35,000 හරි දොස්තරලා අද වැඩ

76

රජය විසින් රුපියල් 35,000 කින් ඉහළ දමනු ලැබූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා සහ පැමිණ සිටීමේ දීමනාව (ෘ්ඔ) ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමත් සමග අද (24 දා) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

අදාළ වැඩි කළ මුදල් ගෙවීමට මුදල් අමාත්‍යාංශය විසින් මුදල් වෙන් නොකිරීම නිසා එය ජනවාරි වැටුප් සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව දන්වමින් ඊයේ (23 දා) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව ඊට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දිවයින පුරා රෝහල්හි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ සවස නිකුත් කළ නිවේදනයකට අනුව වෛද්‍යවරුන් සඳහා වැඩි කළ DAT දීමනාව ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් නොලැබෙන වෛද්‍යවරුන් සඳහා විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම නිවේදනයත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව වැඩ වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බව ද පවසයි.

උපාලි ද සේරම්, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment