මහත්වරුනි,තවත් රැවටෙන්නට නම් බෑ!

384

මේ වූ කලී ශිෂ්ට ලෝකයේ ම මානව හිතවාදී දයාර්ද්‍ර ජනතාවගේ පමණක් නොව ශ්‍රී ලාංකික මානවවාදී සියලු ජන කොටස් ද ඉමහත් කම්පනයෙන් හා සෝකයෙන් මුසපත්ව සිටින මොහොතකි. ඒ දින කීපයකට පෙර (17) කිසියම් ම්ලේච්ඡ ප්‍රචණ්ඩකාරී මෘග පිරිසක් විසින් ගාසා තීරයේ රෝහලකට එල්ල කරන ලද ප්‍රහාරයකින් පන්සියයකට නොඅඩු අහිංසකයන් පිරිසක් මරුමුවට පත්වීමේ ඛේදවාචකයක් නිසා ය. ‘අල් අහ්ලි’ නමැති එම රෝහලට එල්ල වූ ප්‍රහාරයෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැත. එහෙත් එබඳු මෘග ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව ඊශ්‍රායලයට යොමුව තිබේ. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එයින් ඊශ්‍රායලය නිදහස් කර තිබෙන බව ද සඳහන් කළ යුතුය. ප්‍රහාරකයාට හෝ ප්‍රහාරක සැලසුම්කරුවන්ට මුහුණු සඟවා ගෙන සිටිය හැකි වුවද ඔව්හු සමස්ත මානව සංහතියටම නිඟා දෙන අධමයන්, පවිටන් ලෙස ලොව අබියස නිරුවත්ව සිටිති. ලෝක යුද ඉතිහාසයේ මෙන්ම ලංකාවේ ද එබඳු ඛේදවාචක පිළිබඳ සටහන්ව තිබේ. එහෙත් මෙවන් යුගයක එවන් සැහැදිකම් සිදුවිය හැකිද? කුමක් වුවත් රෝහලක් යනු විපතට පත් ගිලනුන්ගේ හා අසරණයන්ගේ ජීවිත අපේක්‍ෂාවන් වෙනුවෙන් කැප වූ උතුම් ස්ථානයකි. දුකට හඬන එවන් පරිසරයකට රුදුරු මරු පහරක් එල්ල වීම යනු කිසිදු ශිෂ්ට සමාජයකට, සදාචාර සම්පන්න ලෝකයට අනුමත කළ නොහැක. හමාස් සංවිධානය ඉඳුරා පවසන්නේ ද මෙය ඊශ්‍රායල් ප්‍රහාරයක් බව ය. ‘අල් අහ්ලි’ රෝහලේ කාර්ය මණ්ඩලය එම ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ලොමු දැහැගන්වන සුළු විස්තර මෙන්ම රූප රාමු ද ජගත් මාධ්‍යවල හා මෙරටේ ද පළකර තිබුණි. රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් වැඩිපුරම මියගොස් ඇත්තේ දරුවන් බව ද වාර්තාවල සඳහන් විය. ප්‍රහාරයට ලක්ව මියගිය දරුවකුගේ සිරුරෙහි කොටස් උරයක දමා ගත් පියකුගේ හද කම්පා කරවන දසුන බොහෝ රූපවාහිනී පුවත්පත්වල විශේෂයෙන් දක්වා තිබුණු ආකාරය ද සිහිපත් කළ යුතුය.

මෙවන් පසුබිමක ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට ගොස් එහි අගමැති බෙන්ජමින් නෙතන්යානු සමග දැඩි බැඳීමකින් පිළිසඳරක යෙදී සිටින රූප රාමුවක් ද පළ වී තිබුණි. එහි විවිධ ඇඟවුම් ද විය. ඇමෙරිකාව අවධාරණය කළේ ඔවුන් ඊශ්‍රායලය අත නොහරින බව ය. එහෙත් මේ මානව ඛේදවාචකය නිවාලීමට ඇමෙරිකාව පියවර ගතයුතු ය. ඇත්තටම ඊශ්‍රායලය පසුපස ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් සිටින බව ද ලොවම දන්නා රහසකි. මෙහිදී ඉරානය ප්‍රමුඛ අරාබි කලාපය ද යම් ආකාරයක දේශපාලනික ප්‍රතිචාරයක් දැක්වුවහොත් මේ අර්බුදය තවත් විනාශකාරී අන්තයකට ගමන් කරනු නොවැළැක්විය හැකි වනු ඇත. ඊශ්‍රායල අගමැති හැසිරෙන මුරණ්ඩු විලාසය නිසා ගාසා තීරයට ඔවුන්ගේ දේශසීමාවලින් කිසිදු ඖෂධයක්, වෙනත් ආධාරයක් යැවීමට ද නොහැකිව තිබේ. මානුෂික ආධාර ලබාදීම යුද නීතිය විසින් ද අනුමත කරන ලද්දකි.

මේ අවිනිශ්චිත බල අරගල හා මානව ඛේදවාචකයන්ගෙන් ද කැළඹීමට පත් ලෝකයක, ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනය කෙබඳු ද යන්නත් විමසා බලමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට සහභාගිවෙමින් රාජ්‍ය නායකයන් හමුවෙමින් සමාජ ආර්ථික හා කලාපීය දේශපාලන ගැටලු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගනිමින් සිටියි. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති රනිල් ගෝලීය ප්‍රශ්න හා හරිත ආර්ථිකය ආදී තේමාවන් සම්බන්ධ කතිකාවන්ට යොමුවෙද්දී අපේ දේශපාලනඥයෝ තවමත් පරණ දේශපාලන සංවාද කරළියට රැගෙන එමින් කල් මරති. ඉන් ප්‍රමුඛ සංවාද නිමිත්තක් වී ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතකි. එහෙත් විපක්‍ෂය පවසන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝණය කළ ආණ්ඩුව මුලින් කළ යුත්තේ මැතිවරණ පැවැත්වීම බවය.

මහත්වරුනි,තවත් රැවටෙන්නට නම් බෑ!

ඇමැති විජයදාස විපක්‍ෂයේ සියලු විවේචන හා චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් අවධානය යොමුවිය යුතු කරුණු කීපයක් ම පෙන්වා දෙයි. ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින අය එබඳු අවස්ථාවක් සලසා දුන් විට එයට හරස් කපන බව ඔහු කියයි. මේ රටේ සමාජ දේශපාලනය විකෘතියක් බවට ද පත්වීමට ද බොහෝ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට චෝදනා ලැබූ හොරුන්ට තක්කඩින්ට රටේ දේශපාලන ප්‍රවාහයට එක්වීමට මඟපාදා දීමට ද මැතිවරණ ක්‍රමය ඉවහල් වූ බව ඔහුගේ විවේචනයකි. එහි විවාදයක් නැත. මේ මැතිවරණ ක්‍රමය පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය පාදක කර ගත් අපේ ව්‍යවස්ථාවම වෙනස් කළ යුතුය යන යෝජනාව දශක තුන හතරකටත් වඩා පැරණිය. විධායක ක්‍රමය රටම වැනසූ පිල්ලියක් බව එම ධුරයට පත් වූ අයගෙන් ද කියැවිණි. ජයවර්ධනගෙන් පසු බලට පත් වූ චන්‍ද්‍රිකාගේ සිට මහින්ද, මෛත්‍රී හා ගෝඨාභය දක්වාත් ඒ විධායකය අහෝසි කිරීමේ සටන් පාඨය අප්‍රමාණව ඇසුණි.

1994 බලයට පත් චන්‍ද්‍රිකා එදා ජ.වි.පෙ. අපේක්‍ෂක නිහාල් ගලප්පත්තිට (ඔහු තරග කළේ ප්‍රගතිශීලී පෙරමුණ නමිනි) ලිඛිත පොරොන්දුවක් දුන්නේත් එම ක්‍රමය වෙනස් කිරීමට ය. එහෙත් එය ඉටු නොවීය. පසුව 2000 දී යළිත් ජනාධිපති ධුරය ලබාගත් චන්‍ද්‍රිකා ඒ සඳහා කෙටුම්පතක් ඉදිරිපත් කළත් එජාපය එයට සහාය නොදීම නිසා එවරද ඒ වෙනස සිදු නොවූ බව අපට මතකය. මේ සම්බන්ධව බොහෝ කරුණු දැක්විය හැකිය. එයට මෙහිදී අවකාශ මඳය. එසේ වුවද ඒ සියල්ල පෙළගස්වා බලනවිට අපට එක් නිගමනයකට එළැඹිය හැකිය. ජයවර්ධනගේ සිට ගෝඨාභය දක්වා සිදු වූ ව්‍යවස්ථා සංශෝධන මෙන්ම බොහෝ අණපනත්වල ද අරමුණු හා අපේක්‍ෂා දේශපාලන බලකාමීත්වය විසින් වර්ණ ගන්වන ලද ඒවා බව ය. විධායක ක්‍රමය මෙන්ම මැතිවරණ ක්‍රම සංශෝධනය යනු හුදු දේශපාලන සෙප්පඩ විජ්ජාවක් බව ජනමනස තුළ ද කිඳාබැස තිබේ.

මේ වනවිට සංශෝධන 22 ක් සිදුකර තිබෙන අපේ ව්‍යවස්ථාවේ කීයක් මහජන යහපත වෙනුවෙන් කර තිබේද? මේවා පෙන්වා දීම ද ඇතැම් විට ඒ නායක කාරකාදීන්ගේ පිත අවුස්සන සුළු විය හැකි ය. බලය අසිපතක් කරගත් රටම නින්දගමක් ලෙස සැලකූ විධායක ජනාධිපතිවරු ගැන වෙනම පොතක් ලිවීම අනාගතයට භාර වූවකි. අපේ ව්‍යවස්ථාවට එක් වූ ජාතික ලැයිස්තු ක්‍රමය භාවිත වූ ආකාරය දෙස බැලුවත් මේ රට මුග්ධ දේශපාලන වනාන්තරයක් බව නොසිතේ ද? මේ රටේ දේශපාලන පක්‍ෂ සංඛ්‍යාව ගණනය කළ හැක්කේ දුසිම්වලින් ය. පක්‍ෂයක් යනු වෙළෙඳ අගයක් ද තිබෙන්නකි. පක්‍ෂයක් මිලට ගැනීමට ද බාධාවක් නැත. ඒ වෙනුවෙන් සිදුවන ඩීල් හෙවත් එකඟතා පුදුම සහගත වූ අවස්ථා ද විය. දේශපාලනය මහජන සේවයක ලක්‍ෂණවලින් බැහැර වූ වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් වී නැතැයි කාට හෝ කිව හැකිද? එපමණක්ද? පක්‍ෂවලින් පනින දේශපාලන ගෙඹි කරණම් ගැන ද විවිධ වාර්තා තිබේ. අපේ දේශපාලන කරළිය නැතහොත් වේදිකාවල තත්ත්වය කුමක් ද?

අප දන්නා පරිදි මෙරටේ දේශපාලන වේදිකාව යනු බොහෝ විට චරිත ඝාතන, ඕපාදූප, වාචාල කතා ආදිය තොග පිටින් බෙදාහරින තැනකි. ඇතැම් විටෙක සිය නායකයා වෙනුවෙන් වීර චරිත දාර්ශනික නම් සමඟ ප්‍රශස්ති ගයන අය පසුව ඒ නායකයාට නඟන අවලාද චෝදනා විවේචන පුදුම සහගතය. ජනතාවට දෙන පොරොන්දු ද කෙළවරක් නැත. සිරිමාවන්ගේ හඳෙන් හාල් ගෙන ඒම හා ජේ. ආර්.ගේ ඇට අට තවමත් බොහෝ දෙනෙකුට මතක තිබේ. එබඳු බේගල් ඇද බාමින් ජාතිවාදය, ආගම් උමතුව, භාෂා ප්‍රේමය ආදිය සම්බන්ධයෙන් ද කෙරෙන විකෘති කිරීම් බොහෝ ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව හෝ ඡන්දදායකයන්ට ගැඹුර තබා සාමාන්‍ය අවබෝධයක් හෝ ලබාදීමට මෙම වේදිකාව යොදා ගන්නේ නැත. ඇත්ත වශයෙන් ම රටක ජනතාව සතු බලය හෙවත් පරමාධිපත්‍ය පැවරිය යුත්තේ කෙබඳු ප්‍රතිපත්ති සහිත පක්‍ෂයකට ද යන කරුණ මේ කිසිදු වේදිකාවක ගැඹුරින් විශ්ලේෂණය කරනනේ ද නැත. විවිධ අලංකාර වාග් හරඹ ආදියෙන් දොඩමළු වන චරිත කෙරෙහි අවිචාරශීලීව වසඟ වන සමහරු සිය ඡන්දය ඔවුන් වෙනුවෙන් අපතේ හරිති.

කෙසේ හෝ අද පවතින ඡන්ද ක්‍රමය පවා සකස්කර ඇත්තේ විධායක ක්‍රමය හඳුන්වා දුන් ජේ. ආර්.ගේ දේශපාලන කපටිකම් අනුව ඔහුගේ පක්‍ෂයට වාසි සැලසෙන ආකාරයට බව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විග්‍රහ කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පෙන්වා දී ඇත. (ඔහුගේ විවේචනාත්මක විශ්ලේෂණයක් නමැති කෘතිය බලන්න) දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් නීති හදන රටක ප්‍රජාතන්ත්‍රවාදයට යන කලදසාව ගැන අමුතු කතා වුවමනා නැත. මැතිවරණ කොට්ඨාස ක්‍රමය අහෝසි කළ ජයවර්ධන දිස්ත්‍රික්කය පදනම් කරගත් ලැයිස්තු ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ හරය කුඩුපට්ටම් කළ බව වටහා ගැනීමට අපට ගෙවීමට සිදු වූ වන්දිය බොහෝ ය. පවතින පක්‍ෂ ක්‍රමය අනුමත නොකරන ස්වාධීන හෙවත් නිදහස් අපේක්‍ෂකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර තැබීමට ද ජයවර්ධන සමත් විය.

ආණ්ඩුව මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා කැපවන බවට අධිකරණ ඇමැති විජයදාස දෙන සහතිකය භාර ගැනීමට විපක්‍ෂය සූදානම් නැති බව පෙනේ. එය ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටියක් බව ඔවුන්ගේ පොදු අදහස වී තිබේ. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවේ සද්භාවය ගැන ජනතාවට ගැටලු තිබේ. පළාත් පාලන ඡන්දය අහෝසි කළ ආකාරයත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ දී අර්ධ ශෛලිගත ආකාරයේ රංගනයක් දක්වමින් විපක්‍ෂයට සරදම් කළ බව ද රහසක් නොවේ. මේ වනවිට පළාත් සභා, පළාත් පාලන ආයතන සියල්ල ආණ්ඩුවේ පාලනය යටතේ ය. ජනාධිපති රනිල්ගේ අභිමතයට පත් කළ ආණ්ඩුකාරයෝ ද සිටිති. පළාත් පාලන ආයතනවලට හිටපු දේශපාලන චරිත පත්කර ගැනීමේ වංක ප්‍රයත්නයක් ද ආණ්ඩුවට තිබුණි. ඒ සියලු ක්‍රියාදාමයන් නිසා විශ්වාසය භංග කර ගත් මේ පාලකයන් ගැන විශ්වාසයක් නොතැබීම ද සාධාරණ ය. මේ දූෂිත මැතිවරණ ක්‍රමය හෝ වෙනස් කර ගත හැකි නම් එය කළ යුතු හොඳ වැඩක් බව අපට ද පෙනේ.

මේ දූෂිත දේශපාලන ගමන වෙනස් නොකර රට ඉදිරියට නොයන බව ඉතා පැහැදිලිය. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් මන්ත්‍රීධුරයක් අහෝසි කිරීම රටේම ප්‍රබෝධයට තුඩු දුන් සිද්ධියක් විය. විවිධ බේගල් දෙසාබාමින් ආණ්ඩුවලට එක්ව ලාභ වාසි ගත් සමහරු ද වූහ. දේශපාලනඥයන් මෙන්ම බොහෝ පුරවැසියන් ද ඒ තීන්දුව අගය කළේ දශක තුනකට පමණ පසුව ලබාදුන් ඓතිහාසික තීන්දුවක් බව පවසමින් ය. විපක්‍ෂයේ ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසා තිබුණේ ද ඒ දූෂිත පිල් මාරුව රැකුණේ නීතියේම අඩුපාඩු නිසා බවය. ඔහු යෝජනා කර තිබුණේ මේ දේශපාලන කුණපය ශුද්ධ කිරීමට අධිකරණයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ය. මහල්ලන් විසින් පාලනය කරනු ලබන රටක තරුණයන් ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටියත් එයට ඉඩක් නැති බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ද පවසා තිබුණි.

ඉහත සඳහන් කළ පරිදිම අප යෝජනා කරන්නේ ද මේ ද දූෂිත දේශපාලනය අවිචාර රාජ්‍ය සේවය යනාදිය අවසන් කර සියල්ල ක්‍රමයෙන් නිසි පිළිවෙළකට ගොනුවිය යුතු බවය. විනයක්, පාලනයක් සහිත රටක් ගොඩනැඟිය යුතු බවය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එහි කුඩා ම පියවරක් වුවත් එය දිගු ගමනක සාධනීය පරිවර්ථනයක සමාරම්භයක් ලෙස පැකිලීමකින් තොරව භාරගැනීමට සමහරුන් පසුබට වීම ද සහේතුක ය. වඳුරන්ට ගෙවල් හැදීමට මතක් වෙන්නේ වැහි කාලයට යැයි සිංහල ජනවහරේ කතාවක් ඇත. මේ දේශපාලනඥයන්ට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි ජනතාවගේ අපේක්‍ෂාවන් සපුරාලීමට මතක් වන්නේ ද ඡන්දයක් ළංවන විටය! නැත්නම් ඡන්ද කටේදීය. හදිස්සියෙන් නින්දෙන් අවදි වූවාක් මෙන් මෙබඳු කාර්යයකට යොමු වීම සැකමුසුව බලන්නේ ද එහෙයිනි.

අපි තරම් රැවටීමට මුළාවට පත් වූ ජනතාවක් වෙනත් රටක සිටිත්දැයි නොදනිමු. මේ හිස් අවකාශය බොරුකාරයන්ගේ බොරුවලින් ද ව්‍යාජ දේශප්‍රේමීන්ගේ ජාත්‍යාලයෙන් ද උතුරා ගොස් තිබෙන තරම් ය. වංචාව, දූෂණය, පවුල්වාදය මේ දේශපාලනයේ අශිෂ්ටම ලකුණු ය. ඒ දේශපාලනය වෙනස් කළ යුතු යැයි හඬ නැඟූ උන්ට හිරගෙවල් ය. ඒ ජරපත් දේශපාලනයේ දොරටුපාලකයන්ට වහලුන්ට සුර සම්පත් ය. තරු මල් පිපි යෞවනයේ ප්‍රාර්ථනා ජරපත් වැඩවසම් දේශපාලන ගොහොරුවක සිරකර තැබිය නොහැකි බව ද අපි දනිමු.

දේශපාලන කෞටිල්‍යයන් විසින් කරන ලද නොපනත්කම් අසාධාරණකම් අවසන් බව පැවසෙන සංඥා එළි හාත්පස දැල්වෙමින් ඇත. අලුත් නිදහසක අලුත් වෙනසක මිහිර විඳින්නට ජනතාවට අප්‍රමාණ උද්යෝගයක් ද ඇත. තර්ජන, ගර්ජන මර්දන තවදුරටත් ඒ වෙනසට හරස් කළ නොහැකි බව පාලකයෝ ද දනිති. දින කීපයකට පෙර ජනාධිපති නීතිඥවරුන්ගේ හමුවකින් ප්‍රකාශ වූයේ ද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කළ යුතු බව ය. මේ දිනවල ව්‍යවස්ථාදායක සභාව හා විධායකය අතර ද සබඳතා දුරස් වී තිබෙන බවක් ද පෙනේ. පාර්ලිමේන්තුව ද උණුසුම් වී තිබේ. අලුත් පොලිස්පතිවරයකු පත්නොකර යළිත් හිටපු පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ ජනාධිපති නිර්දේශය ද ආන්දෝලනයකට තුඩු දී තිබෙනු පෙනේ. ජනාධිපති එම නිර්දේශය නෙතකා යළිත් පත්වීම සිදුකළත් ඒ සමග ගැටගැසුණු ප්‍රශ්න ගණනාවක් ම තිබේ. කුමක් වුවත් විජයදාස ඇමැතිවරයා පවසන ආකාරයටම ඔවුන් විසින් කරන ලද්දේ සද්භාවයෙන් යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවක් නම් එය ඉදිරියට යෑම වැළැක්වීමේ අවශ්‍යතාවක් ද නැත. මහත්වරුනි! තවත් රැවටෙන්නට නම් ජනතාව සූදානම් නොමැති බව ද අපි ලියා තබමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment