසර්’ නම් වූ චිත්‍රපටියක් නැහැ.

සිනමාව යනු යථාර්ථය නොවෙයි, ඕනෑ ව්‍යාජයක් ඒත්තු ගැන්වීමේ හැකියාව සිනමාවට තියෙනවා. ෂොන් ලුක් ගොඩාර්ඩ් වැනි සිනමා රචකයකු කියා ඇත්තේ ලොව සුන්දරම ව්‍යාජය සිනමාව බව.

ඔබව නපුරට ආදරය කරවන්නත්, ඔබේ දුක අමතක කරවා හිත සැහැල්ලු කරවන්නත්, සත්‍යය පසක් කරන්නත්, මිථ්‍යාවෙහි ගිල්වන්නත්, බොරු බලාපොරොත්තු දෙන්නටත්, ඔබව ප්‍රේම කරන්නට පොළඹවන්නත් ශක්තිය සිනමාව සතුයි. ඇතැම් රටවල සිනමාකරුවන් තමන්ගේ රටේ සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින් සමාජය එක්ක තියුණු සංවාද කරන්නට සිනමාව පාවිච්චි කර තිනෙවා.

පෙර කී ක්ලැපර්බෝඩ් එකේ ලියා තිබුණු සීසර් කියන නම ගැන කිව යුත්තේ එම පසුබිමේයි. සීසර් නමින් සර්ජියෝ ලියොනි හෝ ක්ලින්ට් ඊස්ට්වුඩ් චිත්‍රපටි කරලා නැහැ. එහෙත්, ඉරානයේ ක්ලින්ට් ඊස්ට්වුඩ් කියා ඇතැමුන් හඳුන්වන Behrouz Vossoughi රඟපෑ, ඉරාන නව රැල්ලේ සිනමාවේ මුල්ම චිත්‍රපටියක් වූ Qeysar නම් වූ 1969 වර්ෂයේ තිරගත වූ ඉරාන චිත්‍රපටියේ ඉංග්‍රීසි නාමය වන්නේ සීසර්. මේක අධ්‍යක්ෂණය කළේ Masoud Kimiai නම් වූ අධ්‍යක්ෂවරයා. ඉරාන සිනමා ඉතිහාසයේ, නව ප්‍රවණතාවක ඇරඹුම වූ වැදගත්ම චිත්‍රපටියක් මෙය. පසුකාලීනව ඉරානය ආගමික රාජ්‍යයක් බවට පත්වෙද්දී, මේ චිත්‍රපටිය තහනම් කළේලු. එසේ වුව අද දක්වාම, ඉරාන සිනමාකරුවන් තමන්ගේ සමාජය ගැන තියුණු සංවාද කිරීම සඳහා මෙම කලාංගය පාවිච්චි කරනවා. ඉරාන සිනමාකරුවාට සිනමාව කියන්නේම අරගලයක්.

ඉතින්, කාර්තික් මේ චිත්‍රපටියේදී වක්‍රාකාරයෙන් ඉරාන සිනමාවටත් උත්තමාචාර පුද කරනවා.

සුබ්බාරාජ්ගේ රූපමය සංකේත උපහාර පිදීම

මේ චිත්‍රපටියෙදී ‘ෂූටින්’ නම් වූ වචනයට පුදුම බරක් දෙනවා. චිත්‍රපටිත් ෂූට් කරන්න පුළුවන්. තුවක්කුවෙනුත් ෂූට් කරන්න පුළුවන්. එහෙත් ඒ දෙකෙහි වෙනස ඔවුන් තියුණු ලෙස පෙන්වනවා. චිත්‍රපටියෙහි එක් ප්‍රධාන රූපරාමුවක අලියාස් සීසර් තුවක්කුවත්, රේ දාසන් කැමරාවත් එකිනෙකා කෙරෙහි මානාගෙන සිටින්නේ එම තේමාව තනි රූපයකට කැටි කරමින්.

කාර්තික්ගේ සිනමාව තුළ නිතරම ඇති තේමාවක් වන්නේ පිරිමි- ගැහැනු අතර ඇති සම්බන්ධය. කාර්තික් දියුණු සිනමාකරුවකු වන්නේ එලෙස සඟවා ඇති දේවල් නිසා. ඔහුගේ චිත්‍රපටිවල සිටින කාන්තා චරිත රසිකයන්ගේ දෑස් පිනවන්නට එන අමතර අංග නෙවෙයි. චිත්‍රපටියේ කතාවට තීරණාත්මක බලපෑමක් කළ හැකි කාන්තා චරිත ඔහු ගෙනෙනවා. මෙම චිත්‍රපටියේදී අලියාස් සීසර්ගේ බිරිඳගේ චරිතය රඟපාන්නේ ඉන්දියාවේ නූතනයෙහි විශිෂ්ටම රංගන ශිල්පිනියන් දස දෙනා අතර තැබිය හැකි මලයාලම් සිනමාවට ආඩම්බරයක් වූ ‘නිමිෂා සජායන්’.

එමෙන්ම, මේ චිත්‍රපටියේ තවත් තේමාවක් වන්නේ සියල්ලට යට වී සිටින නිහඬ බියසුළුබව සහ අනෙකාව යටපත් කරගත් නපුරු මැරකම අතර පරස්පරය. රේ දාසන් බියගුල්ලෙක්. එහෙත් ඔහු කල්පනාකාරී සැලසුම් කරන්නෙක්. එහෙත් ඉතාම හැඟීම්බර සංවේදී කෙනෙක්. අලියාස් සීසර් සීමාව ඉක්මවූ නිර්භීතකමක් ඇත්තෙක්. ඔහු බියසුල්ලෙකු නම් නොවෙයි. එහෙත් දඩබ්බරයෙක්. කල්පනා නොකර වැඩ කරන්නෙක්. හැඟීම් මරා දැමූ කෙනෙක්. චිත්‍රපටිය අවසාන වෙන්නේ මේ පිරිමි දෙදෙනාම එකිනෙකාගේ පෞරුෂයන් දෙක එකිනෙකට මුහු කර ගැනීමෙන්.

එතැනින් එහාට මේ චිත්‍රපටිය තුළ තියෙන දේශපාලන දැක්මත්, පරිසරය- කැලෑව- අලිඇතුන් සහ ගෝත්‍රිකයන් සිනමා තිර රූපයට නැගූ විදියත් මේ චිත්‍රපටිය තවත් සුන්දර කරනවා.

එහෙත් ඒ සියල්ල මැද චිත්‍රපටියේ ඉතා ප්‍රබල දේශපාලන කතාව පවතිනවා. ‘පාලකයිනේ, ඇයි?’ කියන ප්‍රශ්නය චිත්‍රපටිය අප හමුවට ගේනවා. පාලකයන් මේ තරම් ජීවිත විනාශ කරන්නේ ඇත්තටම මොකක් වෙනුවෙන්ද කියන ප්‍රශ්නය අහනවා. දේශපාලන සහ ව්‍යාපාරික බලවතුන්ගේ ලාභාපේක්ෂාව වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත, පරිසරය ඇතුළු සියලු දේ විනාශ කරන අන්දමත්, ඒ වෙනුවෙන් ජනතාව නොමඟ යවමින් පීඩනය පවත්වාගෙන යන හැටිත් වැදගත් කෝණයකින් බලා ඉදිරිපත් කරන්නට කාර්තික් පෙළැඹී තිබෙනවා.

දේශපාලන තේමා තියෙන ජනප්‍රිය ධාරාවේ ෆිල්ම් ගණනාවක් අපි මෑත කාලයේ නැරඹුවා. බොහෝ ජනප්‍රිය වීරයන් දේශපාලන තේමා ඇති චිත්‍රපටිවල වැඩි වැඩියෙන් රඟපානවා. එහෙත් එවැනි ඇතැම් චිත්‍රපටිවල දේශපාලන තේමාව නිසා අප එම චිත්‍රපටිවලට කැමති වුණත්, සිනමාවේ උපරිම ශක්තිය පාවිච්චි කරන්නට ඒවා අසමත්.

සිනමාව යනු හුදෙක් කතාන්දරයක් කීම නොවෙයි. නවකතාව, නාට්‍යය, සංගීතය, චිත්‍ර, ඡායාරූපකරණය ආදී සකල කලාංගයන් ඒකාබද්ධව සැදුම්ලත් උත්තරීතරම කලාංගයයි සිනමාව. සිනමාව මායාකාරී සහ මෝහනකාරී ශක්තියක් තියෙන කලාවක්. කලින් කීවා වගේ හරි චිත්‍රපටියක් එක්ක අපේ හදගැස්මේ රිද්මයත්, හුස්ම වැටෙන අන්දමත් මුහු වෙනවා. හිත නැලවෙනවා, ගත නැටවෙනවා.

ලොව බොහෝ සිනමාකරුවන් ඒ බව නොදැන, තමන්ගේ මාවත සොයාගත නොහැකිව අතරමංව සිටියදී කාර්තික් සුන්දරම චිත්‍රපටියක් අප හමුවට ගෙනැවිත් තිබෙනවා. එය රසවිඳින්නැයි අප ඔබට ආරාධනා කරනවා.

● තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment