13 කියන්නේ නැති ප්‍රශ්නයකට දුන්නු උත්තරයක්…රුහුණු රට භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය ඔමාරේ කස්සප හිමි

134

දෙමළ බෙදුම්වාදයට පදනම වී තිබෙන්නේ ඓතිහාසිකව දෙමළ ඊළමක් පැවතියාය යන විශ්වාසයයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිතුමිය ලෙස කටයුතු කළ සමයේදී දේශපාලන යෝජනාවලිය හෙවත් පැකේජය ගෙන ආවේ එම විශ්වාසය මත කටයුතු කරන පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදිය. එහෙත් එම දේශපාලන යෝජනාවලියට එරෙහිව සිංහල සමාජය තුළින් විශාල විරෝධයක් එල්ල වූ අතර එම විරෝධයේ පුරෝගාමී නායකයකු වූයේ රුහුණු රට භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය ඔමාරේ කස්සප හිමියන්ය.

II වන ජනරජ ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය එක් වූයේ ද ඓතිහාසිකව දමිළ ඊළමක් පැවතියාය යන විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ මනදොල සංසිඳවීමටය. මේ වන විටත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැති 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය පිළිබඳව අප පූජ්‍ය ඔමාරේ කස්සප හිමියන්ගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – 13 වන සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන නිසා එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීවත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ එම සංශෝධනය මෙම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම ඔබ වහන්සේගේ අනුශාසනාව කුමක් ද?

පිළිතුර – 13 වන සංශෝධනය අහෝසි කළ යුතුව තිබියදී එය සම්පූර්ණයෙන්ම මෙම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක්. 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ.

13 වන සංශෝධනය යටතේ තමයි පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කළේ. මෙම සංශෝධනය නිසා සිද්ධ වූයේ පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක් තමයි. මෙම සංශෝධනය හඳුන්වා දුන්නු අවස්ථාවේදී සඳහන් කළේ එය ත්‍රස්තවාදයට විසඳුමක් ලෙස හඳුන්වාදෙන බව තමයි. එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූයේ උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ පදනම් කරගෙන තමයි. නමුත් එම ත්‍රස්තවාදයට විසඳුම ලෙස ලංකාව පළාත් 09 කට බෙදලා පළාත් සභා 09 ක් පිහිටවූවා. ඒත් පාර්ලිමේන්තුවක බර දරාගැනීමට නොහැකිව සිටි මේ රටේ ජනතාවගේ කර මත පුංචි පාර්ලිමේන්තු 09 ක බර පැටවූවා. එම නිසා තමයි අපි පළාත් සභා පිහිටුවීම නුසුදුසු ක්‍රියාවක් බව සඳහන් කරන්නේ. ඒ වගේම නොකළ යුතුව තිබුණ දෙයක්. එහි දුර්විපාක සමස්ත ජනතාව මතම පැටවෙලා තිබෙනවා. පළාත් සභා සඳහා දරන්න සිදුවී තිබෙන වියදම මේ රටටත්, ජනතාවටත් මහා බරක් වෙලා තිබෙනවා. මෙම නිසා මේ රට විශාල විපතකට පත්වී තිබෙනවා.

මෙම පළාත් සභාව කියන දේ මේ රටේ ජනතාව ඉල්ලපු දෙයක් නොවෙයි. නමුත් මෙම පළාත් සභා පිහිටවපු දවසේ ඉඳලා මේ දක්වා ඒ සඳහා බිලියන ගණනක් වියදම් කරලා තිබෙනවා. මෙතරම් වියදම් කළත් පළාත් සභා මේ රටේ සංවර්ධනයට කොතරම් දුරකට දායක වෙලා තිබෙනවාද? පළාත් සභා පිහිටුවීම කියන්නේ මේ රටේ පාලකයන් විසින් ගන්න වැරදිම තීරණයක්. එම නිසා මෙම පළාත් සභා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ යුතුයි.

මේ රටේ පළාත් සභා පැවතිය යුතු බව ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදය සාධාරණීකරණය කළ අය පමණයි. එම පුද්ගලයන් ඉදිරිපත් කරන්නේ මනංකල්පිත අදහස්. ඒ වගේම ජේ. ආර්. ජයවර්ධන මහතා මෙම පළාත් සභා ක්‍රමය හඳුන්වලා දුන්නේ ඉන්දියාවේ බලපෑම නිසා. අදත් අපි ඉන්දියාවේ බලපෑමට රූකඩ වගේ නැටවෙනවා. පළාත් සභාව කියන්නේ 13 වන සංශෝධනය කියන්නේ නැති ප්‍රශ්නයකට දුන්න උත්තරයක්. එම නිසා මෙම අවස්ථාවේදී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට එරෙහි විය යුතුයි.

ප්‍රශ්නය – 13 වන සංශෝධනය, පළාත් සභා ක්‍රමය පදනම් කරගෙන විටින් විට ප්‍රශ්න මතුවෙනවා. එම තත්ත්වය දුරු කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද?

පිළිතුර – ඒ සඳහා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි. 13 වන සංශෝධනය ගෙන ආවා කියලා ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳුනේ නැහැ. එම ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳුවේ යුදමය වශයෙන්. මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම යුද්ධ කරලා තමයි 2009 දී එම ප්‍රශ්නය විසඳුවේ. එම ප්‍රශ්නය විසඳීමෙන් පසුව තවදුරටත් පළාත් සභා පවත්වාගෙන යන්න අවශ්‍ය නැහැ. තවදුරටත් මෙම පළාත් සභා පවත්වාගෙන යනවා කියන්නේ අනවශ්‍ය වියදමක් පමණයි. මෙම පළාත් සභා පඹගාලේ ජනතාව පැටලුවේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඉන්දියාව සතුටු කරන්න තමයි ජයවර්ධන මහතා පළාත් සභා හඳුන්වා දුන්නේ. ජයවර්ධන මහතා හිතන්න ඇති ඉන්දියාව සතුටු කළ විට ප්‍රශ්නය අවසන් වේවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. ප්‍රශ්නය අවසන් වූයේ යුද්ධයෙන්. එම නිසා දැන් 13 වන සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතුයි.

ප්‍රශ්නය – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළා ඔවුන්ගේ රජයක් යටතේ ජාතිය සහ ආගම පිළිබඳව කතා කිරීම අපරාධයක් සේ සලකන නීති හඳුන්වාදෙන බව. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අනුශාසනාව කුමක්ද?

පිළිතුර – ජාතියයි, ආගමයි පිළිබඳව කතා කරන්න එපා කියල කියන්න පුළුවන්ද? ස්වභාවයෙන්ම පුද්ගලයන් තුළ තමන්ගේ ජාතිය සහ ආගම පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. එපමණක් නොවෙයි තමන්ගේ රටේ ගහකොළ, සතා සිව්පාවා පිළිබඳව පවා හැඟීමක් ඇති වෙනවා. ඒ පිළිබඳව හිතන්න එපා කියලා කියන්න පුළුවන් කාටද? සිංහල, දෙමළ, මුස්ලිම් කියල ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජාතිය, ආගම පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනි. ඊට එරෙහිව නීති පනවන්න කාටවත් බෑ. තමන් උපන් භූමියට සලකන එක අම්මට, තාත්තට සලකනවා වගේ වැඩක් තමයි. ඒ පිළිබඳව කතා කරන එක දඬුවම් ලැබිය යුතු වරදක් කියනවා නම් ඒක පුදුම කතාවක්නේ. ජාතිකත්වය හෝ ජාතිආලය කියන්නේ පුද්ගලයන් තුළ තිබිය යුතු දෙයක්. ඊට එරෙහිව නීති පනවන අය රටක නායකයන් ලෙස සලකන්න පුළුවන්ද?

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment