මන්ත්‍රීලා රැසක් දෙලොවක

423

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දෙන්නේ කුමන අපේක්‍ෂකයාට දැයි තීරණයක් ගත නොහැකිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් දෙගිඩියාවෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

මෙම මන්ත්‍රීවරුන් අතර පසු පෙළ මන්ත්‍රීවරුන් සහ ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූවන් බහුතරයක් සිටින බවද වාර්තා වේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ඒ සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ අනුව තම සහය ලබාදීම සම්බන්ධව තීරණය කරන බව ඔවුහු සඳහන් කරති.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ පුද්ගලයකු ජයග්‍රහණය කරවනු වෙනුවට රටේ ඉදිරි ආර්ථිකය ගොඩනැංවිය හැකි ජාතික වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීම සඳහා තීරණය කර ඇති බවය.

ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ඕනෑම පක්ෂයක් සමග එක්වීමට සූදානම් බවද ඔහු පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට අනුව සිදුකරන්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ණය ගෙවා දැමීමට උත්සාහ කිරීමක් මිස රටේ ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීම සහ අයවැය පරතරය අඩුකර ගැනීම සඳහා පියවර ගැනීමක් නොවේ යැයි පැවසූ මහාචාර්ය චරිත හේරත් මහතා ඊට තමා ඇතුළු නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් විරුද්ධ බව කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා පැවැසුවේ ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැත්ද කියා තීරණය කරන්නේ බහුතර කැමැත්ත මත බවයි. ඊට තමා ගරු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබාදෙන්නේ අදාළ අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අවධානය යොමු කර බවය. එහිදී සජිත් ප්‍රේමදාස මහතාද අනුර කුමාර දිසානායක මහතාද කියා වෙනසක් නැති බවද කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment