සාරා ජස්මින්ට මරණ සහතිකය ලියන්න අවුරුදු හතරක් ගියේ ඇයි?

525

සීඅයි මාහිංකන්දගේ බොරු සාක්‍ෂිය නිසා වසර හතරක් සිරබත් කෑ පොලිස් පරීක්‍ෂක අබුබක්කර්
සිරුරු කොටස් දහහතකින් සාරා ජස්මින් සෙවූ කැකිල්ලේ පරීක්‍ෂණය
සහරාන්ගේ බිරිඳ හාදියා පස්වතාවක් හෙළිකළ සාරා ජස්මින්ට අත්වූ ඉරණම
පාස්කු ප්‍රහාරය තුළින් බුද්ධි අංශවලට ගහන්නේ මෙහෙමයි
රටක් නොමඟ යැවූ විමර්ශන නිලධාරීන් ඉදිරියේ නීතිය නැවෙයිද?

අප මේ කියන්නට යන්නේ මියගිය බව තහවුරු වීමෙන් පසු ඉකුත් අඟහරුවාදා මරණ සහතිකය ලියැවුණු පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ කෙරුණු මොන්ටිසෝරි විමර්ශන හමුවේ බරපතළ ගැටලු රාශියක් නිර්මාණය කළ සාරා ජස්මින්ට අදාළ ඇත්ත කතාවය. එහෙත් ඊට පෙර තබන්නට තවත් පුංචි සටහනක් අපට ඇත. එසේ කරනුයේ සාරා ජස්මින්ට වුණේ කුමක්දැයි රටේ දේශපාලන අධිකාරිය හා වගකිවයුත්තන් ඇතුළු මෙය කියවන කාටත් පහසුවෙන් වටහා ගැනීමට හැකිවනු පිණිසය.

මේ රට හරි අරුම පුදුම රාජ්‍යයකි. රටේ නීතියට අනුව යම් පුරවැසියකු අධිකරණය නොමඟ යැවීමක් සිදු කළහොත් එය සැලකෙන්නේ අධිකරණයට කරන ලද අපහාසයක් ලෙසය. එය බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබෙන වරදකි.

එහෙත් නීතිය ප්‍රකාරව පුරවැසියන් අරබයා කටයුතු සිදුවන්නේ එසේ වුවද ඇස්පනාපිට අධිකරණ පද්ධතිය නොමඟ යවමින් නීතිය නවන්නා වූ පිරිසක්ද මේ රටේ කිසිදු ගැටලුවකින් තොරව ජීවත් වන්නාහ. අධිකරණය නොමඟ යැවීමේදී නීතියට අනුව පුරවැසියා හිරේ දැමුණද ඔවුනට ඒ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.

රටේ නීතිය ක්‍රියාත්මක කරවීමට සහාය වන්නෝ ඔවුහු වෙති. රටේ මිනිස්සු ඔවුනට පොලිසියේ මහත්වරු යැයි කියති. අපි මේ චෝදනාව පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන්ට එල්ල නොකරන්නෙමු. පොලිසියේ බහුතරයක් නිලධාරීහු ඉතා කැපවීමෙන් රාජකාරිය කරමින් වින්දිතයනට සාධාරණය ඉටුකර දෙන්නෝ වෙති. එහි කතා දෙකක් නැත.

එහෙත් ඒ අතරේ කිසියම් පාදඩ වුවමනාවක් ඉටුකර බඩ වඩා ගැනීමේ අරමුණින් පෑන අතට ගෙන සුපිරි නවකතාවක් පොලිස් පොතේ ලියා රටේ නීතිය හොඳටෝම නවමින් අහිංසකයකු දංගෙඩියට යවන්නට තරම් අමනුස්සකමින් පිරුණු මුග්ධයෝද පොලිසියේ ඕනෑ තරම් සිටිති.

එවැනි පොලිස් නිලධාරීන් පිළිබඳ එක්තරා වැදගත් සඳහනක් මීට කලකට ඉහතදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් නානායක්කාර මහතා සිදු කළා අපට මතකය.

ඒ දිනවල දොම්පේ පොලිසියට ගෙනා සැකකරුවකු පහරදීමකින් මරණයට පත්ව තිබිණි. එම සිද්ධියට සමගාමීව තවත් පොලිස් ස්ථාන දෙක තුනකින් වාර්තා වූ සිදුවීම් කිහිපයක් නිසා රටම කැළඹී ගිය අතර එහිදී පොලිසියට එරෙහිව හඬ නඟන්නට වූ ජනතාව පොලිසිය බල්ලට ගොස් ඇතැයි කියන්නට වූහ.

රටේ මිනිස්සු එවැනි බරපතළ ප්‍රකාශයක් යොදා ගනිමින් පොලිසියට පහර දෙද්දී මාධ්‍ය ඉදිරියට පැමිණ එයට පිළිතුරු දුන් රංජිත් නානායක්කාර මහතා සිදුව ඇත්තේ පොලිසිය බල්ලට යෑම නොව, බල්ලෝ කිහිප දෙනකු පොලිසියට රිංගීම යැයි ප්‍රසිද්ධියේම කීවේය.

එසේ කී රංජිත් නානායක්කාර මහතා පසු කලෙක පොලිස් රාජකාරියට සමු දී විශ්‍රාම ගියේය. එහෙත් ඔහු කී කතාවට අදාළ වන ආකාරයේ අය අදටත් පොලිසියේ නොසිටිතිද? ඇතිතරම් සිටිති. ඉකුත් යහපාලන රජයේ කාලය පිළිබඳ කතා කළහොත් මේ යථාර්ථය රටට මැනවින් තහවුරු කර පෙන්වා දුන් තැනක් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය පෙන්වා දිය හැකිය.

ඇතැමුන් කියන පරිදි එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරය දැරූ ශානි අබේසේතර සමඟ එක්වූ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිව සිටි නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු කණ්ඩායම රටේ නීතිය නවපු නැවිල්ල කොතෙක්ද යත් ඇතැම් අවස්ථාවල ඉන් ගරු අධිකරණ විනිසුරුවරුන්ගේ කීර්තියටද කැළැල් ඇති කළේය.

මීට වසර දෙක තුනකට ඉහතදී අහම්බෙන් මෙන් සමාජගත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට මාලාවේ තිබූ ශානි අබේසේකර හා රංජන් රාමනායක හඬපටය ඒ බව තහවුරු කෙරුණු අවස්ථාවක් නොවේද?

ශානි අබේසේකර ඇතුළු සීඅයිඩී කල්ලිය එදා මේ අන්දමට සිදු කළ බොහෝ දේ වූහ. ඔවුන් නීතියේ ඇතැම් වගන්ති ගෙන චූදිතයන්ට එරෙහිව නවකතා ප්‍රබන්ධ කරද්දී කිසිවකුටත් කිසිත් කළ නොහැකි විය. මන්ද බොහෝ විට කතාව ලියැවුණේ නෛතික පදනමක් සහිතවය.

මේ අන්දමට කටයුතු කෙරෙද්දී රට ඉදිරියේ බරපතළ ගැටලු නිර්මාණය වූ අවස්ථාද තිබිණි. ඒ ගැටලු නිසා ඇතැම් අවස්ථාවල මෙරට ජාතීන් අතර සමඟියට බාධා එල්ල විය. ආගම් අතර ගැටලු නිර්මාණය විය.

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කල්ලිය ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා කිතුනු දේවස්ථාන ඉලක්ක කර එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන අතරතුර හිටි හැටියේම කරලියට ආ සාරා ජස්මින් කතාවෙන් මේ දක්වාම සිදු වූයේ එවැනි සමාජ ගැටලු නිර්මාණය වීමය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ එදා විමර්ශන සිදු කරනු ලැබුවේ සීඅයිඩීයේ ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමකි. සාරා ජස්මින් රටම කැළඹූ චරිතයක් වූවේ එකී විමර්ශනවල පැවති ළඳ බොළඳ බව නිසා යැයි කිවහොත් එය ඉතාම නිවැරදිය.

අයාලේ ගිය පොලිස් විමර්ශනයක් නිසා එසේ රට කැළඹූ චරිතයක් වූ සාරා ජස්මින් අවසානයේ මියගිය බව තහවුරු වූයේ සිව් වසරකට පසුවය. දැන් ඇය මියගිය බවට මරණ සහතිකය ලියැවී අවසන්ය. එසේ නම් මේ මොහොතේ වහාම සිදු විය යුතු කටයුත්ත වන්නේ කුමක්ද? එවැනි බරපතළ විමර්ශනයක් කුරුවල් කරමින් ගැටලු රැසක් නිර්මාණය කළ විමර්ශකයන් පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම නොවේද?

නූතන ෂර්ලොක් හෝම්ස්ලා අප යැයි කියමින් පාස්කු ප්‍රහාරය වැනි බරපතළ සිදුවීමක් විමර්ශනය කරන්නට ගොස් ඔවුන් කටයුතු කර ඇත්තේ කිසිදු විමර්ශන දක්‍ෂතාවක් නැති තොත්ත බබාලා පිරිසක් පරිදිය. එසේ කටයුතු සිදුවූයේ කිසියම් කුමන්ත්‍රණකාරී අරමුණකට අනුව විමර්ශකයන් ක්‍රියාත්මක වීම නිසාද?

එදා මිය ගිය සාරා ජස්මින්ට සිව් වසරකට පසු මරණ සහතිකය ලියැවුණාක් පරිදිම මේවාටද විසඳුම් ලබා දීම රජයේ වගකීම වන්නේය. සාරා ජස්මින් චරිතය නිසා රට තුළ ආගමික වශයෙන් හා ජාතික වශයෙන් ඇති වූ ගැටලු අනුව රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් වහාම සිදු විය යුත්තේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සම්මුති නීතිය යටතේ මොවුන්ට එරෙහිව චෝදනා එල්ල කර අත්අඩංගුවට ගැනීමය.

සාරා ජස්මින්ට මරණ සහතිකය ලියන්න අවුරුදු හතරක් ගියේ ඇයි?
සාරා ජස්මින්

එදා සයින්දමරුදු නිවසේදී තවත් අන්තවාදීන් දහසය දෙනකු සමඟ මිය ගිය සාරා ජස්මින් මේ අන්දමට රට කැළඹූ චරිතයක් වූයේ ඇයි? ඇය මියගිය බව තහවුරු වන්නට වසර හතරක් ගතවූයේ කුමක් නිසාද?

සහරාන් හෂීම් ඇතුළු මිනීමරු අන්තවාදී කල්ලිය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදාය. ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ මෙහෙයුම් සිදු කරද්දී සහරාන්ගේ සොහොයුරා ඇතුළු පිරිස ඔවුන් සැඟවී සිටි සයින්දමරුදු නිවස තුළදී සිදුකර ගන්නා භිහිසුණු පිපිරීම් තුනක් සමඟ සුණු විසුණු වී යන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින පහකට පසුවය.

සයින්දමරුදු නිවසේ සිදුවන පිපිරීමේ ප්‍රබලත්වය නිසාම ඒ පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අංශ ඇතුළු කණ්ඩායම් එහි ළඟා වන්නේ එම පිපිරීම සිදුවූ දිනට පසු දින අලුයම් කාලයේදී විය. ආරක්‍ෂක අංශ සහ පොලිසිය ඒ අන්දමට පිපිරීම සිදුවූ නිවස අසලට ළඟා වෙද්දී එතුළින් ඇසෙන්නේ කෙඳිරිලි හඬකි.

ඒ සමඟම කිසිවකු හෝ පිපිරීමෙන් තුවාල ලබා ජීවතුන් අතර සිටින බව වටහා ගන්නා ඔවුහු නිවසට ඇතුළු වී පරීක්‍ෂා කරන්නාහ. එහිදී සහරාන්ගේ බිරිඳ හාදියා හා කුඩා දියණිය බරපතළ තුවාල ලබා නිවස තුළ වැටී සිටින අයුරු දකින ආරක්‍ෂක අංශ නිලධාරීහු වහාම ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමට පියවර ගන්නාහ.

කාමර දෙකක්, කුඩා සාලයක්, මුළුතැන් ගෙයක් සහ යාබද වැසිකිළියක් සහිත කුඩා එකක් වූ පිපිරීම සිදුවූ නිවසේ මිනිස් සිරුරු කැබලි රාශියක් හතර අතේ විසිරී තිබෙනු ඉන් අනතුරුව සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී ආරක්‍ෂක අංශ සහ පොලිසියේ නෙත ගැටෙන්නේය. සහාරාන්ගේ සොහොයුරු මොහොමඩ් රිල්වාන් විසින් නිවසේ ගෑස් සිලින්ඩරය සාලයට ගෙනවිත් තබා ඉන්ධන පිරවූ යතුරු පැදියක්ද නිවසට ගෙන තැනින් තැන පුපුරන ද්‍රව්‍ය අතුරා එකී පිපිරීම සිදු කළ බව පරීක්‍ෂණ කණ්ඩායම් පසුව තහවුරු කරගනු ලැබීය.

එකී අනාවරණයන්ගෙන් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාරය හා බද්ධ වූ සයින්දමරුදු නිවසේ පිපිරීම පිළිබඳවද පුළුල් විමර්ශන ආරම්භ කෙරිණි. එකී විමර්ශන අනුව සිදුවන්නේ කුමක්ද? විමර්ශන කණ්ඩායම මුලින්ම යන්නේ සයින්දමරුදු පිපිරීමෙන් තුවාල ලබා ඒ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ හාදියාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමටය.

එහිදී පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන හාදියා කියන්නේ තමන් හා කුඩා දියණියද සමඟ පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ පුද්ගලයන් දහනව දෙනකු සිටි බවකි. ඒ අනුව පිපිරීමෙන් මියගිය ගණන දහහතක් බවට තීරණය කරන විමර්ශන කණ්ඩායම ඉන් පසුව කරන්නේ කුමක්ද?

පිපිරීම සිදුවූ නිවස වෙත යන ඔවුහු නිවසේ හතර අතේ විසිරී තිබූ සිරුරු කොටස් ගෙන ගොඩවල් දහහතකට වෙන් කරන්නාහ. එහිදී ඔවුන් උපකල්පනය කරනුයේ එකී සිරුරු කොටස් ගොඩවල් දහහත තුළ නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයන් දහහත් දෙනාගේම සිරුරු කැබලි ඇති බවය.

එසේ සිතීම නිවැරදිය. එහි ගැටලුවක් නැත. මේ අන්දමට එකතු කරන ලද සිරුරු කොටස් අතරින් මියගිය පුද්ගලයන් හය දෙනකු ඒ අවස්ථාවේම හඳුනා ගත්තද සෙසු කිසිවකුත් හඳුනා ගැනීමට විමර්ශකයෝ අසමත් වූහ. ඒ අනුව පසුව එකතු කරන ලද සිරුරු කොටස් සහිත ගොඩවල් දහහත වෙන වෙනම පොලිතීන් උරවලට දමන විමර්ශන කණ්ඩායම ඒවා රැගෙන අම්පාර රෝහල වෙත ගොස් එකී සිරුරු කොටස් අතරින් කැබලි දහහතක් ගෙන සෙසු ඒවා අම්පාර සුසාන භූමියේ වළ දමන්නාහ.

සිරුරු කොටස් කැබිලි දහහතක් වෙන්කර ගනු ලබන්නේ ඩීඑන්ඒ පරීක්‍ෂණයක් මගින් මිය ගිය සෙසු පිරිස හඳුනා ගනු පිණිසය. එහෙත් එසේ කිරීම නිවැරදි වන්නක්ද? පළපුරුදු විමර්ශන නිලධාරියකු කළ යුත්තේ එයද? එසේ සිරුරු කොටස් ගොඩවල් දහහත අතරින් කැබලි දහහතක් වෙන්කර ගැනීමේදී මිය ගිය එක් අයකුගේ සිරුරු කොටස් මඟහැරීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව විමර්ශකයන්ට නොවැටහුණේ ඇයි.

අනතුරුව එසේ ලබාගත් සිරුරු කොටස් දහහත ඩීඑන්ඒ පරීක්‍ෂණයට ලක් කෙරිණි. එහිදී මියගිය සෙසු සියලු දෙනා හඳුනා ගනු ලැබුවද පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ට සිදුවූ දෙයක් අනාවරණය නොවීය. එයට හේතු වූයේ මළ සිරුරු කොටස් දහහත අතරින් තෝරා ගත් කැබලි දහහතට සාරා ජස්මින්ගේ සිරුරු කොටසක් අයත් නොවීම බව සිතන්නට විමර්ශන නිලධාරීන්ට විඤ්ඤාණයක් නොතිබිණි. ඔවුහු අඳබාලයෝ මෙන් තවත් වසරකට පසු එකී සිරුරු කොටස් දහහත දෙවැනි ඩීඑන්ඒ පරීක්‍ෂණයකටද යොමු කළහ. පිපිරීම සිදුවූ සයින්දමරුදු නිවසින් සොයා ගත් සියලු සිරුරු කොටස් ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමු කළ යුතු බවක් විමර්ශන නිලධාරීන්ගේ ටිකිරි මොළවලට කල්පනා වූයේ නැත.

සාරා ජස්මින් එදා සයින්දමරුදු නිවසේ සිටියදී පිපිරීමෙන් මියගිය බව විද්‍යාත්මකව තහවුරු නොවීමට පැහැදිලිම හේතුව වූයේ විමර්ශන නිලධාරීන් එසේ නිසි අවධානයකින් දැක්මකින් තොරව කටයුතු කිරීමය.

එහිදී සිදුවූයේ අවධානයකින් සහ දැක්මකින් තොරව කටයුතු කිරිමද නැතහොත් කිසියම් කුමන්ත්‍රණයක් හමුවේ සිතා මතා ගොබ්බයන් සේ කටයුතු කිරීමද යන්න අපි නොදන්නෙමු. එහෙත් අප නැවත නැවතත් ආණ්ඩුවට අවධාරණය කරනුයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිවැරදිව ඉදිරියට යෑමට නම් විමර්ශන නිලධාරීන් එසේ මෝඩයන් සේ කටයුතු කිරීමට හේතු වූයේ කුමක්දැයි අනාවරණය කර ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි යන්නය.

මේ අන්දමට ඩීඑන්ඒ පරීක්‍ෂණ දෙකක් සිදු කර තිබියදීත් සාරා ජස්මින් අතුරුදන් අයකු බවට පත් වෙද්දී ඇය පාස්කු ප්‍රහාරය හමුවේ රටම කැළඹූ චරිතයක් වන්නේ කොතැනදී ද?

එය සිදු කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන මාහින්කන්දය.

දිනක් ජනාධිපති කොමිසම හමුවට යන ඔහු ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කොමිසම හමුවේ ප්‍රකාශයක් කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වැදගත් සාක්‍ෂියක් තමන්ගේ විශ්වාසවන්ත ඔත්තුකරුවකු සතුව පවතින බව දැනුම් දෙන්නේය.

ඒ අනුව සීඅයි මාහින්කන්දගේ ඔත්තුකරුවා කොමිසමට කැඳවා කරුණු විමසීමට කොමිසම පියවර ගන්නා අතර එහිදී හේ කියන්නේ කුමක්ද? එවකට අම්පාර පොලිසියේ සේවය කළ පොලිස් පරීක්‍ෂකවරයකු වූ අබුබක්කර් නමැති නිලධාරියා සයින්දමරුදු පිපිරීමෙන් පසු කලවංචිකුඩි ප්‍රදේශයට පැමිණ අලුයම් කාලයේ සාරා ජස්මින් කැබ් රථයක නංවාගෙන පලා යනු තමන් දෑසින් දුටු බවය.

එම ප්‍රකාශය තහවුරු කරනු පිණිස ඔහු තමන් සමඟ ඒ මොහොත් සිටියේ යැයි කියමින් සිය සගයකුද කොමිසම හමුවට ගෙන එනු ලැබීය. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුළු කිතුනු පල්ලිය මෙන්ම මුළු රටම අතරමං කළ චරිතයක් බවට සාරා ජස්මින් පත්වන්නේ එතැන් සිටය.

පසුව ජනාධිපති කොමිසමේ නියෝග යටතේ ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දුරකථන දත්ත අනුව යමින් පොලිස් පරීක්‍ෂක අබුබක්කර් සහ සීඅයි මාහිංකන්දගේ ඔත්තුකරුවන් ඒ දිනවල වැරදීමකින්වත් කලවංචිකුඩි ප්‍රදේශ ගොස් නැති බව අනුවාරණය කරගනු ලැබීය. ඒ අනුව සිදු කළ ඉදිරි විමර්ශන මගින් සීඅයි අර්ජුන මාහිංකන්දගේ ඔත්තුකරුවන් කොමිසම හමුවේ කරනු ලැබූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බවට හෙළි සීඅයිඩීය කරගනු ලැබිණි.

සීඅයිඩීයේ විමර්හන මගින් එසේ සීඅයි මාහිංකන්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ සාක්‍ෂි අසත්‍ය ඒවා බවට හෙළි වීමත් සමඟ ඔහු කරනු ලැබුවේ ග්‍රීන් කාඩ් ලොතරැයියක් ලැබී ඇමරිකාවට යෑමය.

පසුව එම වාර්තා නීතිපතිවරයාට මෙන්ම ජනාධිපති කොමිසම වෙතටද ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළද සරා ජස්මින් කැබ් රථයකින් රැගෙන ගියේ යැයි සීඅයි මාහිංකන්දගේ ඔත්තුකරුවා කී අම්පාර පොලිසියේ පොලිස් පරීක්‍ෂක අබුබක්කර්ට සිදුවූයේ වසර හතරක් පුරා බන්ධනාගාරගතව සිටින්නටය.

එම චෝදනාවෙන් ඔහුව නිදහස් කෙරුණේ ඉකුත් සතියේදීය. එය සිදුවන්නේ අම්පාර සුසාන භූමියේ වළදමා තිබී සයින්දමරුදු පිපිරීමෙන් මියගිය සියලු දෙනාගේ සිරුරු කොටස් සියල්ල තෙවැනි ඩීඑන්ඒ පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් පසු සාරා ජස්මින් මියගිය බවට තහවුරු වීම නිසාය.

සාරා ජස්මින් මියගිය බවට අනාවරණය වනතුරුම අම්පාර පොලිසියේ සේවය කළ පොලිස් පරීක්‍ෂක අබුබක්කර් නමැති නිලධාරියා පමණක් නොව ඔහුගේ පවුලේ අය පවා ගෙවී ගිය සිව් වසරක කාලයේ ශාරීරිකව, මානසිකව හා සමාජමය, ආර්ථිකමය වශයෙන් විඳි පීඩාවන් අනන්ත අප්‍රමාණය. එය මොනතරම් අසාධාරණයක්ද?

ඒවාට වන්දි ගෙවන්නේ කවරෙක්ද? අතේ පැළ කර කියූ පට්ටපල් බොරුවක් හමුවේ වසර හතරක කාලයක් මිනිසකුට සිරගතව සිටීමට වීම ම මොනතරම් අභාග්‍යයක්ද? අබුබක්කර් නමැති පොලිස් නිලධාරියාට සාධාරණය ඉටු කර දෙන්නට නම් ආණ්ඩුව දැන් වහාම කළ යුත්තේ ඔහුට එරෙහිව බොරු සාක්‍ෂි දුන් පුද්ගලයන් දෙදෙනා වහා අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියා මාර්ග ගැනීමය.

ඉන් නොනැවතී චෝදනා ගොනු කරමින් අධිකරණ වරෙන්තුවක් ගෙන හැකිනම් උදර්පණ නීතිය යටතේ හෝ සීඅයි අර්ජුන මාහිංකන්දව යළි ශ්‍රී ලංකාවට එවන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කිරීමට රජය කටයුතු කළ යුතුව ඇත. එසේ කිරීමෙන් පසු අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. කතා දෙකක් නැත. මෙරටට ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන කඩිනම් විමර්ශන සිදු කර දඬුවම් ලබාදිය යුතුය.

අබුබක්කර් නමැති නිලධාරියා එසේ සිව්වසරක් සිරගතව සිටිනුයේ සහරාන් හෂීම්ගේ බිරිඳ හාදියා පොලිසියට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේව්තුවට හා ජනාධිපති කොමිසමට ආදී වශයෙන් සාරා ජස්මින්ට අත්වූ ඉරණමේ ඇත්ත පස් වතාවක් හෙළිකර තිබියදීය.

එහිදී ඇය පවසා ඇත්තේ කුමක්ද? ‘එදා මම වැසිකිළියට ගොස් යළි නිවසට එන විට සාරා ජස්මින් මරාගෙන මැරෙන ජැකට් එකකුත් දාගෙන අනිත් අයත් සමඟ නිවසේ සාලයේ වඩි වී සිටියා. මාව දැක්ක ගමන් එයා කිව්වා අපි ස්වර්ගයට යන්න හදන්නේ ඉක්මනට ඔයත් එන්න කියලා. එවෙලේ මට මහා බයක් දැනුනා. එනිසා මම දරුවවත් අරගෙන ගෙදර කාමරයකට යනවත් එක්කම මහා හඬකින් නිවස පුපුරා ගියා’

පොලිස් පරීක්‍ෂක අබුබක්කර් වසර හතරක් සිරගතව සිටින්නේ සහරාන්ගේ බිරිඳ එසේ සාරා ජස්මින්ට වුණ දේ හෙළිකර තිබියදීය. සාරා ජස්මින් සිව් වසරක් පුරා මෙලෙස රට කැළඹූ චරිතයක්ව සිටියදී මෙරට ආරක්‍ෂක බුද්ධි අංශවලට ඇතැමුන් එල්ල කළ ප්‍රහාරද සුළු පටු නැත. ඒ සියල්ල තුළ තිබුණේ කුමන්ත්‍රණය. එය අදටත් සිදු වෙමින් තිබෙන්නකි.

ඇතැමුන් පාස්කු වින්දිතයන් පිළිබඳ පවසා හඬා වැටෙමින් සිදු කළේද එකී කුමන්ත්‍රණවල කොටස්කරුවන් වීමය. කනගාටුවට කරුණ වන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ඇතැම් ආගමික නායකයන්ද ඒ තත්ත්වයට ඇද වැටීමය. පාස්කු ප්‍රහාරය ගෙන බුද්ධි අංශ වෙත පහර දීම මේ මොහොතේත් සිදුවන්නකි. එය නොනැවතෙන කුමන්ත්‍රණයකි. මේ මොහොත වන විට සාරා ජස්මිනගේ මරණය අදහා ගත නොහැකිවාක් මෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ නිවැරදි පරීක්‍ෂණයක් කරන්නට තමන්ට ආරක්‍ෂක ඇමැතිකම දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියනුයේ එවැනි වටපිටාවක් නිර්මාණය වී තිබියදීය.

කරන ඉල්ලීම පිළිබඳ සලකා මුජිබර් රහුමාන් මහතාට රටේ ආරක්‍ෂක ඇමැතිකම දීම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැත. ඇතැම් අවස්ථාවල මාධ්‍ය ඉදිරියේදී අදහස් ප්‍රකාශ කරන ආකාරය බැලූ කල ආරක්‍ෂක ඇමැතිකම නොව තවත් දේ දෙන්නට මේ රටේ මිනිස්සුන්ට සිතෙනවාද විය හැකිය.

එහෙත් වැරදිලාවත් මුජිබර් රහුමාන් මහතාට රටේ ආරක්‍ෂක ඇමැතිකම භාර දෙන්නට කටයුතු කරන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව කළ යුතු ඊළඟ කටයුත්ත වන්නේ සහරාන් හෂීම්ගේ බිරිඳ කැඳවා ඇය සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක කිරීමය. මුජිබර් රහුමාන් මහතා දෙස බලා එයට වඩා කියන්නට දෙයක් අපට නැත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment