සතොස කියන ගාණට බඩු ගන්න තියෙනවද?

120

තුන් වේලම බඩ කට පිරෙන්න කනවා කියන එකත් දැන් ලංකාවේ මිනිස්සුන්ට හීනයක් වෙලා. නැති බැරි මිනිස්සු වගේම ඇති හැකි මිනිස්සුත් දැන් ගොඩක් වෙලාවට කන්නේ වේලක් හැර වේලක්. දවසේ එක වේලක් බත් ටිකක් කාලා ඉතිරි වේල් දෙකම තේ කහට ටිකකින් ගෙවා ගන්න, මුට්ටියේ බත් ටික දරුවන්ට දීලා ඇල් වතුර ටිකකින් බඩගිනි නිවාගන්න මිනිස්සු වගේම ආසාවටවත් එක වේලක් බත් ටිකක් කන්න නැති, තැනින් තැන ඇවිදලා හොයාගන්න දෙයක් කන බොන මිනිස්සු ඕනෑවටත් වඩා මේ රටේ ඉන්නවා.

ඉතිහාසයේ කවරදාවත් නොවූ තරම් දරුණුවට ඇතිවුණු ආර්ථික අර්බුදය සහ දවසින් දවස අහස උසට ඉහළ යන බඩු මිල නිසා අපේ රටේ මිනිස්සු කබලෙන් ළිපට වැටුණා. අද තුන් වේලම ළිප ගිනි මෙලවෙන ගෙදරක් තියෙනවා නම්, තුන් වේලම කටට රසට කෑම ටිකක් හැදෙන ගෙදරක් තියෙනවනම් ඒ කලාතුරකින්. පාන් රාත්තලක් පස් හය දෙනෙක් එක්ක බෙදාගෙන කන, කොස් ඇට ටිකකින්, අඹ ගෙඩියකින්, කුරුම්බා වතුර ටිකකින් බඩගින්න නිවාගන්න මිනිස්සු ගැන තොරතුරු පහුගිය දවස්වල අපට ඕනෑවටත් වැඩියෙන් වාර්තා වුණා.

අද ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් සපයන ආහාරවල වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හා නිෂ්පාදන වල මිල ගණනුත් 100% කින් ඉහළ ගිහින්. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම දරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට මන්දපෝෂණය ඇතිවීමේ අවදානමකුත් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ පෙන්වලා දෙනවා. තවත් නොබෝ දිනයකින් අපේ රටේ ජනතාවට පෝෂණය සම්බන්ධයෙන්ද බරපතළ අර්බුද ගණනාවකටම මුහුණ දෙන්න වෙනවා කියලා මේ වෙද්දිත් පෝෂණවේදීන් අනතුරු අඟවලා තියෙනවා.

මේ අතර ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව 05 වන ස්ථානයට පත්ව ඇති බවට ලෝක බැංකුව පහුගිය දවසක තොරතුරු අනාවරණය කළා. ඒ වගේම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූලි මාසයේ අපේ රටේ උද්ධමන වේගය 66.7% දක්වා ඉහළ ගිහින් කියලා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ ප්‍රමාණය පසුගිය ජුනි මාසයේ පැවති උද්ධමන වේගයට සාපේක්ෂව බලද්දී 7.8% ක ඉහළ යාමක්. ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 82.5ක් දක්වා ඉහළ ගිහින්. ජූනි මාසයේදී ඒ අගය පැවතුනේ සියයට 75. 8ක මට්ටමක.

මේ වන විටත් ලංකාවේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙලා. එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් ලබන්නේ වැටුපෙන් අඩක ප්‍රමාණයක් පමණයි. කුලී වැඩක් කරමින් හෝ සුළු රැකියාවක් කරමින් ජීවත් වූ බොහෝ දෙනකුට තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. ඒ විදියට රැකියා අහිමි වීමත් සමඟම භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන ගාස්තු වැඩි වීම, ගමනාගමන ප්‍රවාහන ගාස්තු වැඩිවීම, ඖෂධ හිඟය සහ ඖෂධ වල මිල ගණන් ඉහළ යෑම ආදියෙනුත් අපේ රටේ ජනතාව පීඩා විඳිනවා. අද රජයේ රැකියාවලින් වගේම පුද්ගලික අංශයේ රැකියා වලින් ලැබෙන වැටුපෙන් මිනිස්සු මාසයක් ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්.

වෙනදාට ලාබෙට ගත්ත පානුයි පරිප්පුයි කන්න දැන් බැංකුවක් වත් කඩන්න වෙනවා කියලා තමයි මිනිස්සු කතාවටත් කියන්නේ. සම්බෝලයි බතුයි කන්න වත්කමක් තියෙන්නෙත් කීයෙන් කී දෙනාටද? අල, පරිප්පු, ලූනු, මිරිස්, සීනි, හාල් වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම සබන්, ඇඳුම්, ඖෂධ වගේ දේවල මිලත් එකට එකක් ඉහළ ගිහින්.

කොහොම වුණත් භාණ්ඩ මිල ඉහළ යෑමත් සමඟ දැඩි අපහසුතාවලට මුහුණ දෙන ජනතාවට සහන සැපයීමේ බලාපොරොත්තුව ඇතිව රජයට අයත් ලංකා සතොස වෙළෙඳසල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිලගණන් පසුගිය 23දා සිට අඩු කරන්න තීරණය කළා කියලා අපිට තොරතුරු වාර්තා වුණා. ඒ යටතේ ආහාර වර්ග පහක මිල ගණන්ද අඩු කළ බවට සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මාධ්‍ය හමුවකදී කියා සිටියා. ඉදිරියේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල තවදුරටත් අඩු කරන බවත්, එමඟින් සෑම පවුලකටම දිනකට ආහාර වේල් තුන බැගින්ම ලබා ගැනීමට හැකිවන බවටත් සභාපතිවරයා සහතික වුණා.

ඒ අනුව, ආනයනික සම්බා කිලෝවක මිල රුපියල් 21 කින් අඩු කරමින් රුපියල් 194ට, පරිප්පු කිලෝවක මිල රුපියල් 25කින් අඩු කරමින් රුපියල් 460ට, රුපියල් 1800-1850ක් අතර වූ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1375කට, රුපියල් 335 -350ත් අතර පැවති දුඹුරු සීනි කිලෝවක් රුපියල් 310ට, ආනයනික නාඩු කිලෝවක් රුපියල් 198ට සහ රුපියල් 1950-2100ත් අතර පැවති වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1690ටත් අලෙවි කරවීමට පියවර ගන්නා බවට සතොස සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මීට පෙර ලංකා සතොසින් එක් පුද්ගලයකුට එක් වරකට ලබා දුන්නේ සහල් කිලෝ ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සහ සීනි කිලෝවක ප්‍රමාණයක් පමණයි. නමුත් දැන් එක් පුද්ගලයකුට එක් වරකට සහල් කිලෝ පහක් සහ සීනි කිලෝ දෙකක ප්‍රමාණයක් මිලදී ගැනීමටත් හැකියාව තියෙනවා. ලංකා සතොස සතුව හිඟයකින් තොරව භාණ්ඩ පවතින නිසා සැපයුම් කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සිදු කරන්න පුළුවන් කියලත් එහි සභාපතිවරයා පෙන්වා දෙනවා.

කර කියාගන්නම දෙයක් නැතිව ඉන්න මිනිස්සුන්ට මේ සහනයත් මහමෙරක් වගේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒත් පොරොන්දු දුන් විදිහටම භාණ්ඩවල මිල ගණන් අඩු වුණාද? ඒ අඩු කළ මිල ගණන් යටතේම සතොසෙන් භාණ්ඩ මිලදී ගන්න හැකියාව තියෙනවාද ? මිල අඩු කළා කියන ආහාර ද්‍රව්‍ය සතොසේ තියනවද? කියන කාරණා ගැන හොයලා බලන්න දිවයින කණ්ඩායමක් පහුගිය දවසක සතොස වෙළෙඳසල් කිහිපයක නිරීක්ෂණයක යෙදුණා.

සමහර සතොස වෙළෙඳසල්වල සංශෝධනය කළ නව මිල ගණන් වලටම භාණ්ඩ අලෙවි කරන ආකාරය අපට දැක ගන්න පුළුවන් වුණා. නමුත් බොහෝ වෙළෙඳසල්වල මිල අඩු කළ භාණ්ඩ ඉක්මනින්ම අවසන් වුණා කියලා සතොස සේවකයන් කිහිප දෙනෙක්ම පෙන්වලා දුන්නා.

“හාල් කිලෝ පහට වඩා දෙන්න බෑ කීවාම එක ගෙදරම දෙතුන් දෙනා ඇවිත් හාල් ගන්නවා. සීනි, පරිප්පු, අල, ලූනු කොයි දේත් එහෙම තමයි. කවුරුත් අනික් මනුස්සයා ගැන හිතන්නේ නෑ. සමහර මිනිස්සු මේවා අරගෙන ගිහින් ගොඩ ගහ ගන්නවා. සතොසෙන් අඩුවට බඩු දෙනවා කියන ආරංචියට බඩු ගන්න එන මිනිස්සු අපට බැන බැන ආපහු යනවා. එක ගෙදරම සාමාජිකයෝද? කලින් ඇවිත් බඩු අරන් ගියාද කියලා අපි මතක තියා ගන්නේ කොහොමද?”

සමහර භාණ්ඩ සඳහා සීමාවන් පනවලා තිබුණත් බොහෝ පාරිභෝගිකයන් ඒ සීමා පිළිබඳව තැකීමක් නොකර භාණ්ඩ මිලදී ගන්නවා කියලා තමයි සතොස සේවකයන් නම් කියන්නේ. කොහොම වුණත් මිල අඩු කිරීමත් සමඟ සමහර සතොස වෙළෙඳ සල් ළඟ තරමක් දිග පෝලිම් නිර්මාණය වෙලා තියෙන ආකාරයත් දැකගන්න ලැබුණා.

“මිනිසුන්ට මේ විදිහේ සහනයක් හරි ලැබෙන එක වෙලාවේ හැටියට හොඳයි. මිනිස්සු කොච්චර අසරණයි ද කියලා මේ පෝලිම දිහා බැලුවාම තේරෙනවා. අද රස්සාවක් කරලා ගන්න පඩියෙනුත් කන්න බොන්න වියදම් කරනවා මිස වෙන දෙයක් කරන්නේ නැහැ. පැයක් දෙකක් හරි පෝලිමේ ඉඳලා අඩුවට තියෙන දෙයක් ගන්න මිනිස්සු පොර කන්නේ ඒකයි.”

සතොස ළඟ පෝළිමක තමන්ගේ වාරය එනකම් බලාගෙන හිටිය පාරිභෝගිකයෙක් ඒ විදිහට අපට කිව්වා.

ඇත්තටම මේ ලැබුණු සහනය මිනිස්සුන්ට කොයි තරම් වටිනවාද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කොහොම වුණත් මිල අඩු කළා කියන කිසිම දෙයක් මිලදී ගන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලත් සමහර පාරිභෝගිකයන් චෝදනා කළා.

“බඩු ටික අරගෙන බිල් කරගන්න ගියාම මේ මිල අඩු කළ භාණ්ඩ නෙමෙයි කියලා කවුන්ටරයෙන් කිව්වා. ඒ දේවල් ඉක්මනින් ඉවර වෙලාලු. සමහර බඩු තවම සතොසට ඇවිල්ලාත් නෑලු. කරන්න දෙයක් නැති කමට ගත්තු ටිකට සල්ලි ගෙවලා අරගෙන ආවා.”

ඇතැම් සතොස වෙළෙඳසල්වලට තවමත් මිල අඩු කළ භාණ්ඩ ලැබී නැති බවත් ඒ නිසා පරණ මිලටම පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගන්නට සිදු වූ බවත් අපට දැනගන්න ලැබුණා. අපි නිරීක්ෂණය කළ සතොස අලෙවිසල් කිහිපයකම ඒ වන විටත් ඉතිරි වෙලා තිබුණේ හාල් පරිප්පු වගේ දේවල් බහාලන හිස් බක්කි විතරමයි.

“අපිට වුණේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගේ වැඩක්. රුපියල් දහයකින් පහළොවකින් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් අඩු වුණාම සතුටු වෙන්න තරම්ම අපේ රටේ මිනිස්සු අසරණ වෙලා. මේ විදිහට මිල ගණන් අඩු වෙන එක ගැන සතුටු වෙන්න නෙමෙයි දුක් වෙන්නයි ඕනේ. මොකද අපේ රටේ මිනිස්සු දුක් විඳින්නේ මිනිස්සුන්ගේ වරදින් නෙමෙයි. කවුරුත් ණයට සතොසෙන් බඩු අරන් නෑ. ෂෙඩ් වලින් ණයට තෙල් ගහගෙන නෑ. නැති බැරි මිනිහෙක් සිල්ලර කඩයකින් හාල් සීනි ටික ණයට ගත්තට මේ රටේ එක මනුස්සයෙක්වත් රටට ණය නෑ” සමහර දේශපාලනඥයන්ගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් නිසා අද ජනතාවට දුක් විඳින්න වෙලා කියලා මිනිස්සු කියන්නේ හරිම වේදනාවකින්.

මේ විදිහට හරි පාරිභෝගිකයන්ට සහනයක් සැලසීම අගය කළ යුතු ක්‍රියාවක් වුණත් සහන මිලටවත් ආහාරපාන ටික මිලට ගන්න මිනිසුන්ට මුදල් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්? ඇත්තටම අද වෙද්දි බොහෝ දෙනෙක්ට මාසෙ අන්තිමට ලැබෙන වැටුප මාසයක් කාලා බීලා ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නැහැ. මිනිසුන්ගේ වචනවලින් කියනවා නම් අපි දැන් කරන්නේ “කන එක නෙමෙයි ලෙවකන එක”.

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment