ග්‍රාම නිලධාරිලා නිවාස සංගණනයෙන් තාවකාලිකව ඉවත්වෙති

344

මේ වනවිට ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති ජන හා නිවාස සංගණන කටයුතුවලින් දින 14 ක කාලයකට ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය කියා සිටී.

එම සංගණන කටයුතුවල නිරතවන ග්‍රාම සේවකවරුන් සඳහා ලබා දෙන්නේ සොච්චම් මුදලක් බවත්, ඊට විරෝධය පළකරමින් අදාළ තීරණය ගත් බවත් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ කීය.

මේ හේතුව නිසා වෙනත් නිලධාරීන් යවා නිවාස හා ජන සංගණනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්, නිවෙස් වෙත පෞද්ගලික තොරතුරු ඉල්ලමින් පැමිණෙන අයට තොරතුරු කිසිවිටෙකත් ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීවේය.

නිවාස හා ජන සංගණනයේ තොරතුරු රැස් කිරීමේ බලය ඇත්තේ ග්‍රාම නිලධාරීන්ට පමණක් බව ද හෙතෙම කීය.

නිවාස හා ජනසංගණනයේදී නිවසකට ගිය විට ඇලවිය යුතු ලේබලයක් ගැසීම සඳහා රජයෙන් ගෙවනුයේ රුපියල් 30ක මුදලක් බවත් එය කිසිසේත්ම ග්‍රාම සේවකවරුන්ට ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

එසේම ප්‍රවාහන වියදම් දීමනාව වශයෙන් රජය මසකට ගෙවනුයේ රුපියල් 600ක දීමනාවක් බවත්, එය ද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment