එනෝ… එනෝ… එල් නිනෝ…

192

මහා වර්ෂාව එක දිගට දින ගණන් මංමාවත් පිරී ඉතිරී යන්න වැස්සත් එක් දිනක ගිනියම් හිරු එළිය වැස්සක සලකුණකුදු නොතියා මහා පොළොව වියළා දමන’යුරු අපි අත්දකිමු. එහෙව් හිරු වැසි පොදකුදු බිම හෙළන්නට ඉඩ නොදී දින ගණනක් පුරා ගිනි රශ්මි ධාරා විහිදුවයි නම් මහා පොළොවට අත් වන ඉරණම කෙසේ නම් විග්‍රහ කරන්න ද… මේ උද්ගත ව ඇත්තේ එවන් ඉරණමක ඛේදනීය පළිගැනීමට මුහුණ දෙන මිනිසුන්ගේ අඳෝනාවලට සවන් දෙන කාලයකි.

නිරිත දිග මෝසම මැයි සිට සැප්තැම්බර් දක්වා අපේ රටට බලපානුයේ ගොවි දන කටයුතු ඉටු කර ගනිමින් ඔවුන්ගේ සතුටින් රටවැසි දන මන කුස ගිනි නිවා සනහාලනු වස් ය. එහෙත් මෙවර මැයි මස වැස්ස පැවති නමුත් ජුනි, ජූලි මාස දෙකේ දී ම වැසි දකින්නට ලැබුණේ ගොවිකම් නොමැති පළාත්වලට පමණි. එය ද අඩු වැඩි වශයෙනි. නිරිත දිග මෝසම් වැස්ස ශ්‍රී ලංකාවේ බටහිර හා සබරගමුව පළාත්වලට මෙන් ම මාතර, ගාල්ල, නුවරඑළිය, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලට ලැබෙන නමුත් මෙවර එම වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මක අඩුවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. කේ. කරුණාරත්න මහතා ද පවසයි. චුරු චුරු වැස්ස පැය ගණනක් එක දිගට ඇදහැලෙනු වෙනුවට තත්පර ගණනකදී මහා ධාරානිපාත වර්ෂාවක් තද සුළං ද සමග ඇද වැටී කාණු උතුරා, කඳු කඩා වැටී විපත් රැසක් ක්ෂණිකව සිදු කර කිසිත් සිදු නොවූවා සේ යළිත් උණුසුමින් වට පිටාව වෙලා ගන්නට මේ කාලයේ හිරු එළිය ප්‍රබල ය. එනිසා ම උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, සබරගමුව පළාත්වල බොහෝ ගොවිබිම් වියළී ඉරි තැලී ජලය සිඳී ඇතුවා පමණක් නොව එම පළාත්වල ජනයාට බීමට, නෑමට, සනීපාරක්ෂාවට පවා ප්‍රමාණවත් තරමට ජලය සොයා ගැනීම අභියෝගාත්මක ය. මෙහි ශෝචනීයත්වය වනුයේ නියඟය පවතින මෙකී ප්‍රදේශවලට වැසි ඇති වන්නේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කාලවලදී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීමයි. එනම් ඉදිරි මාස දෙක ද ඉඩෝරය පවතින බව යි. ඊට හේතුව “එල්නිනෝ” තත්ත්වයක බලපෑම ලෙස ද ඔවුහූ පැහැදූහ.

“එල්නිනෝ” තත්ත්වයකදී සිදු වන්නේ වැසි ගෙනෙන සුළං ධාරා වෙනුවට තෙතමනයක් නොමැති වියළි සුළං ධාරා ශ්‍රී ලංකාවට හමා ඒමයි. පැසිෆික් සාගරයේ පීරු දූපත් ආශ්‍රිත මුහුදු කලාපය මේ වනවිට දැඩි උණුසුම් භාවයකට පත්ව ඇති බැවින් සුළං සංසරණ පද්ධතියේ වෙනස්කම් ඇති කරමින් එකී මුහුදු කලාපය හරහා හමා යන සුළං ධාරා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසක කාලගුණ විපර්යාස කෙරෙහි මේ කාලයේ බලපෑම් ඇති කරමින් පවතී. මෙම අසාමාන්‍ය වියළි කාලගුණික තත්ත්වය තවත් මාස පහක්වත් එනම් ලබන වසරේ පෙබරවාරි මාසය දක්වාවත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය අනතුරු අඟවයි. ඇය පවසන පරිදි ඉදිරි මාසවලදී වියළි කාලගුණය තවදුරටත් උත්සන්න වනු ඇත. එසේ වුවත් දැඩි උණුසුම හේතුවෙන් වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීම හා සුළං රටාවේ වෙනස්කම් හේතුවෙන් වායු ගෝලයේ හට ගන්නා අඩු පීඩන කලාප, පීඩන අවපාත ආදිය හේතුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී සැලකියයුතු වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ද අනූෂා වර්ණසූරිය පෙන්වා දෙයි. එකී අනාවැකි සඵල වන තුරු අපට සිදු වනුයේ ඉදිරි මාස දෙක පුරාවට නියඟයෙන් හා උණුසුමින් බැට කෑමට ය. දැනටමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලියට අයත් ජලාශ රැසක් සිඳී යමින් ඒ ආශ්‍රිත වගා බිම් මියැදෙමින් සිටී. යල කන්නයේ වගා කළ කුඹුරු අක්කර හෙක්ටයාර් හාරලක්ෂ අසූ හය දහසකින් වී මෙටි්‍රක් ටොන් විසි ලක්ෂ අසූ නව දහස් අටසීයක් ලබා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අපේක්ෂා කර ඇති නමුත් ජලාශවල ජලය සිඳී යෑම එම අස්වැන්නට කණ කොකා හැඬීමකි. උඩවලව ජලාශය යටතේ වගා කළ වී අක්කර හැට පන් දහසක් ද මෙම ව්‍යසනයට ගොදුරු වී අනතුරට පත් ව ඇත. දෙසතියක් තිස්සේ ඇඹිලිපිටියේ ගොවියන් උද්ඝෝෂණ කරමින් සත්‍යග්‍රහයක නිරත ව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ පීදෙන ගොයම රැක දෙන ලෙස ය. අක්කර හැත්තෑපන්දහසක වගාබිම් ප්‍රමාණයෙන් අක්කර හැට පන්දහසක් ම වී වගා කළ බවත්, එම වී වගාව විනාශ වීමෙන් සිදු විය හැකි පාඩුව රුපියල් බිලියන 16.8 ඉක්මවනු ඇතැයි ගණනය කර ඇති බවත් ගොවීහු පවසති. නියඟයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, රත්නපුර දිස්ත්‍රික්ක ඇතුළු ව සමස්ත බෝග වගාවන්ට දැනටමත් රුපියල් කෝටි තුන්දහසක පමණ පාඩුවක් සිදු ව ඇත.

එනෝ… එනෝ… එල් නිනෝ…

වසර කිහිපයක් තිස්සේ කඳුළු සලමින් නෙක විධ කරදර ගැහැට පොහොර අර්බුද වසංගතවලට මුහුණ දෙමින් සිට ගොවියන් මෙවර යන්තම් වගා කළා පමණි. බාධා නොමැත්තේ නම් සොබා දහමවත් හරස් වන්නට කාරණාව ගොවියන්ගේ පාපය ම පමණක් නොවේ. බත් කන අපගේ ද දුකට පත් රටේ ද නොලැබීම ය. සමනළ වැව, උඩවලව, වික්ටෝරියා, හුරුළු වැව, කණ්ඩලම, කලා වැව, නාච්චදූව, මොරගහකන්ද, කවුඩුල්ල, කන්තලේ, තිසා වැව ජලාශවල මේ වනවිටත් හරි අඩකටත් වඩා ජලය සිඳී ගොස් ඇත. උතුරු මැද පළාතේ පමණක් වාරි වැව් 3000කට වැඩි සංඛ්‍යාවක් ඇති නමුත් ඒවායේ ද ජලය වේගයෙන් සිඳී යමින් පවතී. මේ තත්ත්වය යටතේ ගොයමට පමණක් නොව ප්‍රදේශ රැසක ජනයාට පානීය ජලය ද හිඟ වෙමින් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් සියයට අසූවක් පමණ දැනටමත් සිඳී ගොසිනි. මේ නිසා බීමට, නෑමට මෙන් ම සනීපාරක්ෂක කටයුතුවලට ද ජලය ප්‍රමාණවත් නැත.

පෑවිල්ල මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවුන්ට ද මේ වනවිට දැඩි ලෙස දැනෙමින් තිබේ. යාල, උඩවලව, කුමන, විල්පත්තුව යන වනෝද්‍යානවල ජලාශ බොහෝමයක් ඉඩෝරයට හසු වී ඇත. මේ තත්ත්වය යම් තරමින් පාලනය කර සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා බවුසර් මගින් එම වනෝද්‍යානවල ඇති ජලාශවලට ජලය සැපයීමට පියවර ගෙන ඇතැයි වන ජීවී නිලධාරීන් පවසන නමුත් උඩවලව සෆාරි ජීප් රියැදුරන් පවසන්නේ වන සතුන්ට ජලය ලබා දීමේ කාර්ය පෞද්ගලික හිතවතුන්ගෙන් ලබා ගත් ජල බවුසර් යොදා ගනිමින් මෙම ජීප් රථ රියැදුරන් විසින් එක් ව ඉටු කරන නමුත් සියලු පහසුකම් ඇති රාජ්‍ය බලධාරීන් එම වගකීම ඉටු කරනු වෙනුවට ජීප් රථ රියැදුරන්ගේ එම කාර්ය ද නවතා දැමීමට වන ජීවිය පියවර ගන්නා ලදි. සංචාරක කලාපයන් පමණක් ආවරණය වන පරිදි වනෝද්‍යානවල ඇති ජලාශ කිහිපයකට ජලය සැපයීම සිදු කරන නමුත් වනෝද්‍යාන තුළ ඇති සියලු ජලාශවලට බවුසර් මගින් ජලය සැපයීමෙන් වන සතුන්ගේ ස්වාභාවික චර්යාවට එයින් අහිතකර බලපෑමක් සිදු කෙරෙන බව යි. එසේම එම වනෝද්‍යානවල ගහකොළ වියළී යෑම නිසා සතුන් උග්‍ර ආහාර අර්බුදයකින් ද පීඩාවට පත් ව ඇත. වියළි කලාපයේ ජාතික උද්‍යානවල මෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යානවල ද වන සතුන් නියඟයේ පීඩාවට ගොදුරු ව සිටින බැවින් උඩවලව, විල්පත්තුව, යාල වනෝද්‍යාන කඩිනමින් තාවකාලික ව වසා දැමිය යුතු බවට සාකච්ඡා මේ ලිපිය ලියන මොහොත වන විට ආරම්භ වී තිබේ. දැනටමත් යාල වනයේ කුළුමීමන්ට නියඟය මරණීය තර්ජනයක් බවට පත්වෙමින් ඇති බව ද වාර්තා වේ.

මේ අතර කුසගින්නට අඳුර ද එකතු කිරීමට සිදු වන බව විදුලිබල මණ්ඩල බලධාරීහු පවසනුයේ විදුලිය බලාගාර ආශ්‍රිත ජලාශවලට ද නියඟයේ රුදුරු සෙවණැලි වැටී ඇති හෙයිනි. සමනල වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදා හැරීමෙන් විදුලිය උත්පාදනයට එහි ජලය ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ. ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට පැය හතරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදු වන්නේ මේ නිසා යැයි ද කතාබහක් පවතී. ඩීසල් හා අනෙකුත් පෞද්ගලික විදුලිය බලාගාරවලින් දැනටමත් පැය විසි හතර පුරා විදුලිය සපයන නමුත් ඉන්ධනවලින් විදුලිය අවශ්‍යතාව සපුරා ගැනීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වන පාඩුව රුපියල් කෝටි පන්සියය සීමාව ඉක්මවූ බව පැවසේ. ආර්ථික දරුද්‍රතාවයෙන් එදා වේල කන්න නැතුව දුක් විඳින මහජනතාව අතර එම දුගී භාවයට හා පීඩාවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ දුෂ්කර ප්‍රදේශවල දිවි ගෙවන්නෝ ය. ලෝකය කොතරම් දියුණු වුවත්, බලධාරීන් මොන පම්පෝරි ගැහුවත් සොබාදහම ජය ගන්නට හෝ සොබාදහම විසින් පනවනු ලබන දඬුවමින් ගැලවීමට හෝ කිසිවෙකුටත් නොහැකි වනු ඇත.

තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment