අසිහියෙන් ලියූ සටහන්

126

අඳුර

මං ඇඳට වෙලා ඉර පායනකන් බලාගෙන සිටියා. ඒත් ඉර පෑව්වෙ නෑ. එළියේ හැම තැනම අන්ධකාරය. මං ඇඳෙන් නැඟිටලා වෙලාව බැලුවා. වෙලාව දහයයි. දහය රෑ දහය වෙන්න විධියක් නෑ. මං නිදියගත්තෙත් රෑ දහයට. කෝකටත් මේ දවල්ද රෑද කියල සැක හැරගන්න මං ගෙදර කට්ටිය ඉන්නවාද බැලුවා. නෑ, ගෙදර කවුරුවත් නෑ. බිරිඳ මේ වෙලාවේ ඉස්කෝලෙ වෙන්න ඕන. උදේ හත වෙද්දි ඈ ගෙදරින් පිටත් වෙනවා. පුතා යන්නෙත් ඒ වෙලාවට. මට ගුඩ්ඩා මතක් වුණා. ඒත් ඌ හොඳටම නිදි. බල්ලන්ට රැයක් දවාලක් නෑ. කොයි වෙලාවෙත් නිදියනවා. බල්ලන්ගෙන් වෙලාව දැනගන්න විධියක් නෑ. හැබෑට මේ ඔරලෝසු කිසි වැඩක් නෑනෙ. මේවායෙන් වෙලාව බැලුවාට දවල්ද රෑද කියල දැනගන්න විධියක් නෑනෙ. මං ආයෙත් ඇඳට වැටුණා. එකපාරටම මගෙ ඔළුවට ආවා රේඩියෝ එක ඇහුවා නම් ප්‍රශ්නෙ ඉවරයිනෙ කියල. ඒත් එක්කම මතක් වුණා දැන් ගෙදර රේඩියෝවක් නෑ, තියෙන්නෙ ටීවී එකක් කියල. මං සාලෙට ඇවිත් ටීවී එක දැම්මා. ටීවී එකේ යන්නෙ මැච් එක. ලංකාව හොඳට කනවා. කන්නෙ ඇෆ්ගනිස්ථානයෙන්. කමක් නෑ. කෑම බීම දැන් හිඟයිනෙ. ඔහේ කාපුවාවෙ. ක්‍රිකට් බෝඩ් එකත් කනවානෙ හොඳට. මං සෑහෙන වෙලාවක් පරදින මැච් එක දිහා බලන් සිටියත් දවල්ද රෑද කියල දැනගන්න බැරි වුණා. මැච් දවල්ට වගේම රෑටත් ගහන හින්දා. මේ අතරතුර තරග විකාශය කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට යොමු වුණා. ලයිට් බිලත් වතුර බිලත් සියයට විස්සකින් වැඩි කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිකම මාරු වී සියලු සංවර්ධන ව්‍යාපෘති ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන තුරු අත්හිටුවා ඇති බවත් ඉන් කියවුණා. ඒත් වෙලාව දැනගන්න ලැබුණෙ නෑ. ටික වෙලාවකින් ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රවෘත්ති විකාශයට වෙනස් වුණා. නිවේදිකාව ප්‍රවෘත්ති ඇරඹුවේම “ආයුබෝවන්! මේ මධ්‍යාහ්න ප්‍රවෘත්ති” කියාගෙන. අන්තිමේ ප්‍රශ්නය විසඳුණා. මං ටීවී එක නිවලා එළියට ආවා. මාව සහළවලා ගියේ එළියේ තවමත් කළුවර හින්දා. කළුවර කිව්වෙ ගණ කළුවර. ටීවී එකේ නිවේදිකාවට වැරදුණාවත්ද? එහෙම වෙන්න හැටියක් නෑ. ප්‍රවෘත්ති ගියේ රජයේ නාලිකාවක. ඒත් රජයේ නාලිකාවල නේද වැරදීම් හුඟක් වෙන්නෙ? මං ආයෙත් ටීවී එක දැම්මා. වෙන නාලිකාවක්. එහි යනවා ‘නුග සෙවණ’. ආ! ‘නුග සෙවණ’ උදේ වැඩසටහනක්නෙ. කතා දෙකක් නෑ, මේ රෑ නෙවෙයි, දවල්. ංආ අර යන්නෙ අද රෑට කොපි චැට්වලට එන නළු නිළියො ගැන ඇඩ් එකකුත්.

දවල් – රෑ ප්‍රශ්නය විසඳාගත් මං එළියට ආවා. එළියේ අඳුර මාව විපිළිසර කළා. ඒ වගේම බියට පත් කළා. මේ සූර්ය ග්‍රහණයක්ද? නැත්නම් චන්ද්‍ර ග්‍රහණයක්? නෑ, ඒවා මෙච්චර වෙලාවක් තියෙන්න බෑ. ග්‍රහණ මිනිත්තුවකට දෙකකට වඩා තියෙන ඒවා නෙවෙයි. අන්තිමේ මට හිතුණා අද අපි ජීවත් වෙන්නෙ කාලගුණයෙන් වගේම දේශගුණයෙනුත් විපරිත කාලෙක, මේ කාලෙ ඕනම අරුම දෙයක් වෙන්න පුළුවන්, දවල් රෑ මාරු වෙන්නත් පුළුවන් කියල. ඉතිං මං මගේ තාර්කික මනෝලෝකය වසා දාලා ගෙයින් එළියට ඇවිත් වෙරළුගහ යට ලොවි බංකුව උඩ වාඩි වුණා. කිසිවක් එළිපහළියේ පේන්න නෑ. සියල්ල අන්ධකාරයේ. හඳ වගේම තරුත් නෑ අහසෙ. තියෙනවා, පේන්නෙ නෑ.

හැම දේම අඳුරේ හින්දා මං අවට හඬට ඇහුන්කම් දුන්නා සාවධානව. මාළුකාරයා උදේ මාලෝ! ගාමින් කෑගහන සද්දෙ ඇහෙනවා. ලොතරැයිකාරයා ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සිංදුවක් දාගෙන බයිසිකලය පාගන සද්දෙත් හීනියට ඇහෙනවා ඈතින්. ඉන් පස්සෙ ගත වූ නිහැඬියාවේ මට ඇහුණෙ කවුදෝ ‘හ්ම්….’ ගාණ සද්දයක්. මාව කවුරුවත් හම්බෙන්න ඇවිත්ද? ඒත් දිගටම ඇහුණෙ ‘හ්ම්…. හ්ම්’ සද්දෙ විතරයි. සද්දෙ ආවේ යාබද ගොඩපර ගහෙන් හින්දා මට හැඟුණා කවුද අමුත්තා කියල. ඔව්, හ්ම් ගාන්නෙ බකමූණො ඇර වෙන මොක්කුදෟ බකමූණො එළියට එන්නෙ රෑට. උන්ට දවල්ට ඇස් පේන්නෙ නෑ. ඒත් මේ රෑ නෙවෙයිනෞ කළුවර වැටිච්ච දවාලක්නෙ. දවල්ට බස්සො එළියට එනවාද? නෑ. බස්සො එළි බහින්නෙ කළුවරට. රෑ කළුවර නිසා රෑට එළි බහිනවා. දවල්ට කළුවර නම් දවල්ටත් එළි බහින්න පුළුවන් උන්. බකුසු හඬට ඇහුන්කම් දෙමින් වෙරළුගහ යට ලොවි බංකුවේ ඉන්දැද්දි එක මොහොතක මට ‘හ්ම්’ සද්දෙ වෙනුවට ඇසුණේ කටහඬක්: “මහත්තයාට වගේම අපටත් හිතට කරදරයි මේක.”

මං බැලුවා කවුද කථා කළේ කියල. ඒත් කිසිවෙක් පේන්න නෑ. අන්ධකාරෙ මොනවාද පේන්නෞ මං හොඳට සවන් යොමු කළා. “ඇත්ත කිව්වොත් මහත්තයාට වඩා මේක අපට කරදරයි.” ආයෙත් කථා කරනවා! හැබෑට කවුද මේ කථා කරන මනුස්සයා? ‘හ්ම්’ සද්දෙ වගේම මේ හඬත් ඇහුණෙ ගොඩපර ගහ දිහාවෙන් හින්දා මට අමුත්තා කවුදැයි තේරුම් ගන්න අමාරු වුණේ නෑ. ඒත් ඒක වෙන්න පුළුවන්ද! උන් කොහොමද කථා කරන්නෙ? “කවුද ඔය කථා කරන්නෙ?” මං කෝකටත් විමසුවා.

“සැක හිතන්න දෙයක් නෑ මහත්තයා. මං මේ ගොඩපර ගහ උඩ ඉන්න බකමූණා!” කටහඬ ප්‍රතිචාර පෑවා. ඒ කිව්වෙ බකමූණෙක් කථා කරනවා! අපොයි! නෑ, මං කලබල වුණේ නෑ. කනට ඇහුණු දේ අවිශ්වාස කළෙත් නෑ. කලබල වීම්, අවිශ්වාසයන් මගේ ජීවිතයේ නෑ දැන්. “මොකද බකුස්තුමාට අපට වඩා කරදරයි කිව්වෙ?” සැකසංකා ගසාබසා දාලා මං ප්‍රශ්න කළා බකමූණාගෙන්.

“ඉස්සර අපි රෑට වැඩ කළා. දවල්ට නිදාගත්තා. ඒත් දැන් දවාලක් නෑ. දිගටම රෑ. දැන් අපට නිදාගන්න විධියක් නෑ. ඉතිං අපේ ඔක්කොම අවුල් වෙලා. වැඩවල කාර්යක්ෂමතාවත් නෑ, ප්‍රතිලාභයකුත් නෑ,” බස්සා කියා සිටියා.

“ඒත් අපට තියෙන ප්‍රශ්නෙට වඩා ඕක බරපතළ වෙන්නෙ කොහොමද?” මං ඇසුවා බකමූණාගෙන්. බස්සා තටුවක් හොල්ලන සද්දයක් ඇහුණා. ඊට පස්සෙ කටහඬ ඇහුණා:

“මහත්තයලාට වැඩ කරන්න වැඩ නෑ. මොකද හුඟක් වැඩපළවල් වැහිලා. හේතුව රෑට සේවකයන්ගෙන් වැඩ ගත්තොත් ලයිට් බිල් වැඩි වෙනවා. ඒත් සමහර විට වැඩ තියෙනවාත් ඇති. හැබැයි වැඩ කරන තරමට ගෙවන්නෙ නෑ. එහෙම නේද? මොකද හැම වෙලේම බිල් එළියට එනවානෙ. ඒත් අපට ඕකෙ අනෙක් පැත්ත. අපට හැම වෙලේම වැඩ. වැඩ – වැඩ – වැඩ…. මෙතන කාරණය වැඩ කළාට අපට නින්දක් ලැබෙන්නෙ නැති එක. නින්දක් නැති සතෙක් කොහොමද පණ ගහලා ඉන්නෙ!”

බකමූණාට උත්තර දෙනවාද නැද්ද කියල මං කල්පනා කළා. මට හිතුණා උත්තර දෙන්න ඕන කියල: “මං නම් ඕවා එච්චර ගණන් ගන්නෙ නෑ. මට ඕන එළිය වැටුණාම හන්දියේ පොඩි රස්තියාදුවක් වෙලා එන්න විතරයි.”

බකමූණාගේ හඬ ටික වෙලාවකට නතර වුණා. යළි හඬ අවදි වුණේ නෝක්කාඩු ස්වරයෙන්: “මහත්තයා ඉන්නෙ කොයි ලෝකෙද කියල මට තේරෙන්නෙ නෑ. හැබෑට ඔය ඇස්වලට පේන්නෙ නැද්ද මහත්තයාලාගේ ලෝකෙ වළපල්ලට යනවා කියල.”

මට බස්සා එක්ක කේන්ති ගියා. “මොකක්ද ඔය කියන වළපල්ලෙ කතාව!” මං ඇසුවා අනෙක් පැත්තට.

“ඇයි මහත්තයෝ මේ ඇටතිත්ත කළුවරේ පේන්නෙ නැද්ද මොන තරම් අපරාධ, දූෂණ, හොර මැරකම් මහත්තෙලා ඉන්න ලෝකෙ සිද්ධ වෙනවාද කියල. දැන් බලන්න, කළුවර වැටුණාම මිනිස්සුන්ට ඇස් පේන්නෙ නෑ. ඒත් අපට හොඳට ඇස් පේනවා. පේන නිසා අපි දකිනවා මහත්තෙලා අතර ඉන්න උන් කරන අතයටගැහිලි, දූෂණ, වංචා, අපරාධ, පාතාල වැඩ මොනවාද කියල. මහත්තෙලාට පේන්නෙ කවුරුහරි ගෑනියෙක් මන්තිරියෙක්ගෙ කලිසම ගලවන්න එන හැටි හරි, නැත්නම් මන්තිරි නෝනාගෙ බෙල්ල මිරිකනවා හරි, එහෙම නැත්නම් මහජන නියෝජිත සභාවේ මොකෙක්හරි අසභ්‍ය වචන කියනවා හරි විතරයි. ඒත් අපට පේනවා උන් රෑට කාගෙ කාගෙද ඇඳුම් ගලවන්නෙ, කාගෙන්ද යටිමඩි ගහන්නෙ, කාවද මරන්න ප්ලෑන් කරන්නෙ, ඒවගේම ඇයි මෙච්චර මේ මැච් පරදින්නෙ, අලි මැරෙන්නෙ, රිය අනතුරු සිද්ධ වෙන්නෙ කියල.”

බකමූණාගේ කතාව ඇහුවාම මට හිතුණෙ මේ බස්සා නියම දැන උගත් බස්සෙක් වගේම මිනිස්සු ගැන හොඳ අවබෝධයක් ඇති සතෙකුත් කියලයි. ඇත්තටම අඳුරේදී තමයි මිනිහාගේ නියම ස්වභාවය පේන්නෙ කියන එක හැබැහින් දකින එකම සතා බකමූණා වෙන්න ඕන. නෑ, වවුලාටත් පේනවා. ඒත් ඌ ඔළුව පල්ලෙහාට දාලා එල්ලිලා ඉන්න නිසා ඌට ඒවා පේන්නෙ නෑ. මං බකමූණාට ආයෙත් ඇහුන්කම් දුන්නා:

“මහත්තෙයාට මේ දේ මං කිව්වෙ මේ අන්ධකාරය නැති කරන එක මට කරන්න බැරි දෙයක් හින්දා. මේක කරන්න ඕන මිනිස්සුමයි. මට පුළුවන් මං දකින දේ විස්තර කරන එක විතරයි. ඒත් මහත්තයලා හැම දේම දෛවයට භාර දීලා හරි ස්වභාව ධර්මයට භාර දීලා හරි හෙට එළි වෙයි හෙට එළි වෙයි කියල අත් දෙක බැඳගෙන බලා සිටියොත් නම් කවදාවත් එළිවෙන එකක් නෑ.”

බස්සා එහෙම කියල නතර වුණා. ඒත් උගේ කතාව ඇහුවාම ඇත්තටම මේ වෙන්නෙ මොකක්ද කියල මටත් යම් කිසිවක් අවබෝධ වෙන්න වුණා. ඒත් මිනිස්සුයි අඳුරයි අතර සම්බන්ධයක් තියෙනවාද කියල තේරුම් බේරුම් කරගන්න නම් පුළුවන් වුණේ නෑ මට. ඒ හින්දා මං උගෙන් මේ ප්‍රශ්නය ඇහුවා: “එතකොට දැන් මේ කළුවර ඇති කරලා තියෙන්නෙ මිනිස්සුද?”

මගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබුණෙ නෑ බස්සාගෙන්. මට හිතුණා බකමූණා සතෙක් අල්ලන්න ඉගිල්ලිලා කියල. ඒත් ටික වෙලාවකින් ආයෙත් බකමූණු හඬ ඇහුණා:

“මහත්තයා අහපු ප්‍රශ්නෙට මං උත්තර දෙන්නෙ නෑ. ඒත් එකක් කියන්නම්. මිනිස්සු එළිපහළියේ අච්චර අපරාධ කරලා තියෙනවා නම් අන්ධකාරේ ඔවුන්ට මොනවා කරන්න බැරිද? ඒ හින්දා මතක තියාගන්න, මේ අන්ධකාරෙ වුණාට තවම අමාරු කාලෙ ආවේ නෑ. මිනිහා කියන සතා මළවුන්ගේ ලෝකෙට ඇතුල් වෙන්නෙ තව ඉස්සරහට. එදාට කාරණා කාරණා හුඟක් දරුණු වෙයි.”

බකමූණු හඬ ඉන් පස්සෙ නෑසීලාම ගියා. උගේ කතාව ඇහුවාම මට මහා බයක් දැනුණා. මාව වෙව්ලුවා. දැන් ඉතිං කවදාවත් හෙට ඉරක් පායන එකක් නෑ! මං දොම්නස් සිතින් ලොවි බංකුවෙන් නැඟිටලා ගේ ඇතුළට ගියා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment