වඩමාරච්චි ප්‍රින්සිපල් මුහුණුපොතෙන් කෝටි දෙකක් සොයලා

4649

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සකසා ගත් ආධාර කරන්නන්ගේ සමූහයක් ඔස්සේ රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂයක මුදලක් එකතු කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කොට ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් රුපියල් ලක්ෂ ගණනින් එම පාසලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර සපයා දුන් පුද්ගලයින් පිළිබඳව දත්ත හා තොරතුරු රැස් කිරීමට පටන් ගෙන තිබේ.

පාසලේ දෙගුරුන් විසින් පාසල් සංවර්ධන සමීතිය කැඳවා එහිදී විදුහල්පතිවරයාට චෝදනා කරමින් එසේ එකතු කර ගන්නා ලද මුදල් වලට සිදු වූයේ කුමක්දැයි විමසූ අවස්ථාවේදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ තමන් එසේ මුදල් එකතු කොට නොමැති බවයි.

එම අවස්ථාවේදී දෙමව්පියන් පිරිසක් අදාළ සමාජ මාධ්‍ය සමූහය හරහා පාසලට ආධාර සපයන ලද පිරිස ගැන සභාවේදී තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේදී විදුහල්පතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එම මුදල් පාසල් සංවර්ධනයට නොව තමන්ගේ විදෙස්ගත හිත මිතුරන් පිරිසක් විසින් තමන් ඇතුළු පිරිසක් විසින් පවත්වා ගෙන යන ස්වෙච්ඡා සංවිධානයක සමාජමය කටයුතු ඉටු කිරීමට එසේ මුදල් ලබා දී ඇති බවයි.

විදුහල්පතිවරයා ඒ ගැන නිවැරදි තොරතුරු ප්‍රකාශ නොකිරීම නිසා එම පාසලේ පාසල් සංවර්ධන සමීතියේ නිලධාරීන් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ කටයුතු ආරම්හ වී ඇත.

මානව හිමිකම් කොමිෂමේ නිලධාරීන්ගේ දැනුම් දීමක් මත යාපනයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම මුදල් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලිපියක් මගින් අදාළ විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment