අයුක්තිය පෙන්වා දුන්නාට කිපී – අත්අඩංගුවට ගත් නීතිඥවරයාට පොලිසියෙන් පා පහරක්

669

මුළු රැයක්ම පොලිස් කූඩුවේ තියලා
නීතිඥවරයාගේ පෙත්සම විභාගයට අවසර

වැල්ලම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු බුත්ගමුව මන්සන්ධිය අසලදී යතුරුපැදිකරුවකු හඹාගොස් කළ පහරදීමක් වැළැක්වීමට උත්සාහ කළ නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් පහරදීමකට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23 දා) අවසර ලබා දුන්නේය.

එකී පහරදීමෙන් පෙත්සම්කාර නීතිඥවරයාට සිදුවී ඇති තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට නියෝග කළ යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ ද නැති ද යන කරුණු පොලිස්පතිවරයාට හා අධිකරණයට දැනුම් දෙන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය.

එලෙස පහරකෑමට ලක්වූ මොහොමඩ් නිබ්රාස් නසීර් නමැති නීතිඥවරයා ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙත්සම්කරු වෙත හිමිකර දී ඇති 11, 12 (1), 13 (1) සහ 13 (2) යන මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් එම නියෝගය කළේය. 2022.08.27 වැනිදා පස්වරු 5.30 ට පමණ වේගයෙන් පැමිණි යතුරුපැදියක් හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු බුත්ගමුව මංසන්ධිය අසලදී එම යතුරුපැදිය නවතා යතුරුපැදිකරුට පහරදෙන අයුරු නිරීක්ෂණය කළ පෙත්සම්කාර නීතිඥවරයා ඒ අසලට ගොස් තමන් නීතිඥවරයකු බව පවසා වරදක් කර ඇතිනම් පහරදීමක් සිදුනොකර නීතිය අනුව ඔවුනට එරෙහිව කටයුතු කරන ලෙස දන්වා සිටි අවස්ථාවේදී එම නීතිඥවරයාවත් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනගොස් උඹ නීතිඥවරයකු නෙමෙයි මොකෙක් වුණත් කමක් නෑ කියා තර්ජනය කොට බැණවැදී පයින් පහරදී පොලිස් සිරමැදිරියට දමා මුළු රැයක් තබාගෙන පසුදින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවත් කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිය සේවාදායකයාව මුදාහැර ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවසීය.

නීතිඥ අංජන රත්නසිරි මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ සජිත බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

වැල්ලම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 47591 විජේසිංහ, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඒ. අයි. නිලන්ත, බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඩී. වික්‍රමරත්න යන සිවුදෙනා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබිණි.

නීතිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය වන නීතිඥවරයකු ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර අසාධාරණ නොවන ඉල්ලීමක් කළ අවස්ථාවකදී එලෙස ඔහුට නිගරු කිරීම සුළුකොට තැකිය නොහැකි බව ද අධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් පෙන්වා දුන්නේය.

එම නීතිඥවරයා හා යතුරුපැදිකරු ඇතුළු සිවුදෙනකු අත්අඩගුවට ගෙන රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු පැවරීමට වැල්ලම්පිටිය පොලිසිය පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment