බාල බෙහෙත් වංචාවට ඇතුළට ගිය කෙහෙළිය අස්වෙයි – ජනපති අස්වීම පිළිගනී

247

ගැසට්ටුවත් එළියට

දැනට බන්ධනාගාරගතව සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (6 දා) සිය ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය. ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. එම අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය මගින් දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර පුරප්පාඩු වූ පරිසර ඇමැති ධුරය, අලුත් ඇමැතිවරයකු පත්කරන තෙක් ජනාධිපතිවරයා තමා යටතට පවරාගෙන තිබේ.

දිගින් දිගටම එල්ල වූ චෝදනා හා විරෝධතා මැද රඹුක්වැල්ල මහතා කලින් දැරූ සෞඛ්‍ය ඇමැති පදවියෙන් ඉවත් කෙරිණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් 3 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පරිසර ඇමැති ධුරයෙන් ඉවත්වී ඇති බවට වූ අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ නිකුත් කෙරිණි.

 කැබිනට් ඇමැති ධුරයක් දරමින් සිටියදීම අධිකරණය මගින් බන්ධනාගාරගත කිරීමකට ලක්වූ මෙරට පළමු ඇමැතිවරයා වන්නේ ද රඹුක්වැල්ල මහතායි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment