අනියම් සැමියා දෙදරු මව නිදි ඇඳේම මරා දමලා

1266

අනියම් සබඳතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව බැද්දෙවැව බටහිර පෝල්පහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක නිදි ඇඳ මතදීම තියුණු ආයුධයකින් කපා කොටා පෙරේදා (05දා) සවස ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, බැද්දෙවැව බටහිර, පෝල්පහ ප්‍රදේශයේ පදිංචි හේවා සුදුහකුරුගේ සුරංගිකා නදීශානී නමැති 38 හැවිරිදි දෙදරු මවකි.

මියගිය කාන්තාව පමණක් සවස 4.30ට පමණ නිවසේ නිදාගෙන සිට ඇති අතර එම අවස්ථාවේ නිවසට ඇතුළු වී ඇති එම ප්‍රදේශයේම පදිංචි මියගිය කාන්තාව සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාරණය වී තිබේ. සැකකාර පුද්ගලයා මෙම ඝාතනය සිදු කිරීමෙන් පසු සූරියවැව පොලිසියට දුරකතන ඇමතුමක්ද ලබා දී අදාළ කාන්තාව ඝාතනය කළ බවද පවසා තිබේ. දෙදෙනා අතර පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුව වන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා පැමිණ සිද්ධිය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණි. එහිදී මියගිය කාන්තාවගේ සිරුර හම්බන්තොට මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා සූරියවැව පොලිසියට නියෝග කෙරුණි.

මෙම ඝාතනය සිදු කළ සැකකාර පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වයි. තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ලලිත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment