මේ පාර වෙසක් ලාබ නැත

118

විදුලි බුබුළු ගිනි ගණන්

මිල ගණන් ඉහළ ගියත් වෙළෙඳාම හොඳයි

මැටි පහන ඉටිපහන ගණන් උස්සයි

වෙසක් දිනට පෙර දින එනම් ඉකුත් 04දා දහවල දකින්නට ලැබුණේ යහපත් කාලගුණයක්ය. දින කීපයක් පුරා පැවති ධාරානිපාත වර්ෂාව සහිත වැහිබර අහස වෙනුවට එදින දකින්නට ලැබුණේ වැසි වළාකුළු රහිත පැහැදිලි අහසක්ය. පසු දාට එනම් (05 දා) එළඹීමට නියමිත වෙසක් පුන් පොහෝ දිනට ගම රට බලා පිටත්ව යන ජනතාවත් වෙසක් සැරසිලි මිලදී ගැනීම පිණිස පැමිණෙන ජනතාව හේතුවෙන් කොළඹ නගරයේ ඇතැම් ස්ථාන මුළුමනින්ම ජනාකීර්ණ වී ඇත. වෙසක් පහන් කූඩු ඇතුළු වෙසක් සැරසිලි බෞද්ධ ධජ ඇතුළු නන් විධ විදුලි බුබුළු ආදිය කීයක් හෝ අඩුවට මිලදී ගැනීම පිණිස පැමිණෙන ජනතාව හේතුවෙන් පිටකොටුව ඇතැම් තැන්වල දිස්වූවේ ඇවිස්සුණු කඩිගුලක් බඳු ස්වරූපයක්ය. මුස්ලිම් බැතිමතුන් දකින “රාමලාන් සඳ” අහසට පැමිණීමත් සමඟ ඇරඹී වෙසක් සැරසිලි වෙළෙඳාම ඒ සඳම ක්‍රමයෙන් “වෙසක් සඳ” බවට පත් වෙමින් තිබුණු බැවින් දෝ “රෙඩිමේඩ් වෙසක්” මිලදී ගැනීම පිණිස පැමිණි පාරිභෝගිකයන් අතර ලොකු තරගයක් දකින්නට ලැබුණු අතර ගතවූ වසර දෙක තුනට සාපේක්ෂව වෙසක් උත්සවය වෙනුවෙන්ම නිර්මාණය වූ එම වෙළෙඳපොළ දැකගත හැකි වූවේ “වෙළෙඳ වසන්තයක්” බඳු ස්වරූපයක්ය.

කවදත් වෙසක් සැරසිලි අලෙවිය පිණිස ප්‍රචලිත පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයට මෙවර ද වෙසක් පැමිණෙන්නේ රාමලාන් උපවාසය නිමාවනවාත් සමඟය. නෙක විසිතුරු වෙසක් සැරසිලි ආදියෙන් එම වෙළෙඳ සංකීර්ණයේ පහත මාලයත්, පළමු මහලත් පිරී යන්නට වූවේ මීට දින ගණනාවකට පෙර සිටය. එලෙස දින ගණනාවක් පුරා පැවති වෙසක් සැරසිලි වෙළෙඳාමේ අවසන් දිනය බවට පත්වූවේ ඉකුත් 4දා ය. එහි ගිය අපට දකින්නට ලැබුණේ දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාව ලහිලහියේ වෙසක් සැරසිලි මිලදී ගන්නා ආකාරයක්ය. තොග සහ සිල්ලර මිල ගණන් යටතේ නන්විධ වෙසක් සැරසිලි රිසිසේ මිලදී ගැනීමට එහි යන ඕනෑම කෙනකුට අවස්ථාව හිමිව තිබූ ආකාරයක් දැකගත හැකි වූ අතර මෙවර වෙසක් සැරසිලි මිල ගණන් ඉහළ ගොස් තිබුණ ද අප හා කතාබහට එක් වූ වෙළෙඳසල් හිමියන් කීපදෙනෙක් සඳහන් කර සිටියේ මෙවර වෙසක් සැරසිලි ආදියේ මිල ගණන් ඉහළ මට්ටමක පැවතුණ ද අලෙවියේ අඩුවක් නොපවතින බවක්ය. ඒ අනුව වෙසක් සැරසිලි මිලදී ගැනීම පසෙක තැබූ අප මිල ගණන් පිළිබඳව විමසිලිමත් වෙමින් පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණය තුළ හා ඒ අවට වෙසක් සැරසිලි අලෙවි වන ආකාරය පිළිබඳව යම් නිරීක්ෂණයක නිරතවූ අතර එහිදී අප හා අදහස් හුවමාරු කරගත් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගික ජනතාව ද සඳහන් කර සිටියේ නිදහසේ මලක් පහනක් පූජා කිරීම මෙන්ම තම තමන්ගේ නිවෙස් වෙසක් සිරියෙන් හැඩ ගැන්වීම පිණිස වසර කීපයකට පසු මෙවර අවස්ථාව උදා වී ඇති බැවින් මිල ගණන් කෙසේ වුවද හැකි පමණින් වෙසක් සැරසිලි මිලදී ගැනීම පිණිස බෞද්ධ ජනතාව තුළ කැමැත්තක් පවතින බවය. එබැවින් මෙවර වෙසක් උත්සවය ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව යහපත් මුහුණුවරක් ගනු ඇති බව බොහෝ දෙනකුගේ විශ්වාසය බවට පත්ව ඇත.

මේ පාර වෙසක් ලාබ නැත

ඒ පිළිබඳව කතාබහ කිරීමට පෙර වෙසක් දින රටපුරා දීප්තිමත්ව දැල්වෙන විවිධ මාදිලියේ විදුලි බුබුළු සඳහා පවතින ඉල්ලුම පිළිබඳව ද යම් අවබෝධයක් ලබා ගැනීමේ අදහසින් පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදි ඔස්සේ අප ඇවිද යන්නට වූ අතර එහිදී වෙසක් සැරසිලි පිළිබඳ අදහස් දැක්වූ කීපදෙනකු සඳහන් කර සිටියේ වෙසක් පැමිණීමට පෙර ඉහළ දමන ලද විදුලි බිල මෙන්ම විදුලි බුබුළු, වයර් ඇතුළු විදුලි ආධාරයෙන් ක්‍රියාත්මක වන සියලුම වෙසක් සැරසිලි මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් අලෙවියේ යම් අඩුවක් දක්නට ඇති බවත්ය.

වෙසක් සැරසිලි අලෙවිකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය වසර තුළ රුපියල් 350 ට අලෙවි කරන ලද විවිධ වර්ණයෙන් යුත් කුඩා විදුලි බුබුළු (රැහැන්) රුපියල් 600 සිට 1500 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊට සමාන්තරව විවිධ ප්‍රමාණයෙන් යුත් විදුලි බුබුළු මිල ගණන් ද ඉහළ යෑම හේතුවෙන් විදුලි බුබුළු අලෙවියේ ශීඝ්‍ර පහළ වැටීමක් සිදුවී ඇති බවය. අප හා අදහස් දැක්වූ අලෙවිකරුවන් කිහිප දෙනකු සඳහන් කර සිටියේ වෙසක් සැරසිලි සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ තුළ එවැනි තත්ත්වයක් හට ගෙන ඇති බවත් ඇතැම් වෙළෙඳුන් හිතුමතේ මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තොග වෙළෙඳාම පිණිස ද මිල ඉහළ යෑම බරපතළ ලෙස දැනෙමින් පවතින බවත්ය.

රැගෙන යෑමේදී හා එකලස් කිරීමේදී පවතින පහසුව හේතුවෙන් කාඩ්බෝඩ් භාවිතයෙන් සකසන ලද වෙසක් පහන් කූඩු සඳහා මෙවර වැඩිම ඉල්ලුමක් පැවති අතර විවිධ ප්‍රමාණයෙන් සහ මාදිලියෙන් යුත් එවැනි පහන් කූඩු ශීඝ්‍ර ලෙස අලෙවි වන ආකාරයත් දැකගත හැකිවිය. මෙතෙක් කලක් ඉහළ ඉල්ලුමක් පැවතී බටපතුරු අටපට්ටම් වෙසක් පහන් කූඩු වෙනුවට නවීන මාදිලියේ වෙසක් පහන් කූඩු වෙළෙඳපොළට පැමිණීම සහ එවැනි සැරසිලි වැඩි වැඩියෙන් මිලදී ගැනීම පිණිස පාරිභෝගික ජනතාව යොමුවීමත් සම්බන්ධව වෙසක් සැරසිලි අලෙවිකරුවකු ගෙන් අප කළ විමසීමකදී ඔහු විසින් සඳහන් කර සිටියේ මෙවැන්නක් ය.

මෙවර කාඩ්බෝඩ් භාවිතයෙන් සකසන ලද වෙසක් පහන් කූඩු සඳහා මුල ඉඳලම ලොකු ඉල්ලුමක් තිබුණා. ඒකට එක හේතුවක් තමයි රැගෙන යෑමේදී තියෙන පහසුව. ඒ වගේම විවිධ මාදිලියෙන් සහ විවිධ ප්‍රමාණයෙන් මිලදී ගන්නත් පුළුවන්. ගෙදර ගෙනියන කූඩුව සකස් කරන්න මහ වෙලාවක් යන්නේ නැහැ. පුංචි ළමයකුට වුණත් සකස් කරගන්න පුළුවන් විදිහට ඒ කූඩුව නිර්මාණය කරල තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් මෙවර වෙසක් සැරසිලි අතර දේශීයව නිෂ්පාදනය කරපු වෙසක් සැරසිලි තමයි බහුලව දකින්නට ලැබෙන්නෙත්. ඒ පැත්තෙන් ගත්විට මුළුමනින්ම දේශීය වෙළෙඳපොළක් තමයි මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ හා ඒ අවට දකින්නට ලැබෙන්නේ ඒක හොඳ තත්ත්වයක්. දැනට වසර කිහිපයකට පෙර ගත්තොත් අපේ රටේ වෙසක් සමරන්න පාවිච්චි කළේ චීනය විසින් නිෂ්පාදනය කරපු වෙසක් සැරසිලි. මෙවර ඒ තත්ත්වය ලොකු වෙනසකට භාජනය වුණා. ව්‍යාපාරිකයෝ වශයෙන් අපි ඒ ගැන සතුටු වෙනවා. මොකද රටේ සල්ලි රට ඇතුළේ රැඳෙන විදිහට තමයි මෙවර වෙසක් සැරසිලි වෙළෙඳපොළ නිර්මාණය වෙලා තිබෙන්නේ ඒක හොඳ තත්ත්වයක් …”

කාලය “තාලය” වෙනස් කොට ගමන් කිරීම ඇරඹීමත් සමග බෞද්ධ අබෞද්ධ සියලු ජනතාව කාර්යබහුල වීම හේතුවෙන් ජාතික, ආගමික වශයෙන් වැදගත් සෑම උත්සවයක් නිමිතිකොට ගනිමින්ම ඒ සඳහාම වෙන්වූ වෙළෙඳපොළ සංස්කෘතියක් මෙරට නිර්මාණය වීමට ගැනීමත් සමග රටේ බොහෝ දෙනෙක් එහි ගැනුම්කරුවන් බවට පත්වූහ. සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රසකැවිලි වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ ද වෙසක් පොසොන් වැනි උතුම් ආගමික උත්සව පදනම් කරගනිමින්ද එවැනිම වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ ද ඉහත සඳහන් සමාජ පසුබිම මුල් කර ගනිමින්ය. රටේ වැඩි පිරිසක් මේ වන විට එහි ගැනුම්කරුවන් බවට පත්ව ඇත. බට පතුරු අටපට්ටම් වෙසක් පහන් කූඩුවක්. පෙළට තබන ලද මැටි පහන් වැටක් දැල්වීමෙන් ලබන නිරාමිස සතුටක් වෙනුවට වෙසක් සැරසිලි වෙළෙඳපොළට ගොස් රැගෙන එන යමක් දෙස බලා ලබන සතුට අතර වෙනස මේ වන විට ජන මනසින් පළාගොස් ඇති ආකාරයක් දැකගැනීමට ඇතත් බොහෝ දෙනකු උනන්දුවක් දක්වන්නේ රෙඩිමේඩ් වෙසක් සැරසිලි සහිතව වෙසක් සැමරීම පිණිසය. මෙවර වෙසක් සැරසිලි වෙළෙඳපොළ නිහඬව නිරීක්ෂණය කිරීමේදී ඒ බව මනාව පසක් වූ අතර නාගරිකව මෙන්ම ග්‍රාමීය ජනතාව තුළ ද එහි වෙනසක් නො වූහ. රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයක ගිලී පවතින වටපිටාවක මැටි පහන කුඩා බෞද්ධ කොඩිය ඇතුළු සියලු දේ මිල ඉහළ ගොස් ඇතත් තම තමන්ට හැකි පමණ ප්‍රමාණයෙන් වෙසක් සැමරීම පිණිස බොහෝ දෙනකු තුළ ඉහළ උනන්දුවක් තිබෙන ආකාරයක් මෙවර වෙසක් දින උදා වීමටත් පෙර සිටම දකින්නට ලැබුණු විශේෂත්වයක් විය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment